නොවැම්බර් මාසය ආරම්භ වනවාත් සමඟ අපට නිතර අසන්නට ලැබෙන වචනයක් තිබේ. ඒ ‘උත්සව සමය’ යන්නයි. තවමත් නත්තලට මාස දෙකක පමණ කාලයක් තිබුණත් වෙළෙඳසල්වල විශේෂ වට්ටම්, තෑගි දීමනා, අලුත් ඇඳුම් පැළඳුම් සහ විවිධ උත්සව ප්‍රචාරණ දක්නට ලැබේ. රූපවාහිනියෙන්, අන්තර්ජාලයෙන් සහ සමාජ මාධ්‍යවලින් අපට නිතර සිහිපත් කරන්නේ දැන් උත්සව සමය ළඟ බවයි. දෙසැම්බරය තවමත් පැමිණ නැතත්, වෙළෙඳපොළ නම් උත්සවයට සූදානම් වී අවසන් ය.
නමුත් මෙතැනදී අපට ප්‍රශ්නයක් මතු වේ. නොවැම්බරය ඇත්තටම උත්සව මාසයක්ද? එසේත් නැත්නම් වෙළෙඳපොළ විසින් අපට උත්සව මාසයක් නිර්මාණය කර දී තිබේද?
ක්‍රිස්තියානි සම්ප්‍රදායන් තුළ නොවැම්බර් මාසය මළවුන් සිහිපත් කිරීම හා සම්බන්ධ වැදගත් කාලයකි. නොවැම්බර් පළමුවැනිදා සියලු සාන්තුවරයන්ගේ දිනයත්, දෙවැනිදා සියලු මියගිය විශ්වාසිකයන් සිහිපත් කිරීමේ දිනයත් යෙදේ. කතෝලික සම්ප්රදාය තුළ මේ මාසය පුරාම මියගිය ඥාතීන් සිහිපත් කරමින් යාච්ඤා කිරීමේ චාරිත්‍ර දක්නට ලැබේ. අප රටේ නම් නොවැම්බර් මාසය පුරාම සුසාන භූමි වෙත ගොස් මල් හා ඉටිපන්දම් තැබීම වැනි චාරිත්‍ර සිදු කෙරේ.
එසේ නම්, එකම මාසයක් එක් සංස්කෘතික පසුබිමකදී මියගියවුන් සිහිපත් කරන කාලයක් වන අතර, තවත් පැත්තකින් වෙළෙඳපොළ විසින් විශාල සාප්පු සවාරි සමයක ආරම්භය ලෙස හඳුන්වන්නේ කෙසේ ද?
ඇත්තෙන්ම නොවැම්බර් මාසයේ සිට උත්සව සමය ආරම්භ වීම ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ දෙයක් නොවේ. ඇමරිකාවේ මේ සඳහා පැහැදිලි උදාහරණයක් තිබේ. එරට ජාතික සිල්ලර වෙළෙඳ සම්මේලනය (National Retail Federation – NRF) ශීත ඍතු උත්සව සමය ලෙස නොවැම්බර් 1 සිට දෙසැම්බර් 31 දක්වා කාලය සලකයි. එයට Thanksgiving, Christmas, Hanukkah සහ Kwanzaa වැනි උත්සව ඇතුළත් වේ. එම ආයතනය පෙන්වා දෙන්නේ පාරිභෝගිකයන්ගෙන් සැලකිය යුතු පිරිසක් නොවැම්බර් මාසයටත් පෙර සාප්පු සවාරි ආරම්භ කරන බවත්, ඒ අනුව වෙළෙඳුන් ඔක්තෝබර් මාසයේ සිටම විශේෂ වට්ටම් සහ අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් ආරම්භ කරන බවත් ය.
ඇමරිකාවේ නොවැම්බර් මාසයේ සිව්වැනි බ්‍රහස්පතින්දාට යෙදෙන Thanksgiving දිනයෙන් පසු එළඹෙන Black Friday සහ Cyber Monday දින මේ වෙළෙඳ සංස්කෘතියේ ප්‍රධාන අවස්ථා දෙකකි. විශේෂයෙන්ම Black Friday දිනය නත්තල් තෑගි මිලදී ගැනීමේ කාලය ප්‍රවර්ධනය කරන දිනයක් බවට පත්ව තිබේ. කලක් වට්ටම් ලබා දීම එදිනට පමණක් සීමා වී තිබුණ ද දැන් එය සමස්ත උත්සව සමය පුරා විහිදෙමින් පවතී. ශ්‍රී ලංකාවේ ද මෑත වසර කිහිපයක සිට Thanksgiving සහ Black Friday සැමරීම, Black Friday වෙනුවෙන් වට්ටම් ප්රදානය කිරීම ආදිය දකින්නට තිබේ.
