ජීවිත කාලයේදී පැපොල වැළඳෙන්නේ එක් වරක් පමණක්ද?

පපුවේ හෝ අතේ ඉහළින් වතුර බිබිලක් දෙකක් මතුවී ඒ සමග උණ, ඇඟපත වේදනාව පවතී නම් බොහෝ විට එය පැපොල රෝගය විය හැකිය.
මෙම රෝගයට හේතුව විෂබීජයකි. විෂබීජ යනු අපේ ශරීරයේ කොටසක් නොවේ. ඒවා අපේ ශරීරය ආක්‍රමණය කරන සතුරු හමුදාවකි. නමුත් මෙම විෂබීජ අපේ පියවි ඇසට නොපෙනෙන තරම් ඉතා සියුම් ඒවා නිසා හොර රහසේම අපේ ශරීරයට රිංගා ගන්නට තරම් ඒවා දක්ෂ වේ.
පැපොල රෝගයට හේතුවන විෂබීජය වෛරසයකි. වැරිසෙලා සොස්ටර් ( Varicella zoster) නම් වූ මෙම පැපොල වෛරසය ශරීරගත වූ රෝගියෙකු කහිනවිට හෝ කිවිසුම් හරින විට ලක්ෂ සංඛ්‍යාත කෙළ බිඳිති සමඟ එම වෛරසය පරිසරයට මුදා හැරීම සිදුවේ. ඔබ කණ්ණාඩියක් ඉදිරිපිට සිට කටින් හුස්ම පිට කළ විටදී කොතරම් නම් කෙළ බිඳිති ප්‍රමාණයක් එම වීදුරු පෘෂ්ටය මත තැන්පත් වන්නේදැයි සිතන්න. ඒ ආකාරයේ කෙළ බිඳුවක ඇති එකම එක වෛරසයක් නිරෝගී අයකුගේ ශරීරයට ඇතුළු වන්නේ ආශ්වාස කරන හුස්මක් සමග ය.

ඉන්පසුව එම වෛරසය ශරීරය පුරා පැතිරී යාමත් සමඟ සම මත බිබිලි එක දෙක මතු වන්නට පටන් ගනියි. ඉහතද පැවසූ පරිදි පළමු බිබිල හෝ දෙක පපුවේ හෝ අතේ ඉහළින් හටගෙන වරුවක් පමණ ගතවන විට බිබිලි එක දෙක වැඩි වෙන්නට පටන් ගනියි. පසුදා වන විට මුළු ශරීරය පුරාම පාහේ මෙම බිබිලි පැතිරී පැවතිය හැකිය.
පැපොල රෝගය කිසිදා නොවැළඳුණු කෙනෙකු වේ නම් ඒ කලාතුරකිනි. එපමණටම පැපොල රෝගය ඕනෑම කෙනෙකුට වැළඳිය හැකිය. රෝගය වැළඳුණු පසු සතියකින් පමණ සුව වේ. තරුණ වියේදී වැළඳෙන පැපොල සුව වීම පිළිබඳ ගැටලුවක් නැත. නමුත් වයස්ගත වූ පසු පැපොළ රෝගය වැළඳුණු විටදී ඇතැම් විට එය බරපතළ තත්ත්වයට පත්වන අවස්ථා තිබේ. එවැනි අයකු උණ, හුස්ම ගැනීමේ අපහසුව සමඟ නියුමෝනියාව දක්වා අසාධ්‍ය තත්ත්වයට පත්වන අවස්ථා ද නැතුවා නොවේ.

