පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
ඔක්තෝබර් මාසය වන විට කිසිදු ගැටලුවකින් තොරව පෞද්ගලික අංශයේ සේවකයන්ට ද මෙම අන්තර්ජාල දුම්රිය වාර ප්‍රවේශපත්‍ර පහසුකම ලබාදීමට කටයුතු යොදමින් සිටින බවද ඔහු සඳහන් කරයි.රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා අන්තර්ජාලය ඔස්සේ දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබාගැනීමේ පහසුකම පසුගිය මාසයේදී හඳුන්වා දෙන ලදී.
මේ අතර, දිවයින පුරා රියදුරන්ගේ සහ මගීන්ගේ ආරක්ෂාව තවදුරටත් ඉහළ නැංවීම සඳහා නව නීති සහ රෙගුලාසි කිහිපයක් හඳුන්වා දෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.එමෙන්ම එළඹෙන සැප්තැම්බර් 19 වනදා සිට අධිවේගී මාර්ගවල ධාවනය වන සියලුම වාහනවල රියදුරන්ට මෙන්ම මගීන්ට ද ආරක්ෂිත බඳ පටි පැළඳීම අනිවාර්ය කිරීමට පියවර ගෙන ඇති බව මෙහිදී අමාත්‍යවරයා සඳහන් කරයි.
අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් පැවසුවේ පොදු මගී ප්‍රවාහන සේවාවල නිරත රියදුරන් සඳහා දින දහයක විශේෂ පුහුණුවක් ලබාදීමටත්, රියදුරන් ඉලක්ක කරගනිමින් ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂාවන් නිරන්තරයෙන් සිදුකිරීමටත්, ප්‍රමිතිගත හා ආරක්ෂිත වාහන පමණක් ධාවනයට යෙදවීමටත් තීරණය කර ඇති බවයි.මේ අතර යතුරුපැදිකරුවන් වෙනුවෙන් SLS ප්‍රමිතියෙන් යුත් ආරක්ෂිත හිස්වැසුම් භාවිතය අනිවාර්ය කිරීමට කටයුතු කර ඇති අතර ඉදිරි කාලයේදී යතුරුපැදි සඳහාම වෙන්වූ මංතීරුවක් හඳුන්වා දීමට ද සැලසුම් කරන බව අමාත්‍යවරයා පවසයි.