යුරෝපයේ තත්ත්වය ද ඊට සමාන වුවත්, රටින් රටට වෙනස්කම් තිබේ. ක්‍රිස්තියානි සම්ප්රදාය තුළ නත්තලට පෙර සූදානම් වන Advent සමය සාමාන්‍යයෙන් නොවැම්බර් අග හෝ දෙසැම්බර් මුල ආරම්භ වේ. ජර්මනිය, ඔස්ට්‍රියාව සහ ප්‍රංශය වැනි රටවල නත්තල් වෙළෙඳපොළ බොහොමයක් ද නොවැම්බර් අවසාන සතියේ පමණ විවෘත වේ. එහිදී නත්තල් සැරසිලි, තෑගි, ආහාරපාන සහ විනෝදාස්වාදය මුල් කරගත් විශේෂ වෙළෙඳ සංස්කෘතියක් දක්නට ලැබේ.
ඒ අනුව නොවැම්බර් මාසයේ සිට නත්තලට සූදානම් වීම ජාත්‍යන්තර වශයෙන් දක්නට ලැබෙන ප්රවණතාවකි. නමුත් මෙහිදී මතු වන වැදගත් ප්රශ්නය වන්නේ උත්සවයකට සූදානම් වීම සහ උත්සවයක් නාමයෙන් දිගු කාලයක් පුරා පාරිභෝගිකයන් මිලදී ගැනීම් සඳහා පොළඹවා තැබීම අතර ඇති වෙනසයි.
උත්සවයක මූලික අරමුණ වන්නේ මිනිසුන් එකට එකතු කිරීම, ආගමික හෝ සංස්කෘතික අර්ථයක් සැමරීම, සතුට බෙදාගැනීම සහ සමාජ සම්බන්ධතා ශක්තිමත් කිරීමයි. නමුත් වර්තමානයේ උත්සවයක් ළං වන විට අපට මුලින්ම මතක් කර දෙන්නේ එහි අර්ථය නොව, ඒ වෙනුවෙන් මිලදී ගත යුතු දේවල් ය.
උත්සව යනු මිනිස් සමාජයේ පැරණි සංස්කෘතික අංගයකි. ආගමික විශ්වාස, ඓතිහාසික සිදුවීම්, අස්වැන්න නෙළීම සහ සමාජ සබඳතා වැනි විවිධ හේතු මත ලෝකයේ සෑම සමාජයකම පාහේ උත්සව පැවැත්වේ. මේවායේ මූලික අරමුණ වන්නේ මිනිසුන් එකට එක් කිරීම, සතුට බෙදාගැනීම සහ සංස්කෘතික බැඳීම් පවත්වාගෙන යාමයි.
නත්තලද එවැනි උත්සවයකි. එය කිතුනු ආගමික පසුබිමක් සහිත වුවත් අද වන විට ලෝකයේ බොහෝ රටවල ආගමික සීමාවන් ඉක්මවා ගිය සංස්කෘතික සැමරුමක් බවට පත්ව තිබේ. නත්තලට පෙර සිටම නගර අලංකාර කිරීම, තෑගි මිලදී ගැනීම, විශේෂ ආහාර සකස් කිරීම සහ පවුලේ සාමාජිකයන් එකතු වීම වැනි කටයුතු සිදුවේ. ඉන් අනතුරුව එළඹෙන අලුත් අවුරුද්දද බොහෝ රටවල සැමරුම් හා නිවාඩු සමයක් බවට පත්වෙයි.
එහෙත් මෙහිදී අවධානය යොමු කළ යුතු කාරණයක් තිබේ. උත්සවය පැවැත්වෙන දිනයකට වඩා බොහෝ කලකට පෙර සිටම එය වටා විශාල වෙළෙඳපොළක් නිර්මාණය වීමයි.
නත්තලට තෑගි මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයන් සූදානම් කිරීම, අලුත් ඇඳුම් මිලදී ගැනීමට පෙළඹවීම සහ විවිධ විනෝදාස්වාද කටයුතු ප්‍රවර්ධනය කිරීම මේ කාලය තුළ සිදු වේ. මේ නිසා උත්සවය යනු එක් දිනයක් වුවත්, එය වටා ගොඩනැඟෙන වාණිජමය කාල පරිච්ඡේදය සති ගණනාවක් හෝ මාස ගණනාවක් දක්වා දිගු වේ.
ශ්‍රී ලංකාවේ නොවැම්බර් මාසයේ සිටම උත්සව සමය පිළිබඳ ප්‍රචාරණය දැඩි වීමට හේතුව ද මේ පසුබිම තුළ තේරුම්ගත හැකිය. වෙළෙඳපොළට අවශ්‍ය වන්නේ උත්සව දිනය එනතුරු බලා සිටීම නොව, ඒ සඳහා පාරිභෝගිකයාගේ වියදම් කිරීමේ සූදානම කලින්ම ඇති කිරීමයි.
