
ලොව විශිෂ්ටතම සංස්කෘතික දායාදයක් වන ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසනික ඉතිහාසය සහ කලා උරුමය මුළු මහත් ආසියාවටම ආඩම්බරයකි. අනුරාධපුර, පොළොන්නරු, මහියංගණ වැනි පුදබිම්වල ඇති පැරණි බුද්ධ ප්‍රතිමා එම උරුමයේ හදවත බඳු ය. එහෙත් මෑත කාලීනව දඹ රන් යන මිථ්‍යා මතය පදනම් කර ගනිමින් මේ පෞරාණික ප්‍රතිමා සංවිධානාත්මකව සොරකම් කිරීමේ භයානක ප්‍රවණතාවක් මතුව ඇත. මීට හය මසකට පමණ ඉහත, 2025 ඔක්තෝබර් 22 වන දින මහියංගණ රජමහා විහාර කෞතුකාගාරයෙන් සොරකම් කරන ලද, කිලෝ හතළිහක් පමණ බරැති පෞරාණික සමාධි බුදු පිළිමය මහනුවරදී අලෙවි කිරීමට තැත් කිරීම එම ඛේදවාචකයේ නවතම මෙන්ම බරපතළම නිදසුනකි. මෙම පෞරාණික සමාධි බුදු පිළිමය, 2026 මැයි 14 වන දින මහනුවර ප්‍රදේශයට ප්‍රවාහනය කර ඇත්තේ මෝටර් රථයක සඟවා ගනිමිනි. පසුව එහි කොටස් කපා ලෝහ පරීක්ෂාවකට ද ලක් කර තිබේ. ඒ එහි ලෝහ සංයුතිය රන් දැයි දැනගනු පිණිස බව නිසැක ය. මෙවන් පෞරාණික බුදු පිළිම සොරා ගන්නවුන් ඒවා මෙලෙස කපා කොටා ලෝහ පරීක්ෂා කොට අවසානයේ අත්හැර දැමීම සාමාන්‍ය සංසිද්ධියකි. එවිට නැවත භාරකරුවන් අතට පත්වනුයේ බරපතළ ලෙස හානියට පත් වූ බුද්ධ ප්‍රතිමා සහ එහි කොටස් ය. නමුත් මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරුවන් සමඟ මෙම පිළිමය පොලිස් භාරයට ගැනීමට හැකි විය.
මෙම සාහසික අපරාධය පිටුපස ඇති සංවිධානාත්මක ජාලය සහ එහි ක්‍රියාවලිය දෙස බැලීමේදී පෙනී යන්නේ අපරාධකරුවන් කෙතරම් සූක්ෂ්ම ලෙස කටයුතු කර ඇත්ද යන්නයි. මෙම ජාවාරමට කුරුණෑගල ප්‍රදේශයේ භික්ෂුවක, විශ්‍රාමික යුද හමුදා බලලත් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් සම්බන්ධ වී ඇති බව අනාවරණය වී තිබේ. එම සොරුන් “වෙසක් පොහොය නිමිත්තෙන් බුදු පිළිමය ඔප දැමීමට රැගෙන යනවා” යනුවෙන් කුරුණෑගල ඉබ්බාගමුව විහාරස්ථානයක හිමිනමක ලවා ව්‍යාජ ලිපියක් පවා සකස් කර තිබීමෙන් පැහැදිලි වන්නේ මෙම අපරාධය සැලසුම් සහගතව සිදු කර ඇති බවකි. මෙම සැකකරුවන් ජුනි 17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, 1940 අංක 09 පුරාවස්තු ආඥාපනත සහ 1998 අංක 24 සංශෝධන පනත යටතේ නඩු පවරා ඇත.
ජන සම්මතයට අනුව “දඹ රන්” යනු රන් මෙන් වටිනා දුර්ලභ ලෝහයක් ලෙස සැලකේ. ඒවා ඉන්දියාවේ ජම්බු නම් නදියෙහි උපදින නිසා “ජම්බෝනද” ලෙස හැඳින්වෙන බවත් ජන විශ්වාසයකි. එමෙන්ම බුද්ධ ප්‍රතිමා තැනීම පිණිස මේවා ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත්තේ මලියදේව මහ රහතන් වහන්සේ බවට ද ප්‍රබල මතයක් තිබේ. එහෙත්, විවිධ ඓතිහාසික මූලාශ්රවල විවිධ කාල වකවානු මුල් කොට ඉදිරිපත් කෙරෙන මෙම මලියදේව මහ රහත් නාමයේ සැබෑ අනන්‍යතාව පිළිබඳව ද ගැටලු පවතියි. නමුත් පුරාවිද්‍යාත්මකව හා ලෝහ විද්‍යාත්මකව දඹ රන් නමින් ලෝහයක් හෝ රන් සංයුතියක් ලොව කොතැනකවත් නැත.
