ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැය පහන් කළ භික්ෂූන් වහන්සේලා තවදුරටත් විරෝධතාවේ

 

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට තවදුරටත් රැඳී සිටිති.මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය අසලින් ඔක්තෝබර් 10 වැනිදා ආරම්භ කළ ‘සිවුරට යුක්තිය – නිදහසේ පාද යාත්‍රාව’ ඔක්තෝබර් 15 වැනිදා කොළඹට ළඟා වීමෙන් අනතුරුව මෙම විරෝධතාව ආරම්භ විය. ඥානසාර හිමියන්ට නිදහස ලබාදීම සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම එහි ප්‍රධාන ඉල්ලීම් අතර වේ.විරෝධතාව අතරතුර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට තාවකාලික කූඩාරමක් ඉදිකිරීමට විරෝධතාකරුවන් පියවර ගැනීමත් සමඟ භික්ෂූන් වහන්සේලා සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් හටගත්තේය. පොලිසිය විසින් කූඩාරම ඉවත් කරන ලෙස දැනුම් දීමෙන් අනතුරුව විරෝධතාකරුවන් එය මාර්ගයේ පසෙකට ගෙන යාමට කටයුතු කළහ. ඒ අනුව ගාලු මුවදොර මාර්ගයේ එක් මංතීරුවක් නැවත රථවාහන ගමනාගමනය සඳහා විවෘත කිරීමට ද පියවර ගෙන තිබිණි.මේ අතර, විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලාගේ නියෝජිත පිරිසක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සමඟ සාකච්ඡාවක නිරත වී තිබේ. එහිදී ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබාදුන් ජනාධිපති සමාව සම්බන්ධයෙන් මතුව ඇති නීතිමය ගැටලුව නිවැරදි කර නිදහස ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස භික්ෂූන් වහන්සේලා ඉල්ලා ඇත.කෙසේ වෙතත්, එම අවස්ථාවේදී ඉල්ලීම සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලබාදීමට නොහැකි බව ජනාධිපති ලේකම්වරයා දැනුම් දී ඇති අතර, පසුව ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියකු විසින් මේ සම්බන්ධයෙන් මාසයක පමණ කාලයකින් පිළිතුරක් ලබාදෙන බව විරෝධතාකරුවන්ට දැනුම් දී තිබේ. එම කාලසීමාව පිළිබඳව සෑහීමකට පත් නොවූ විරෝධතාකරුවන්, ඥානසාර හිමියන් නිදහස් කිරීම සම්බන්ධයෙන් නිශ්චිත සහතිකයක් හෝ ප්‍රසිද්ධ ප්‍රකාශයක් ලබාදිය යුතු බව අවධාරණය කර ඇත.ඒ අනුව   තවදුරටත්භික්ෂූන් වහන්සේලා පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටිමින් විරෝධතාවයේ නිරත වන බව වාර්තා වේ. රජයෙන් සාධනීය ප්‍රතිචාරයක් ලැබෙන තෙක් එම ස්ථානයෙන් ඉවත් නොවන බව ද විරෝධතාවට එක්වූ පිරිස් ප්‍රකාශ කර ඇත.මේ අතර, ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම විරෝධතාව සම්බන්ධයෙන් පළවන අදහස වන්නේ එය ආණ්ඩුව පෙරළීම සඳහා විපක්ෂ කණ්ඩායම් විසින් ගනු ලබන අසාර්ථක හා දුර්වල උත්සාහයක මතුපිට ස්වරූපයක් බවයි. එහෙත් විරෝධතාවට එක්ව සිටින භික්ෂූන් වහන්සේලා අතර පසුගිය මැතිවරණවලදී ජාතික ජන බලවේගයට සහාය දැක්වූ බව පැවසෙන හිමිවරුන් මෙන්ම කිසිදු දේශපාලන පක්ෂයකට සෘජුව සම්බන්ධ නොවූ ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේලා ද සිටින බව වාර්තා වේ.එබැවින් මෙම විරෝධතාව දේශපාලන අරමුණුවලට පමණක් සීමා කළ හැකිද යන්න පිළිබඳව ද අවධානය යොමුව තිබේ. ඥානසාර හිමියන්ගේ නිදහස පිළිබඳ ඉල්ලීම, භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් සහ අධිකරණ තීන්දු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු මෙහිදී ප්‍රධාන කරුණු බවට පත්ව ඇත.මේ අතර, ඥානසාර හිමියන්ගේ සිරගත කිරීමේදී සිවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති පෙත්සම් ඔක්තෝබර් 22 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය දින නියම කර තිබේ.ඒ අනුව, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවට රජය ලබාදෙන ඉදිරි ප්‍රතිචාරය මෙන්ම අදාළ නීතිමය ක්‍රියාමාර්ගවල ප්‍රගතිය ද ඉදිරි දිනවලදී තීරණාත්මක වනු ඇත.

කාලීන පුවත්