අපේ සාමාන්‍ය ජීවිතයෙන්ම මේ තත්ත්වය තේරුම්ගත හැකි ය.
උදාහරණයක් ලෙස, නිවසේ භාවිතයට ප්‍රමාණවත් ඇඳුම් තිබෙන පුද්ගලයකුට වෙළෙඳසලක විශේෂ වට්ටම් ප්‍රචාරණයක් දක්නට ලැබේ. මුලදී එම ඇඳුම් මිලදී ගැනීමට කිසිදු අදහසක් නොතිබුණත්, වට්ටම දුටු පසු ඒවා මිලදී ගැනීමට සිතෙයි. ඇතැම් විට අවශ්‍යතාවට වඩා වැඩි ප්‍රමාණයක්ද මිලදී ගනියි.
පසුව සිතා බැලූ විට එම භාණ්ඩ මිලදී ගැනීමට සැබෑ අවශ්‍යතාවක් තිබී නැත. වට්ටමක් ලැබෙන නිසා මිලදී ගැනීමක් සිදු කර තිබේ.
මෙය ඉතා සරල සිදුවීමක් වුවත් පරිභෝජන සංස්කෘතියේ වැදගත් ලක්ෂණයක් එයින් පැහැදිලි වේ. එනම්, අප භාණ්ඩයක් මිලදී ගැනීමට පෙළඹෙන්නේ එය අපට අවශ්‍ය නිසාම නොව, එය මිලදී ගැනීමට සුදුසු අවස්ථාවක් උදා වී ඇතැයි අපට හැඟෙන නිසාද විය හැකි බවයි.
වෙළෙඳ ප්‍රචාරණ මේ මනෝභාවය හොඳින් හඳුනාගෙන තිබේ. ‘සීමිත කාලයකට පමණයි’, ‘අදම මිලදී ගන්න’, ‘විශේෂ උත්සව දීමනාව’ වැනි පණිවිඩ මඟින් පාරිභෝගිකයාට ඉක්මන් තීරණයක් ගැනීමට බලපෑම් ඇති කරයි. වට්ටම අහිමි වීමට පෙර භාණ්ඩය මිලදී ගත යුතුය යන හැඟීම ඇති කරයි.
එහිදී අපට අමතක වන දෙයක් තිබේ. යම් භාණ්ඩයක් වට්ටමකට ලබාගැනීමෙන් මුදල් ඉතිරි වන්නේ එම භාණ්ඩය අපට සැබැවින්ම අවශ්‍ය නම් පමණි. අවශ්‍ය නොවන භාණ්ඩයක් වට්ටමකට මිලදී ගැනීමද අවසානයේ අනවශ්‍ය වියදමක්ම වේ.
පරිභෝජනය යනු මිනිස් ජීවිතයේ අත්‍යවශ්‍ය ක්‍රියාවලියකි. අපි ආහාර, ඇඳුම්, නිවාස සහ අනෙකුත් අවශ්‍යතා සපුරා ගැනීමට භාණ්ඩ මිලදී ගනිමු. එහෙත් අද පරිභෝජනය එම මූලික අවශ්‍යතා සපුරා ගැනීමෙන් ඔබ්බට ගොස් තිබේ.
අපි ඇතැම් විට භාණ්ඩයක් මිලදී ගන්නේ එහි ප්‍රයෝජනය නිසාම නොවේ. එය භාවිත කිරීමෙන් අපට ලැබෙන සමාජ පිළිගැනීම, අන් අය ඉදිරියේ ඇති වන ප්‍රතිරූපය සහ තමන් පිළිබඳ ඇති වන තෘප්තිය ද ඊට බලපායි.
ජංගම දුරකථනයක් උදාහරණයට ගනිමු. දැනට භාවිත කරන දුරකථනය හොඳින් ක්‍රියාත්මක වුවත්, අලුත්ම මාදිලිය වෙළෙඳපොළට පැමිණි විට එය මිලදී ගැනීමට ආශාවක් ඇති විය හැකිය. එය අවශ්‍යතාවක් නිසාම සිදුවන මිලදී ගැනීමක් නොව, අලුත්ම තාක්ෂණය භාවිත කරන පුද්ගලයකු ලෙස පෙනී සිටීමට ඇති කැමැත්ත නිසා සිදුවන මිලදී ගැනීමක්ද විය හැකි ය.
සමාජ විද්‍යාඥ ජීන් බෝද්රියා පෙන්වා දුන් පරිදි නූතන සමාජයේ මිනිසුන් භාණ්ඩවල ප්‍රයෝජනය පමණක් නොව, ඒවා නියෝජනය කරන සමාජමය වටිනාකමද මිලදී ගනිති. සරලව කිවහොත්, අප මිලදී ගන්නේ ඇතැම් විට භාණ්ඩයක් පමණක් නොව, එම භාණ්ඩය සමඟ බැඳී ඇති ජීවන රටාවක් සහ සමාජ ප්‍රතිරූපයකි.