ජන සම්මතයට අනුව “දඹ රන්” යනු රන් මෙන් වටිනා දුර්ලභ ලෝහයක් ලෙස සැලකේ. ඒවා ඉන්දියාවේ ජම්බු නම් නදියෙහි උපදින නිසා “ජම්බෝනද” ලෙස හැඳින්වෙන බවත් ජන විශ්වාසයකි. එමෙන්ම බුද්ධ ප්‍රතිමා තැනීම පිණිස මේවා ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත්තේ මලියදේව මහ රහතන් වහන්සේ බවට ද ප්‍රබල මතයක් තිබේ. එහෙත්, විවිධ ඓතිහාසික මූලාශ්රවල විවිධ කාල වකවානු මුල් කොට ඉදිරිපත් කෙරෙන මෙම මලියදේව මහ රහත් නාමයේ සැබෑ අනන්‍යතාව පිළිබඳව ද ගැටලු පවතියි. නමුත් පුරාවිද්‍යාත්මකව හා ලෝහ විද්‍යාත්මකව දඹ රන් නමින් ලෝහයක් හෝ රන් සංයුතියක් ලොව කොතැනකවත් නැත. සැබෑ විද්‍යාත්මක සහ තාක්ෂණික යථාර්ථය නම්, බොහෝ පැරණි බුද්ධ ප්‍රතිමා තනා ඇත්තේ ලෝකඩ, පිත්තල වැනි ලෝහ මිශ්‍රණයකින් හෝ මැටි-ගඩොල් මාධ්‍යයකිනි. පිළිමයට රන්වන් පැහැයක් ලබාදීමට රන් පත් හෝ රන් දියර භාවිතයෙන් ලූණු සිවියක් තරම් තුනී රන් තට්ටුවක් ආලේප කරයි. මෙය ස්වර්ණාලේපනය (Gilding) නම් ශිල්පීය ක්‍රමය ලෙස හඳුන්වනු ලැබේ. එම ආලේප කරන රන් සිවියේ බර මිලිග්‍රෑම් ගණනකට සීමා වන අතර, උණු කර රන් ලෙස විකිණීමට තරම් කිසිදු ආර්ථික වටිනාකමක් ඒවායේ ඇත්තේම නැත.

මේ අතර මෙම දඹ රන් සම්බන්ධ යථාර්ථවාදී පසුබිමක් ද තිබේ. ගංගා, ඇළ දොළ ආදී ජල මූලාශ්‍ර ආශ්‍රිතව සහ වැලි නිධිවල ස්වභාවිකව තැන්පත් වී ඇති රන් කුඩු හෝ රන් කැබලි හැඳින්වීමට “රන් සුණු” (Electrum Gold / Alluvial Gold) යන යෙදුම භාවිත වේ. කඳුකර ප්‍රදේශවල පවතින ප්‍රධාන රන් ශිරා (Gold Veins) හෝ රන් අන්තර්ගත පාෂාණ, වසර මිලියන ගණනාවක් තිස්සේ වැසි ජලයට සහ සුළඟට නිරාවරණය වීමෙන් ඛාදනයට ලක් වේ. මෙසේ ගැලවී යන සියුම් රන් කොටස්, ජල ප්රවාහයන් මඟින් පහළට ගසාගෙන විත් ගංගා නිම්න, ගං පතුල් හෝ වැලි තැන්පතු අතර රැඳෙයි. රන් සතු අධික ඝනත්වය (High Density) නිසා ඒවා ජලයේ පාවී නොගොස්, ගඟේ වේගය බාල වන වංගු සහිත ස්ථානවල හෝ ගල් පර අතර පහළම ස්ථරයේ මණ්ඩි වශයෙන් තැන්පත් වේ. විශේෂයෙන්ම කැලණි ගඟේ ඉහළ පෝෂක ප්‍රදේශ සහ වලවේ ගඟ ආශ්රිත වැලි නිධිවල සියුම් රන් සුණු පවතින බව විද්‍යාත්මක පරීක්ෂණ මඟින් පවා තහවුරු කර ඇත. පසුගිය කාලය තුළ කැලණි ගඟේ පූගොඩ ආශ්‍රිතව ද වලවේ ගඟේ කිරිඉබ්බන්ආර ආශ්‍රිතව ද මෙසේ රන් සුණු මතු වූ බවට වාර්තා පළ විය. එමෙන්ම අප රටේ ප්‍රධාන දුම්රිය මාර්ගය තනන අවස්ථාවේ අඹේපුස්ස ආසන්නයේ මා ඔයේ වැලි තට්ටු මත මෙබඳු රන් සුණු තිබූ බව එම මාර්ග තැනීමේ යෙදී සිටි, විදේශීය රන් ආකරවල සේවය කොට තිබූ ඉන්දියානු කම්කරුවන් ප්‍රකාශ කොට තිබේ. අදටත් එම ප්‍රදේශය හැඳින්වෙනුයේ “රත්තරන්හේන” යනුවෙනි. එමෙන්ම ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික මැණික් ගංගා ආශ්රිත ඉල්ලම් ගැරීමේදී පතුලේ ඉතිරි වන බරින් වැඩි ඉල්මනයිට් (Ilmenite), රූටයිල් (Rutile) වැනි බර ඛනිජ සමඟ ඉතා සියුම් රන් සුණු අංශු (Gold Flakes) කලාතුරකින් හමු වන බව පතල්කරුවෝ පවසති. ලෝකය පුරාම මෙන්ම ලංකාවේ ද ජල මූලාශ්‍රවලින් සාම්ප්‍රදායිකව රන් සුණු වෙන් කරගැනීමට (Gold Panning) භාවිත කරන්නේ භෞතික ගුරුත්වාකර්ෂණ ක්රමයකි. රන් මිශ්‍ර වැලි සහ පස්, නොගැඹුරු තැටියකට/බේසමකට/නෑඹිලියකට ගෙන ජලය සමඟ රවුමට සොලවන අතර, එවිට සැහැල්ලු වැලි සහ පස් කොටස් ජලය සමඟ ඉවතට ගසාගෙන යන අතර අධික බරින් යුත් බැවින් රන් සුණු එහි පතුලේ ඉතිරි වේ. ඉකුත් කාලයේ මෙලෙස කැලණි නදියේ පූගොඩ කුමාරිමුල්ල ආශ්‍රිතව මෙසේ රන් සුණු ගැරූ පිරිසක් 2012 වසරේ ජූනි 17 ඉරු දින හමු වූ මට, ඉන් ඔවුන් ලත් ආදායම පිළිබඳව දැනගත හැකි විය. එදින පූගොඩ ලකී ජුවෙලර්ස් ආයතනයේදී මට හමු වූ පූගොඩ බානගල වත්තේ අශෝකා ප්‍රියංගනී මහත්මිය මා හා පවසා සිටියේ තමන් ඇතුළු තිදෙනකු දින අටක් පුරා දිවා කාලයේ පැය දහයක් පමණ කැලණි ගඟේ නොගැඹුරු දියට බැස කළ රන් ගැරීමකින් රුපියල් දොළොස් දහසක මුදලක් උපයා ගත හැකි වූ බවකි. ඒ අනුව ඉන් එක් අයෙකුගේ ආදායම රුපියල් හාරදහසක් වූ අතර, දිනයක ආදායම රුපියල් පන්සියයක් විය. නමුත් මාස සේම වසර ගණන් තිස්සේ මෙලෙස අති දුෂ්කර ආයාසයක් දරා ඉන්දියාවේ ගංගාවලින් මතු වන රන් සුණු එක් කරගන්නා හින්දු බැතිමත්හු බාරහාර ඔප්පු කරනු වස් ඒවායින් කෝවිල්වල දේව රූප ස්වර්ණාලේපිත කරති. ඔවුන් අතර දේව භක්තියෙන් ඔද වැඩී ගිය කෝටි ප්රකෝටිපතියන් හිඳින බව ද කියනු ලැබේ. ඒ අනුව මෙම දඹ රන් කතිකාව තවදුරටත් ඉදිරියට ගෙන යා යුතු නැතැයි මට සිතෙයි.

