මාලදිවයිනේ පැවති ” ආහාර සහ උපස්ථාන ජාත්‍යන්තර සූපශාස්ත්‍ර තරගාවලිය – 2026 “( Food And Hospitality Asia , Maldives Culinary Competition – 2026) සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම පදක්කම් 16 ක් සහ එක් තරග අංශයක ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ද සමත් වී සිටි අතර ඔවුන් ඊයේ (11) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
මාලදිවයින , හුලුමාළේ නුවර දී පැවති මෙම තරගාවලිය ලෝකයේ රටවල් 15 කට අධික සූපවේදීන්ගේ සහභාගීත්වයෙන් , ඉකුත් 07 වන දින සිට 09 දින දක්වා , කාණ්ඩ අංශ 21 ක් යටතේයි පැවැත්විය.
නාශික් නජිලා සූපවේදිනිය ” ආර්ටිස්ටික් ෂෝපීසස් ( Artistic Showpiece ) අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගෙන තිබුණි.
මීට අමතරව මෙම ශ්‍රී ලංකා කණ්ඩායම උසස් මට්ටමේ කේක් සහ පේස්ට්‍රි නිර්මාණ ,ගුණාත්මක ඉදිරිපත් කිරීම් , නිරවද්‍ය සැරසිලි සහ ව්‍යුහාත්මක නිර්මාණ සඳහා රන් පදක්කම් – 05 ක් , රිදී පදක්කම් 09 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගැනීමට සමත් වී තිබේ.
සූපවේදිනියන් කණ්ඩායම පිළිගැනීම සඳහා ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු නෑදෑ හිතවතුන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේය.