දීග දන්තු ඝාතන සිද්ධියේ විමර්ශන උදෘත නීතිපතිට යවන්න නියෝග

කලාවැව කහල්ල පල්ලේකැලේ අභය භූමියේ සැරිසරමින් සිටි දීග දන්තු දළ ඇතාට විදුලි සර වද්දවා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කර ඇති විමර්ශනවල උදෘත (සටහන්) නීතිපති උපදෙස් සඳහා නීතිපතිවරයා වෙත යවන්නැයි කැකිරාව මහෙස්ත්‍රාත් උදාරි ගුණසේකර ගල්කිරියාගම වනජීවි කාර්යාලයේ නිලධාරීන්ට නියෝග කළාය.

එමෙන්ම මරා දැමූ දළ ඇතාගේ වටිනාකම තක්සේරු කර ඊට අදාළ තක්සේරු වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මහෙස්ත්‍රාත්වරිය තක්සේරු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට, වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ කිරුළ පදනමේ සභාපති මහචාර්ය රංජිත් බණ්ඩාරට තවදුරටත් නියෝග කෙරිණ.

මෙසේ නියෝග කළේ මෙම සිද්ධියට අදාළ නඩුව කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේ වනජීවි නිලධාරීන් වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැළකිල්ලට ගනිමිනි.

මෙම අපරාධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මසකට අධික කාලයක් බන්ධනාගාරගතව පසුව දැනට ඇප මත මුදා හැර සිටිනුයේ පෞද්ගලික රක්ෂණ සමාගමක කැකිරාව ශාඛාවේ කළමනාකරු වන ගල්කිරියාගම හිඟුරුවැව පදිංචි අයෙකි.

පැමිණිල්ල වෙනුවෙන් ගල්කිරියාගම වනජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂක ප්‍රශාන්ත විජේකෝන්ගේ උපදෙස් මත වන සත්ත්ව නියාමක සඳුන් ඒකනායක පෙනී සිටි අතර සැකකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන කුමාර තෙන්නකෝන් ඇතුළු නීතිඥවරුන් කණ්ඩායමක් පෙනී සිටියහ.

මෙම නඩුවට අතරමැදි පාර්ශ්වයන් ලෙස අලි ඇතුන් සුරැකීමේ ලෝක සංවිධානයේ මෙරට නියෝජිත දිලකි ශෂිකලා වීරරත්නගේ උපදෙස් මත එම සංවිධානය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ විජිත වික්‍රමනායක පෙනී සිටි අතර දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඔමල්පේ සෝභිත හිමියන් සභාපතිත්වය දරණ ස්වභාවධර්මයට සහ වන සතුන්ට යුක්තිය උදෙසා සංවිධානය වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ නීතිඥ අනුරුද්ධ විජයරත්න පෙනී සිටියි.

කාලීන පුවත්