දින දින පිබිදෙන “අහේනි” එළවළු පාරිභෝගික සංස්කෘතිය

වත්මන් ආණ්ඩුව විසින් මැද පන්තියේ ජනතාවගේ එදිනෙදා ජීවන තත්ත්වය වෙනස් කරමින් අලුත් පාරිභෝගික සංස්කෘතියක් හදුන්වා දී තිබේ. අප රටේ මධ්‍යම පාන්තික සමහරකු භාණ්ඩ මිලදී ගත්තේ සුපිරි වෙළෙද සල්වලිනි.

එම සුපිරි වෙළෙඳ සල්වලට සාමාන්‍ය එළවළු වෙළෙඳ සල් ජාලයක් ද මේ වන විට රට තුළ බිහිවී හමාර ය.

එම වෙළෙද සල් වෙත යන පාරිභෝගිකයාට තමන්ට කැමති එළවළු ප්‍රමාණයක් තෝරා ගත හැකි අතර එහි ඇති විද්‍යුත් තරාදිය මත තබා කිරවා ගෙන තමන්ටම බිල් පතක් ලබා ගැනීමේ හැකියාව ද පවතියි.

එදා එළවළු වෙළෙද සලට ගිය මධ්‍යම පාන්තික පාරිභෝගිකයා බොහෝ විට එළවළු මිලදී ගත්තේ ග්‍රැම් 250 ක අගයන් වලිනි. තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වුව ද අඩු වුවද කිරුම් ප්‍රමාණය වූයේ ග්‍රෑම් 250 ය.යම් එළවළුවක මිල අඩු නම් ග්‍රෑම් 500 ක් ගැනීමට ද මධ්‍යම පාන්තිකයා පැකිලෙන්නේ නැත.

එළවළු මිල අහස උසට යාම තුළ නව එළවළු වෙළෙද සල් ජාලය පාරිභෝගිකයාට සෙතක් කර තිබේ. එනම් තමන්ට කැමති ප්‍රමාණයක් මිලදී ගැනීමට දී තිබෙන අවස්ථාව ය.

එහි දී ග්‍රෑම් 250 ක්ම ඉල්ලන්නට අවශ්‍ය නැත. බෝංචි නම් කරල් කිහිපයක් වශයෙන් වුව තෝරා මිලට ගත හැකිය. බණ්ඩක්කා, කැරට්, බටු, ලීක්ස් ආදී ඕනෑම එළවළුවක් කරල් හෝ කොළ,ගස් ගාණට මිලදී ගැනීමට මෙහි බාධවක් නොමැත. වත්මන් ආණ්ඩුව ඇති කර තිබෙන අධික එළවළු මිල යටතේ නව වෙළෙද සල් ජාලය පාරිභෝගිකයාට පහසුවක් ගෙන දී ඇත.ඒ අනුව කලින් පැවැති සාමාන්‍ය එළවළු කඩ ද අද මෙම මාදිලියට හැරෙමින් තිබේ.

. මේ වන විට සෑම වර්ගයකම එළවළු කිලෝවක් රුපියල් 500 සීමාව ඉක්මවා ගොස් තිබේ. එක බෝංචි කරලක් රුපියල් 15 ක් පමණ වේ. සාමාන්‍ය ප්‍රමාණයේ කැරට් අලයක් රුපියල් 30 ක් පමණ වේ.

දැන් කොළඹ හා නාගරික ප්‍රදේශවල කොස් අලෙවි කරනුයේ මදුළු ගලවලා ය. එතනදී බොහෝ විට රුපියල් 100 බෑගයකට කොස් මදුළු 15 ක් 20 ක් පමණ තිබේ.

අද තත්වය අනුව. රුපියල් දහසක් රැගෙන ගියහොත් ගත හැකි වන්නේ එළවළු වර්ග පහක් හයක් පමණකි. කිලෝව බැගින් ගතහොත් එළවළු වර්ග දෙකක් පමණක් මිලට ගත හැකි ය.මේ අතර එළවළු පිසගෙන කනවාට වඩා එළවළු සුප් හදාගෙන කන එක ලාබදායක බව පාරිභෝගිකයෝ පවසති. එළවළු මිල ගණන් ඉහළ යාමට හේතුව පොහොර ගැටළුව බව ගොවීහු පවසති.

රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර හදුන්වාදීමේ ප්‍රතිඵලයක් ලෙස එළවළු වගාව ඇන හිටි බව ගොවීහු කියා සිටිති.

කාබනික පොහොර යොදා වගා කළ එළවළු අස්වැන්න බාලවී ඇති අතර හොර රහසේ මිලදී ගත් රසායනික පොහොර භාවිතා කළ එළවළුවලින් යම් ප්‍රමාණයක් මෙලෙස අධික මිළ වෙළෙද පොලට පැමිණ තිබේ.

මැනිං වෙළෙද පොලේ තොග වෙළඳුන් සඳහන් කරනුයේ වෙනදාට එළවළු කිලෝ 20 ක් ගත් සිල්ලර වෙළෙන්දන් දැන් මිලදී ගන්නේ එළවළු කිලෝ 10 ක් 5 ක් පමණ බව ය.

ඔවුන් ද එය ගමට ගෙන ගොස් විකිණිය නොහැකි බවට මැසිවිලි නගන බව ද තොග වෙළඳුන් සඳහන් කරති.එමෙන්ම එළවළු තොග වෙළඳ මධ්‍යථාන වල කලින් කසල ගොඩට වැටුණු එළවළු වෙනම විකිණීමේ යාන්ත්‍රණයක් ද ක්‍රියාත්මක ය.

එළවළු මිල මෙලෙස අහස උසට ඉහළ යද්දී පාලකයන් කිසිදු ගණනක් නොගෙන සිටිනු දැකීම ජුගුප්සා ජනක ය. අහිංසක ජනතාව එළවළු සුප් බොද්දී පාලකයෝ රිසි සේ රුපියල් කෝටි ගණන් මහජන මුදල් අවභාවිතා කරමින් සිටිති.

අහාර ගැටළුව මේ වන විට සොරකම් කරන තැනට පැමිණ තිබේ. තමන්ගේ දුවා දරුවන්ට ආහාර වේලක් දී ගත නොහැකි ඇතැම් නාගරික දුගී දෙමාපියෝ එළවළු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සොරකම් කිරීමට පෙළඹී සිටිති.ඒ අනුව අද එළවළු සඳහා ද විශේෂ ආරක්ෂාවක් සැළසීමට වෙළඳුන්ට සිදු වී තිබේ.

රසායනික පොහොර ගෙන්වීම සදහා අවසර ලබා දුන්න ද කිසිදු සමාගමක් මේ දක්වා ඒවා ඇණවුම් කර නොමැත. ඊට හේතුව ඩොලර් නොමැතිවීම හා ලෝක වොළෙද පොලේ රසායනික පොහොර මිල ඉහළ යාම ය.

ඩොලර් සෙවීම වෙනුවෙන් තිබෙන ආණ්ඩුවේ වැඩපිළිවෙල කුමක්දැයි විමසුව ද තවමත් රජය එය හෙළිකරන්නේ නැත. වාර්තා වන තොරතුරු අනුව පෙනී යන්නේ ලබන වර වන විට රට බංකොලොත් වන බව පමණ ය.

රුපියලේ වටිනාකම ද දිනෙන් දින පිරිහී යන අතර ආණ්ඩුව පාරිභෝගිකයන්ට භාණ්ඩ මිලදී ගැනීම වෙනුවෙන් නව වෙළෙද සංස්කෘතින් හදුන්වා දී ඇති බව පැහැදිලි ය.

නව වෙළෙඳ සංස්කෘතීන් බිහිවීම තත් කාලීන සමාජ ආර්ථික පසුබිම් තුළින් සිදු වෙයි.

නමුත් මේ මාදිලියේ අහේනි වෙළඳ පාරිභෝගික සංස්කෘතියක් හදුන්වා දෙන පළමු ආණ්ඩුව ලෙස වත්මන් ආණ්ඩුව ඉතිහාස ගත වීම අනිවාර්ය ය.

ලසන්ත වීරකුලසූරිය

 

එතෙර - මෙතෙර