ජූලි මාසයේදී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය පිරිස ඉහළට

මේ වසරේ ජූනි මාසයට සාපේක්ෂව ජූලි මාසයේදී ශ්‍රී ලාංකිකයින් විදේශ රැකියා සඳහා පිටත්ව යාම සියයට 4.84කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

ඒ අනුව, 2026 වසරේ ජූලි මාසයේදී ලාංකිකයින් 25,622ක පිරිසක් රැකියා සඳහා විදේශගත වී ඇති අතර, එය මේ වසර තුළදී එක් මසකදී වාර්තා වූ ඉහළම ප්‍රමාණය වන බවයි එම කාර්යාංශය සඳහන් කරයි.මෙම වසරේ ජූනි මාසයේදී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රී ලාංකිකයින් ප්‍රමාණය 24,440 ක්.

ශ්‍රී ලංකා රජය, ඊශ්‍රායලය, දකුණු කොරියාව සහ ජපානය යන රටවල් සමඟ ඇති කරගත් අවබෝධතා ගිවිසුම් අනුව ශ්‍රී ලාංකිකයින් විදේශ රැකියා සඳහා යොමුවීමේ ඉහළ උනන්දුවක් මෙම වසරේදී පෙන්නුම් කරයි.ඒ අනුව, ඊශ්‍රායල් රැකියා සඳහා 2,521 දෙනෙකුද, දකුණු කොරියාවේ රැකියා සඳහා 1,618 දෙනෙකු සහ ජපානයේ රැකියා සඳහා 79 දෙනෙකු මේ දක්වා පිටත්ව ගොස් ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

මීට අමතරව, ජපානයේ රැකියා හිමිවූ තරුණ තරුණියන් 14 දෙනෙකුට ඉකුත් (03) වැනිදා කාර්යාංශයේදී ගුවන් ටිකට්පත් පිරිනැමිම සිදුවිය.මෙම පිරිසට ජපානයේ නිෂ්පාදන, ඉදිකිරීම්, සාත්තු සේවා සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රවල රැකියා අවස්ථා හිමිව තිබේ.

මෙරට ආර්ථිකයට වැඩිම ආදායමක් හිමිවන්නේ විදේශගත ශ්‍රමිකයින් ප්‍රේෂණය කරනු ලබන මුදල් වලින් වන අතර, මෙම වසරේ ජනවාරි සිට ජූනි දක්වා මාස 6 ක කාලය තුළදී විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයින් විසින් අමෙරිකානු ඩොලර් බිලියන 4.6 ක මුදලක් මෙරටට ප්‍රේෂණය කර ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

ජූලි මාසය තුළ මෙරටට හිමිවූ ප්‍රේෂණ ප්‍රමාණය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙතෙක් ගණනය කර නොමැති අතර පසුගිය මාසයන්හි හිමිවූ ප්‍රේෂණ ප්‍රමාණය සැලකිල්ලට ගනිමින්, ජූලි මාසය තුළදී අමෙරිකානු ඩොලර් මිලියන 540 ත් 570 ත් අතර ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ හැකි බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

කාලීන පුවත්