පැපොල වැළඳෙන්නේ ජීවිත කාලයටම එක් වතාවක් පමණි. ඉන්පසු ශරීරයට හුරු පුරුදු වූ පැපොල වෛරසය තවත් වරක් ශරීරය භාර ගන්නේ නැත. නැවත පැ⁣පොල වෛරසයක් ශරීරයට ඇතුළු වුවද ප්‍රබල සටනකින් පසුව සෑම විටම ශරීරය ජය ලබන්නේ පැපොල වෛරසය ඉතා හොඳින් ශරීරය ඒ වන විට හඳුනාගෙන සිටින නිසාය. කිසි දින පැපොල වැළඳුණේ නැති ශරීරයකට ඊට විරුද්ධව එවැනි සටනක් කරන්නට නොහැකි වන්නේ ශරීරය එම වෛරසය නොහඳුනන නිසාය.
නමුත් මේ කරදරවලින් මිදෙන්නට අවශ්‍ය නම් පැපොල රෝගය සඳහා වන එන්නත ලබාගත හැකිය. දරුවකු කුඩා කල ලබා දෙන එන්නත් පන්තියට පැපොල සඳහා වූ එන්නත ඇතුලත් කර නොමැත්තේ පැපොල යනු ශරීරයට ප්‍රබල කරදරයක් ඇති කරන රෝගයක් නොවන නිසා ය. නමුත් ඕනෑම කෙනෙකුට පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් මුදල් ගෙවා මෙම එන්නත ලබා ගැනීමේ හැකියාව පවතී.

පැපොල පළමු බිබිල මතුවූ වහාම එම එන්නත ලබාගත හැකි නම් යම් පමණකට සහනයක් ළඟා කර ගත හැකිය. එම එන්නත මගින් ශරීරයට ඇතුළු කරන්නේද පැපොල වෛරසයයි. එහෙත් එය කෘත්‍රිමව අකර්මණ්‍ය කරන ලද තත්ත්වයක ඇති වෛරසයකි. පැපොල සෑදීමට තරම් ශක්තියක් ඒ වෛරසය සතුව නැත. ශරීරයට එම වෛරසය එන්නතක් ආකාරයට ඇතුළු කළ විට පැපොළ වෛරසය යනු කුමක්දැයි ශරීරය හොඳින්ම හඳුනා ගනී. ඉන්පසු පැපොල වෛරසය සමඟ සටන් කරන්නට ශරීරය සූදානම් වන්නේ පැපොල සෑදුණු රෝගියෙකුගේ ශරීරය තුළ එම වෛරසය හා සටන් කරන ආකාරයටම ය.

පැපොල සෑදුණු රෝගියෙකු සම්පූර්ණයෙන් සුවපත් වුවත් වෙනත් රෝගකාරක වෛරස් මෙන් පැපොල වෛරසය ශරීරයෙන් සහමුලින් ඉවත් කර දමන්නට කිසිවකුට නොහැකිය. එයට හේතුව එම වෛරසය සැඟවී සිටින්නට කිසිවකුට ළඟාවිය නොහැකි ඉතාමත් රහසිගත ස්ථානයක් තෝරා ගැනීම ය. එසේ සැඟවෙන එම වෛරසය ඒ පුද්ගලයාට කිසිදු කරදරයක් නොදී ඉතා මිත්‍රශීලීව මුළු ජීවිත කාලය පුරාම සැඟවී ජීවත් වන බව පැවසුවහොත් ඔබ එය පිළිගන්නවාද?
එහෙත් යම් හේතුවක් නිසා එලෙස සැඟවී සිටින වෛරසයක් ඒ සැඟවී සිටින රහසිගත තැනින් පිටතට පැමිණියහොත් සිදුවන්නේ කුමක්ද?එතෙක් සැඟවී සිටි තැනින් ඈත් වූ වෛරසයට එතැන් සිට මිත්‍රශීලී හැසිරීමක් නැත. පැපොල රෝගය පිළිබඳව ඔබ කොතෙකුත් අසා තිබුණත් අංශ පැපොල නම් රෝගී තත්ත්වය පිළිබඳව ඔබ එතරම් අසා නොතිබිය හැකිය. අංශ පැපොල රෝගී තත්ත්වය ඇතිකරවන්නේ ශරීරය තුළ එතෙක් සැඟවී සිට එතැනින් පිටතට පැමිණි පැපොල වෛරසයයි. පැපොල රෝගයට වඩා මෙය පීඩාකාරී ය. වතුර බිබිළි මතුවීම, උණ සහ මස්පිඩු වේදනාව මෙහිදී ද ලක්ෂණ ලෙස ඇතිවේ. මේ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලැබීම සුදුසුය.

කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා

ඉන්දු පෙරේරා

විනිවිද සායනය