බෙගම් කලීඩා සියා අභාවප්‍රාප්ත වෙයි

බංග්ලා දේශයේ හිටපු අගමැතිනි බෙගම් කලීඩා සියා ඩකා හි එවර්කෙයාර් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (30) අළුයම අභාවප්‍රාප්ත වී තිබේ ලබන වසරේ මැතිවරණයෙන් නැවතත් තම රට මෙහෙයවනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළ මුත් ඇය වයස අවුරුදු 80 දී අභාවප්‍රාප්ත වූ බව ඉන්දියාවේ එන් ඩී ටීවී පුවත් සේවය වාර්තා කරයි. තම පක්ෂයේ සභාපතිනිය අඟහරුවාදා උදෑසන 6 ට අභාවප්‍රාප්ත වූ බව බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය ( BNP ) නිකුත් කළ නිවේදනයක දැක්වේ.”BNP සභාපතිනිය සහ හිටපු අගමැතිනි, ජාතික නායිකා බෙගම් කලීඩා සියා, අද උදෑසන 6:00 ට, ෆජ්ර් (උදෑසන) යාඥාවෙන් පසු අභාවප්‍රාප්ත වූවාය,” “ඇගේ ආත්මයට සමාව ඉල්ලා අපි යාච්ඤා කරන අතර ඇගේ මියගිය ආත්මය වෙනුවෙන් යාච්ඤා කරන ලෙස සැමගෙන් ඉල්ලා සිටිමු,” එම නිවේදනයේ තවදුරටත් සඳහන් විය. පසුගිය නොවැම්බර් 23 වන දින ඇගේ හදවතේ සහ පෙනහළුවල ආසාදන හේතුවෙන් ඇතුළත් කිරීමෙන් පසු ඇය පසුගිය දින 36 තුළ ප්‍රතිකාර ලබමින් සිටියා ය. බංග්ලාදේශ දිනපතා පුවත්පතක් වන ද ඩේලි ස්ටාර්ට අනුව ඇය නියුමෝනියාවෙන් ද පීඩා වින්දා ය.
බංග්ලාදේශයේ පළමු කාන්තා අගමැතිනිය වූ ඇය පසුගිය වසර කිහිපය තුළ දූෂණ චෝදනා මත සිරගතව සිටි අතර, අක්මා සිරෝසිස්, ආතරයිටිස්, දියවැඩියාව සහ වකුගඩු, පෙනහළු, හෘදය සහ ඇස් වලට බලපාන නිදන්ගත ගැටළු ඇතුළු බහුවිධ සෞඛ්‍ය සංකූලතා සමඟ දිගු කලක් පොරබදමින් සිටියාය.පසුව 2024 බංග්ලා දේශයේ ඇති වූ දේශපාලන බල අරගලයෙන් හිටපු අගමැතිනි ෂෙයික් හසීනා ගේ ඉල්ලා අස්වීමෙන් පසු බෙගම් කලීඩා සියාට නිදහස ලැබිණ. පසුව බංග්ලාදේශය, එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, චීනය සහ ඕස්ට්‍රේලියාව යන රටවල විශේෂඥයින් විසින් ඇගේ සෞඛ්‍ය තත්වය අධීක්ෂණය කරන ලදී. ඇගේ අභාවය සිදු වී ඇත්තේ ඒ අතරේ ය.

කාලීන පුවත්