
බාල වියේදී අපගේ සිත් තුළ පැවැති අද්භූතවාදී පරිකල්පන නිම්වළලු පුළුල් කළ එවක ජනප්‍රිය රචකයා වූයේ “මාරක කතා චක්‍රවර්ති” ඩීමන් ආනන්ද බව ඒකාන්ත සත්‍යයකි. 1960–1980 දශකවල සාක්ෂරතාව ලද්දවුන් උදෙසා නිකුත් වූ ඔහුගේ භීෂණ හා රහස් පරීක්ෂණ කතාවල එන මිනී පෙට්ටිවලින් පිබිදෙන මෘත ශරීර, පාළු අඳුරු බංගලා, සොහොන් ගැබ් සහ ගුප්ත විද්‍යාඥයන්ගේ චරිත ආදිය ඔස්සේ විද්‍යාව හා අද්භූතවාදය අතර සීමාවන් බොඳ කරමින් ඔහු අපගේ පරිකල්පනයන් පෝෂණය කළ බව නිසැක ය. එදා මාරක කතාවකින් අප හමුවට පැමිණි මෙම ජනප්‍රවාද එවක අප හමුවේ තැබුවේ එකම උභතෝකෝටිකයකි. එනම්: මළ මිනිසකු යළි පණ ලැබීමේ කතාව මුළුමනින්ම කල්පිතයක්ද? යන්න ය.


නමුත් මීට අතිශය සමාන්තර ජන විශ්වාසයක් ශ්‍රී ලංකාවේ පැරණි ගැමි සමාජයේ ද විය. එය මා උගත්තේ අපගේ වැඩිහිටියන් වෙතිනි. ඒ සර්ප දෂ්ටනය පිළිබඳ පැවති ජන විශ්වාස අතර වූ “පණ හැංගීම” නම් වන සංකල්පයයි. සර්පයකු දෂ්ට කළ පුද්ගලයකු ක්‍රමයෙන් නිශ්චල වීම, කතා කිරීමට නොහැකි වීම, ඇස් පිහාටු වැටීම සහ හුස්ම ගැනීම නතර වීම බාහිරින් බලන අයට මරණය ලෙස පෙනුණි. එවැනි රෝගීන් යම් කාලයකට පසු යථා තත්ත්වයට පැමිණි විට, පැරණි ගැමියන් විශ්වාස කළේ එතෙක් ඔහුගේ පණ ශරීරය තුළ සැඟවී තිබී නැවත පැමිණි බවයි.
මෙයට අමතරව, රුක් අත්තන (Alstonia scholaris) ලීයෙන් සෑදූ මිනී පෙට්ටියක දේහය තැන්පත් කළ විට, එම ලීයෙන් සිරුරේ ඇති සර්ප විෂ ඇදගන්නා බවත්, ඒ නිසා මිනී පෙට්ටියෙන් නැවත පණ ලැබ නැගිටින බවත් ජනප්රවාදයේ පැවති තවත් ප්‍රබල විශ්වාසයකි.
එවැනි මිනී වළක් නැවත විවෘත කළ විට සිරුරේ පිහිටීම වෙනස් වී තිබීම, ඇඳුම් ඉරී තිබීම හෝ මිනී පෙට්ටියේ ඇතුළත සීරීම් තිබීම වැනි නිරීක්ෂණ නිසා “මියගිය පුද්ගලයා පණපිටින් මිහිදන් වී වළ තුළ දඟලා ඇත” යන බියකරු ජන කතා නිර්මාණය විය. එමෙන්ම “මියගිය ඥාතියා සිහිනෙන් ඇවිත් තමා තවමත් ජීවතුන් අතර සිටින බව කීවා” වැනි පවුලේ ඥාතීන් පවසන ශෝකය හා බැඳුණු අත්දැකීම් ද මෙම අද්භූත විශ්වාසයන් තවදුරටත් තහවුරු කිරීමට සමත් විය. මේ අතර, මෙම පණ හැංගීම සහ මරණය නිවැරදි ලෙස හඳුනා ගත හැකි විෂ වෙද පරම්පරාවලට අයත් වෙද මහතුන් සහ ඔවුන් ඒ සඳහා භාවිත කළ ක්‍රම ද අප කුඩා කාලයේ ඕනෑ තරම් අසා තිබුණි.
එහෙත් නූතන වෛද්‍ය විද්‍යාව සහ අධිකරණ වෛද්‍ය විද්‍යාව මගින් මෙම “පණ හැංගීම” නම් ජනප්‍රවාදය පිටුපස ඇති යථාර්ථය පැහැදිලි කොට තිබේ. එය නියුරෝටොක්සික් (Neurotoxic) සර්ප විෂ සහ ස්නායු අංශභාගය නම් තත්ත්වයක් බව ඉන් පැවසෙයි. නාගයන් වැනි සර්පයන්ගේ විෂෙහි ඇති නියුරෝටොක්සින් මගින් ස්නායු හා පේශි අතර සංඥා සම්ප්‍රේෂණය අකර්මණ්‍ය කරයි. මුලින්ම ඇස් පිහාටු වැටීම (Ptosis), ද්විත්ව පෙනීම, කතා කිරීමට හා ගිලීමට අපහසු වීම ඇති වේ. පසුව අත්පා දුර්වල වී ශ්වසන පේශි අකර්මණ්‍ය වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පෙන්වා දෙන්නේ මෙය ශිතිල අංශභාගය (Flaccid Paralysis) තත්ත්වයක් බවකි. රෝගියාගේ සිහිය තිබුණ ද, හුස්ම ගැනීමට හෝ ඇසිපිය හෙළීමට පවා නොහැකිව බාහිරින් “මියගිය අයකු” ලෙස පෙනේ. මෙය අද්භූත “පණ හැංගීමක්” නොව, දැඩි ස්නායු-පේශි අකර්මණ්යතාවකි. එමෙන්ම අප කුඩා කල අසා තිබූ අන්දමට ජීවත්ව සිටින්නකු කිසියම් වැරදීමක් මත මිහිදන් කිරීම රොමියෝ වරද (Romeo Error) ලෙසින් හැඳින්වෙන්නකි. මෙය ලොව කිසිදු තැනක සිදු නොවූ බවට සහතික වීමට අපට නොපුළුවන. නමුත් ජන විශ්වාසයේ එන අන්දමට රුක් අත්තන ශාකයේ විවිධ ඇල්කලොයිඩ් සංයෝග සහ ඖෂධීය ගුණ පැවතියද, එයින් සෑදූ මිනී පෙට්ටියකට මිනිස් සිරුරේ රුධිරයේ හෝ පටකවල ඇති සර්ප විෂ “උරාගත හැකි” බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නැත. රෝගියකු යථා තත්ත්වයට පත් වූයේ නම්, ඒ සිරුර තුළ විෂ ක්‍රියාකාරිත්වය ස්වභාවිකව අඩුවීම සහ ස්නායු-පේශි ක්‍රියාකාරිත්වය යළි යථා තත්ත්වයට පැමිණීම නිසා මිස ලීයෙන් විෂ ඇදගැනීම නිසා නොවේ.

ඒ කෙසේ වුවද, යමකු මිය ගිය සැනින් ඒ තැන්පත් තැනැත්තාගේ සිරුර භූමදානය හෝ ආදාහනය කිරීමක් කිසි විටෙක සිදු නොවේ. අඩුම තරමින් ඒ සඳහා පැය හත අටක්වත් ගත වේ. නමුත් යමකු මිය ගොස් පැය දෙකක් වැනි කාලයක් තුළ මෘත ලක්ෂණ (Rigor Mortis) පහළ වීම නිසා බැලූ බැල්මට වුව ඒ තැනැත්තා මියගොස් ඇති බව ඕනෑම කෙනකුට වටහා ගත හැක. මරණයෙන් පසු මිනිස් ශරීරයේ “ශක්ති මුදල් ඒකකය” (Energy currency) ලෙස සැලකෙන ඇඩිනෝසීන් ට්රයිෆොස්පේට් (ATP) අඩුවීම නිසා ඇක්ටින් සහ මයෝසින් එකතු වී පේශි දැඩි වේ. එමෙන්ම යමකුගේ මරණයෙන් පැය විසිහතරක් පමණ ඉක්ම ගිය පසු වියෝජනය (Decomposition) සිදු වේ. එනම්, ක්ෂුද්රජීවී ක්‍රියාකාරීත්වය නිසා වායු නිෂ්පාදනය වීමෙන් සිරුර ඉදිමීම (Bloated stage) සිදු වේ. ඒ අනුව ඉහත සඳහන් ප්රවාදවල සඳහන් වන ආකාරයට කිසිවකුත් පණ පිටින් මිහිදන් වීම හුදු ප්රලාපයක්ම විය යුතු ය.

එමෙන්ම, සමීප තැනැත්තකුගේ අහිමි වීමත් සමග ඇතිවන දැඩි ශෝකය නිසා මොළයේ තැන්පත් වී ඇති මතකයන් සහ හඬවල් සක්‍රීය වීමෙන් සිහින පෙනේ. මෙය වියෝ දුක (Grief) නම් මිනිස් ශෝක ප්රකාශනයේ මානසික සංසිද්ධියක් මිස අද්භූත පණිවුඩයක් නොවේ. නමුත් යමකුගේ මරණය මුල් කොට මෙබඳු සංකූලතා නිරතුරුවම සිදුවන්නේ නම්, එය අසාමාන්‍ය වියෝ රෝගයේ (Abnormal Grief Reaction) ලක්ෂණයක් වීමට ද පුළුවන. ඒ අනුව නූතන විද්‍යාව අපට කියාදෙන සැබෑ පාඩම වන්නේ, සර්ප දෂ්ටනයකින් පසු නිශ්චල වන පුද්ගලයකු “පණ හැංගී ඇතැයි” සිතා සාම්ප්‍රදායික කෙම් ක්‍රමවලට යොමු නොවී, වහාම රෝහල්ගත කර ප්‍රතිවිෂ (Antivenom) සහ කෘත්‍රිම ශ්වසන සහාය ලබා දිය යුතු බවයි. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සර්ප දෂ්ටන පිළිබඳ විශේෂඥ කමිටුව (Expert Committee on Snakebite) ලබාදෙන මාර්ගෝපදේශ අනුගමනය කිරීම ජීවිතාරක්ෂක ක්‍රම බව ද කිව යුතුය.
මළවුන්ට පණ දුන්නේ මිනිසාගේ පරිකල්පනය තුළින් බිහි වූ කතා තුළ ය. නමුත් නූතන වෛද්‍ය විද්‍යාව කරන්නේ මරණය ලෙස පෙනෙන ජීවිතයක් සැබෑවටම රැකගැනීමයි. ඩීමන් ආනන්දයන්ගේ මාරක කතා අද නැවත කියවන විට, ඒවා හුදෙක් බියකරු ප්‍රබන්ධ නොව, මරණය පිළිබඳ මිනිස් සන්තානයේ මුල් බැස ගත් බිය සහ කුතුහලය නිරූපණය වන අගනා සංස්කෘතික ලේඛනයන් බව මේ වන විට මා හට ද මනාව වැටහී තිබේ. එය, ඔහු සම්බන්ධ මගේ සිත තුළ ගෞරවාදරයක් ජනිත කරවන්නකි.
තිලක් සේනාසිංහ