පානදුර වෙරළට ජෙලිෆිෂ් රංචුවක් ගොඩ ගසයි; වෙරළ තීරයේ දිය නෑමෙන් වළකින ලෙස විශේෂ නිවේදනයක්

පානදුර වෙරළ තීරයට හදිසියේම විශාල ජෙලිෆිෂ් (Jellyfish) තොගයක් ගොඩගසා තිබීම හේතුවෙන් එම මුහුදු තීරයේ දිය නෑමෙන් සහ විනෝද කටයුතුවලින් වළකින ලෙස බලධාරීන් මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.ඉකුත් ඉරිදා (26) නිවාඩු දිනයේදී මෙම අනතුරුදායක තත්ත්වය වාර්තා වී ඇත. විනෝද වීම සඳහා පානදුර වෙරළට පැමිණ මුහුදේ දිය නාමින් සිටි පිරිසක් නොදැනුවත්වම මෙම ජෙලිෆිෂ් මත්ස්‍යයන්ගේ ගැටීමට ලක්ව තුවාල ලබා තිබේ.මෙම සිදුවීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් දස දෙනෙකු පමණ වහාම පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත. තුවාල ලැබූවන් අතර කුඩා දරුවන් සිව්දෙනෙකු ද සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.අසාත්මිකතා, සමේ දැවිල්ල, රතු පැහැ ලප සහ දැඩි වේදනාවන්ට ලක්ව සිටි ඔවුන් සියලු දෙනාටම කඩිනමින් අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව සුවය ලබා පිටව ගොස් ඇති බව වාර්තා වේ.ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ ජෙලිෆිෂ් විශේෂ 150කට ආසන්න සංඛ්‍යාවක් ජීවත් වන බව පර්යේෂණ මඟින් තහවුරු කර ඇත. වාර්තා වන අන්දමට පානදුර වෙරළ තීරය පුරා කුඩා ප්‍රමාණයේ ජෙලිෆිෂ් මත්ස්‍යයන් 300කට ආසන්න සංඛ්‍යාවක් ගොඩගසා තිබී නිරීක්ෂණය වී ඇත.මෝසම් කාලගුණයත් සමඟ මුහුදු රළ, සුළං ධාරා සහ උෂ්ණත්ව වෙනස්වීම් හේතුවෙන් ජෙලිෆිෂ් විශාල වශයෙන් වෙරළට ගසාගෙන ඒම සාමාන්‍ය සිදුවීමකි. විශේෂයෙන් නිරිතදිග මෝසම සක්‍රීය වන කාලයේදී ශ්‍රී ලංකාවේ බටහිර සහ නිරිතදිග වෙරළ තීරයන්හි මෙම තත්ත්වය නිතර දක්නට ලැබේ. මියගිය ජෙලිෆිෂ් මත්ස්‍යයෙකුගේ ස්පර්ශක (ධාරකයන්) පවා පැය ගණනක් විෂ සහිතව පවතින බැවින් ඒවා අතින් ඇල්ලීමෙන් වළකින ලෙස විශේෂඥයෝ අනතුරු අඟවති.
ජෙලිෆිෂ් දෂ්ටනයකදී තුවාල වූ ස්ථානය මිරිදියෙන් හෝ නළ ජලයෙන් සේදීමෙන් විෂ වඩාත් සක්‍රීය විය හැකි බැවින්, මුහුදු ජලයෙන්ම සෝදා හැකිනම් විනාකිරිවලින් තත්පර 30ක් පමණ සෝදා විෂ අඩපණ කරන ලෙසත්, සම මත ඇලී ඇති ජෙලිෆිෂ් කොටස් අතින් නොඅල්ලා කරදියෙන් සෝදා ඉවත් කරන ලෙසත් වෛද්‍යවරු උපදෙස් දෙති.එමෙන්ම හුස්ම ගැනීමේ අපහසුව, කරකැවිල්ල, වමනය, දැඩි ඉදිමීමක් හෝ වේදනාව දිගටම පවතී නම් වහාම ළඟම ඇති රෝහලට යන ලෙස ද වෛද්‍යවරු වැඩිදුරටත් උපදෙස් දෙති.මේ වන විටත් පානදුර වෙරළ තීරයේ ජීවී සහ මියගිය ජෙලිෆිෂ් විශාල ප්‍රමාණයක් රැඳී ඇති බැවින්, තත්ත්වය යථා තත්ත්වයට පත්වන තුරු දිය නෑමෙන්, මසුන් ඇල්ලීමෙන් සහ දරුවන්ට වෙරළේ සෙල්ලම් කිරීමට ඉඩ හැරීමෙන් වළකින ලෙස පානදුර පොලීසිය සහ ප්‍රදේශවාසීහු මහජනතාවගෙන් ඉල්ලා සිටිති.

කාලීන පුවත්