පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් පදවියෙන් ඉල්ලා අස් වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංගයන් ගැන සිසුවකු ගේ සටහනක්

විශ්ව විද්‍යාලයේ පළමු වසරෙ ඉගෙන ගද්දි මට එක් සමාසිකයක දේශන කීපයක් මග හැරුණා. ඒ වෙනත් අධ්‍යන අංශයක බාහිර ක්‍රියාකාරකම් කීපයකට මට සම්බන්ධ වෙන්න වෙලා තිබුණු නිසා. මට මගහැරුණු දේශනවලින් සැලැකිය යුතු ප්‍රමාණයක් මනතුංග සර් ගෙ දේශන. ඔය වගේ දවසක මම කැලැණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨය පහු කරගෙන වෙනත් කටයුත්තකට ගමන් කරමින් ඉද්දි මට සර් ව මුණ ගැහෙනවා.
“ශකිල අද මගෙ දේශනේට ආවෙ නෑ නේද?”
“අනේ මට අද එන්න බැරි වුණා සර්”
මම හේතුව කීවා.
“කමක් නෑ. එන්න මාත් එක්ක.”
එතුමා මාව කැඳවගෙන ගියා.
“අද ඉගැන්නුවෙ මේ පාඩම. ඔය සඟරාවෙ ඒ ගැන කොටසක් තියෙනවා. ඒක ෆොටෝ කොපි කරගෙන සඟරාව මට ගෙනත් දෙන්න”
ඒ මහාචාර්ය අනුර මනතුංගයන් ගෙ හැටි.
“ඔයා පාලි පොත් කියවනව නෙ. මේ ටික අරං ගිහින් කියවන්න”
“ඔයා ගාව දැරණියගල සර් ගෙ ප්‍රී හිස්ට්‍රි පොත තියෙනව ද? මං පොත් දෙකක් ගත්තා. ඔයා ගාව පොත නැත්තං මේ එක පොතක් අරගෙන යන්න”
අදටත් මනතුංග සර් මට දුන්න පොත් කීපයක් ම මගෙ ගාව සුරක්ෂිත ව තියෙනවා.
විශ්වවිද්‍යාලයක සඟරාවකට මම මුලින් ම ලිපියක් ලිව්වෙ මනතුංග සර් මූලිකත්වය ගත් සඟරාවකට. ඒ වෙද්දි මම විශ්වවිද්‍යාලයට ඇතුළු වෙලා ඒ හැටි කාලයක් ගත වෙලා තිබුණෙ නෑ.
අදටත් මේ කාරණා කෘතවේදී ව මම සිහිපත් කරනවා.
එතුමා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වෙලා ඉද්දි සිදුවුණු සමහර සිදුවීම් ගැන ඒ තරම් මනාපයක් මගෙ නැතත් ඒ සිදුවීම් විවේචනය කරද්දි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ට සෘජු ව මම චෝදනා නො කරන්න එක හේතුවක් තිබුණා. ඔය සිදුවීම් පිටුපස අපිට නො පෙනෙන බලපෑම් ගණනාවක් ම තිබුණු බව අපිට වැටහිලා තිබුණා.
හිරිවඩුන්න සිද්ධිය ගැන අවධානය යොමු කළොත් ඇති වෙලා තිබුණු තත්ත්වය වැටහේවි. ඒ සිද්ධියෙ දි එතුමා නිර්භය වැඩක් කළා. මගෙ මතකය නිවැරැදි නම් හිරිවඩුන්න බෝධිය අසල කැණීම් සිදු වෙන්න කලින් ම එතුමා අදාල බෝධිය හා සම්බන්ධ ව ව්‍යාප්ත කරන කරුණු මිථ්‍යා බවට ප්‍රසිද්ධ මාධ්‍යයේ ම අදහස් පළ කළා. කැණීමට කලින් අපිට එහි ප්‍රතිඵලය තහවුරු කරන්න බැරි වුණත් කරුණු දන්න අයට අදාල සැකැස්ම හෝ බාහිර තත්ත්වයන් නිරීක්ෂණය කරලා ඇතැම් පැහැදිලි කර ගැනීම් කරගන්න පුළුවන්. එතැන දි එතුමා නිර්භීත වුණා.
විශ්වවිද්‍යාලයේ වුණත් ශාස්ත්‍රීය වැඩකටයුතු කොයි තරම් නං එතුමා ගෙ මැදිහත්වීමෙන් සිද්ධ වුණා ද කියලා අපි දන්නවා.
කොහොම නමුත් ස්වාධීන ව තමන් ගෙ රාජකාරිය ඉටු කරන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා තියෙන පරිසරයක මහාචාර්ය මනතුංගයන්ට කළ හැකි ව තිබූ බොහෝ දේවල් මගහැරුණා කියලා මට හිතෙනවා. ඒ වගේ ම එතුමා රටට වැඩදායී බොහෝ දේ කරන්න උත්සාහ ගත් බවත් මම පෞද්ගලික ව දන්නවා.
එතුමා ගෙ ශාස්ත්‍රීය දායකත්වය ලංකේය පුරාවිද්‍යා ක්⁣ෂේත්‍රයේ පෝෂණයට විශ්වවිද්‍යාල මට්ටමින් ඉදිරියටත් සිදු වේවි. ඊට ශක්තිය ධෛර්යය නො අඩුව ලැබිය යුතු බව ⁣මගේ ප්‍රාර්ථනාව!

ශකිල රාජකරුණා

එතෙර - මෙතෙර