මහියංගණ සොරකමේදී සොරුන් වටහා නොගත් දෙය නම් පිළිමයේ සැබෑ වටිනාකම ඇත්තේ එහි ඓතිහාසික, කලාත්මක හා ආගමික වැදගත්කම තුළ පමණක් බවයි. නමුත් එම සොරුන් පිළිමයේ කොටස් කපා ලෝහමය පරීක්ෂාවකට යොමු කොට රන් සංයුතිය සෙවීමෙන් අතිශයින් පැහැදිලි වන්නේ, ඔවුන් ද සමාජයේ පවතින මෙම හරසුන් මිථ්‍යාව සම්පූර්ණයෙන්ම විශ්වාස කර අන්ධ වී ඇති බවයි.
මෙවන් මුළාවන් නිසා සිදුවන භෞතික සහ සංස්කෘතික විනාශය සුළුපටු නොවේ. රන් ඇතැයි සිතා පිළිම කැපීම, උණු කිරීම සහ අම්ල යෙදීම නිසා වසර දහස් ගණනක් පැරණි අගනා කලා නිර්මාණ සදහටම මෙලොවින් තුරන් වී යයි. මහියංගණ පිළිමයත් මෙලෙස කපා පරීක්ෂාවට ලක් කිරීමෙන් දැනටමත් හානියට පත්ව ඇත. අනෙක් අතට, මෙම ජාවාරම පිටුපස විශ්‍රාමික හමුදා නිලධාරීන් සහ පැවිද්දන් පවා සම්බන්ධ වෙමින් ව්‍යාජ ලේඛන, ප්‍රවාහන පහසුකම් සහ කළු කඩ වෙළඳපොළ සම්බන්ධතා සපයන බුද්ධිමය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව පෙනේ. මහියංගණය වැනි සොළොස්මස්ථානයකට අයත් පූජනීය විහාරස්ථානයකින් මෙවැනි පිළිමයක් අතුරුදහන් වීම සමස්ත බෞද්ධ ජනතාවගේ හදවතට එල්ල කරන මරු පහරකි. මීට අමතරව, ශ්‍රී ලංකාවේ පුරාවස්තු ජාවාරම පිළිබඳ UNESCO වාර්තා පෙන්වා දෙන්නේ වසරකට රුපියල් මිලියන සිය ගණනක පුරාවස්තු නීති විරෝධීව රටින් පිටවන බවයි. මෙම මහා පරිමාණ ජාත්‍යන්තර ජාවාරමට ප්‍රධානතම ඉන්ධන සපයන්නේ ද දඹ රන් නමැති බරපතළ මිථ්‍යාව බව පෙනේ. ශ්‍රී ලංකාවේ බලපැවැත්වෙන 1940 අංක 09 දරන පුරාවස්තු ආඥාපනත සහ 1998 අංක 24 දරන සංශෝධන පනත අනුව අවුරුදු 100ට වඩා පැරණි සෑම කලා කෘතියක්ම “පුරාවස්තුවක්” ලෙස සැලකේ. එවැනි පුරාවස්තුවක් සොරකම් කිරීම, හානි කිරීම හෝ විකිණීමට තැත් කිරීම වසර 2 සිට 10 දක්වා සිර දඬුවම් සහ දැඩි දඩ නියම කළ හැකි බරපතළ වරදකි. වාසනාවකට මෙන්, මහියංගණ පිළිමයට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිල සහතිකයක් තිබීම මෙහිදී නීතිමය කටයුතු ශක්තිමත් කිරීමට හේතු විය. එහෙත් වර්තමාන ප්‍රධාන ගැටලුව ඇත්තේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී ය. විහාරස්ථානවල ආරක්ෂාව දුර්වල වීම, මහජනතාව තුළ නීතිය පිළිබඳ දැනුවත්භාවය අඩුකම සහ ජාවාරම්කරුවන්ට දේශපාලන හෝ සමාජ රැකවරණය ලැබීම නිසා මෙම සංස්කෘතික අපරාධ දිනෙන් දින ඉහළ යමින් පවතී.

“දඹ රන්” යනු මිථ්‍යාවක් බව පාසල් විෂය නිර්දේශයට, දහම් පාසල්වලට සහ ජනමාධ්‍ය හරහා රටටම ඒත්තු ගැන්විය යුතුය. ඒ අනුව මෙවන් සිදුවීම් සම්බන්ධයෙන් පළ වන මාධ්‍ය වාර්තාවල “මිල කළ නොහැකි වටිනා” වැනි සාටෝපකාරී යෙදුම් සමාජගත කිරීම වළකාලිය යුතුය. සාමාන්‍යයෙන් පුරාවස්තු මූල්‍යමය තක්සේරුවකට යටත් නොකෙරේ. එනිසා ඒවා “මිල කළ නොහැකි” බව ඇත්තකි. ඒ අනුව මාධ්‍යවේදීන් ඒවා අමිල අගයකින් යුතු මහා වටිනා වස්තූන් ලෙස හඳුන්වා දීම, එක්වරම කටට එන වදන්වලින් කිවහොත් ඔවුන් දෙන “මෝඩ චූන් එකක්” හෝ “ගොන් ආතල් එකකි”.
එහෙත් මෙම උවදුර පිටුදැකීම පිණිස අනාගතය උදෙසා ගත යුතු විසඳුම් ද නැත්තේම නොවේ. විද්‍යාත්මක දැනුවත් කිරීම ඉන් ප්‍රධාන වේ. “දඹ රන්” යනු මිථ්‍යාවක් බව පාසල් විෂය නිර්දේශයට, දහම් පාසල්වලට සහ ජනමාධ්‍ය හරහා රටටම ඒත්තු ගැන්විය යුතුය. ඒ අනුව මෙවන් සිදුවීම් සම්බන්ධයෙන් පළ වන මාධ්‍ය වාර්තාවල “මිල කළ නොහැකි වටිනා” වැනි සාටෝපකාරී යෙදුම් සමාජගත කිරීම වළකාලිය යුතුය. සාමාන්‍යයෙන් පුරාවස්තු මූල්‍යමය තක්සේරුවකට යටත් නොකෙරේ. එනිසා ඒවා “මිල කළ නොහැකි” බව ඇත්තකි. ඒ අනුව මාධ්‍යවේදීන් ඒවා අමිල අගයකින් යුතු මහා වටිනා වස්තූන් ලෙස හඳුන්වා දීම, එක්වරම කටට එන වදන්වලින් කිවහොත් ඔවුන් දෙන “මෝඩ චූන් එකක්” හෝ “ගොන් ආතල් එකකි”. එනිසා ඒ සම්බන්ධ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලෝහ විශ්ලේෂණ වාර්තා නිරන්තරයෙන් ප්‍රසිද්ධ කළ යුතුය. එයට අමතරව එවන් පුරාවස්තු සහිත විහාරස්ථානවල ආරක්ෂාව සහතික කිරීම ද වැදගත් පියවරකි. CCTV, අනතුරු ඇඟවීමේ පද්ධති, රාත්‍රී මුර සංචාර සහ පුරාවස්තු නිසි ලෙස ලේඛනගත කිරීම අනිවාර්ය කළ යුතුය.

ගම්මුන් තම ගමේ විහාරයේ ඇති පැරණි වටිනා වස්තූන් පිළිබඳ ඇත්ත ඇති සැටියෙන් දත යුතු අතර නිරතුරු සෝදිසියෙන් ද සිටිය යුතුය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ කහටවිලගෙදර ස්වර්ණ ප්‍රතිබිම්බාරාම විහාරයේ ඇති බුද්ධ ප්‍රතිමාව කිහිප වරක් සොරුන් විසින් පැහැරගෙන යාම නිසා එය රිමාන්ඩ් මැදිරියක් බඳු, යකඩ කූරු සහිත විශාල කොන්ක්‍රීට් කුටියක තැන්පත් කර තිබෙනු පසුගිය කාලයේ අපට දැක ගත හැකි විය. පොළොන්නරුව රාජධානියේ රජ කළ නිශ්ශංකමල්ල (1187-1196) රජු විසින් විහාරස්ථානයට පරිත්‍යාග කරන ලද බවක් පැවසෙන බුද්ධ ප්‍රතිමාව නිසා මෙම විහාරස්ථානයට නම ලැබී ඇති බව පැවසේ. නමුත් අප දකින විට ද එහි මතුපිට ආලේප කොට තිබූ තුනී රන් සිවිය ගැලවී යමින් තිබිණි. ඒ අනුව මුළු මිනිස් සමාජයටම වින පමුණුවන මෙම දඹ රන් මේනියාව මුල් කොට යළි කිසි දා යථාවත් කර ගත නොහැකි ලෙස අප රටේ ਆගමික සංස්කෘතික උරුමයන් වනසා දැමීමට ඉඩ හැරීම සුළුපටු කරුණක් සේ නොසිතිය යුතු ය.
තිලක් සේනාසිංහ