උත්සව සමයේදී මෙය තවත් පැහැදිලි වේ. අලුත් ඇඳුමක් ඇඳීම, මිල අධික තෑග්ගක් ලබාදීම හෝ නිවස විශාල වශයෙන් අලංකාර කිරීම තුළින් තම සමාජ තත්ත්වය ප්‍රදර්ශනය කිරීමට ඇතැම් පුද්ගලයන් පෙළඹිය හැකි ය.
උත්සව සමය තුළ සතුට සහ මිලදී ගැනීම අතර ඇති සම්බන්ධය ඉතා වැදගත් ය.
නත්තලේ දී දරුවන්ට තෑගි ලබාදීම, පවුලේ සාමාජිකයන් සමඟ විශේෂ ආහාර වේලක් භුක්ති විඳීම හෝ මිතුරන් සමඟ විනෝද වීම සැබැවින්ම සුන්දර අත්දැකීම් ය. එහෙත් මේ සතුට අත්විඳීමට විශාල මුදලක් වැය කළ යුතුය යන අදහස ක්‍රමයෙන් සමාජගත වුවහොත් එය ගැටලුවකි.
අද වෙළෙඳ දැන්වීම් බොහොමයක් භාණ්ඩයක් විකුණන්නේ එහි ප්‍රයෝජනය පෙන්වීමෙන් පමණක් නොවේ. එම භාණ්ඩය මිලදී ගැනීමෙන් ඔබට ලැබෙන සතුට, ආදරය, පිළිගැනීම සහ විශේෂත්වය ද ඒ සමඟ අලෙවි කරනු ලැබේ.
‘ඔබ ආදරය කරන අයට හොඳම දේ ලබාදෙන්න’ වැනි පණිවිඩයකින් පාරිභෝගිකයාට හැඟෙන්නේ මිල අධික භාණ්ඩයක් ලබාදීම ආදරය ප්‍රකාශ කිරීමේ වැදගත්ම ක්‍රමය බවයි. එහෙත් තෑග්ගක වටිනාකම තීරණය විය යුත්තේ එහි මිලෙන්ද? නැතහොත් එය ලබාදෙන පුද්ගලයාගේ ආදරය සහ සැලකිල්ලෙන්ද?
මෙවැනි අදහස් සමාජගත වීමත් සමඟ උත්සවයක් සැමරීමේ සැබෑ අර්ථය ක්‍රමයෙන් වෙනස් විය හැකිය.
මෙහි තවත් පැත්තක් වන්නේ උත්සව සමය නිසා ඇති වන ආර්ථික පීඩනයයි.
ආදායමට ගැළපෙන අයුරින් වියදම් කිරීම වෙනුවට අන් අය කරන ආකාරයටම උත්සවය සැමරිය යුතුය යන සමාජ අපේක්ෂාව ඇතැම් විට පුද්ගලයන් තුළ ඇති වේ. අලුත් ඇඳුම් මිලදී ගැනීම, දරුවන්ට තෑගි ලබාදීම, නිවස අලංකාර කිරීම සහ උත්සව සාද පැවැත්වීම වැනි දේ සඳහා වැඩිපුර මුදල් වැය කිරීමට ඔවුහු පෙළඹෙති.
විශේෂයෙන්ම සමාජ මාධ්‍ය මේ තත්ත්වයට අලුත් මානයක් එකතු කර තිබේ. අන් අයගේ උත්සව සැමරුම්, මිල අධික තෑගි, සංචාර සහ අලංකාර නිවාස නිරන්තරයෙන් දකින විට තම ජීවිතය ඒවා සමඟ සසඳා බැලීමට අප පෙළඹේ. එම සැසඳීම ඇතැම් විට තමන්ට දැරිය නොහැකි වියදම් කිරීමට පවා හේතු විය හැකි ය.
එවිට උත්සව සමයේ සතුට වෙනුවට ණය බරක් සහ මානසික පීඩනයක් ඉතිරි විය හැකිය. උත්සවය අවසන් වූ පසු ගෙවිය යුතු ණය වාරික, ක්‍රෙඩිට් කාඩ්පත් බිල්පත් සහ අඩු වූ ඉතිරිකිරීම් එහි ප්‍රතිඵල විය හැකිය.
මෙහිදී එක් වැදගත් කරුණක් පැහැදිලි කළ යුතුය. උත්සව සමයේ වෙළෙඳාම වැඩිවීම හෝ මිනිසුන් භාණ්ඩ මිලදී ගැනීම වැරදි දෙයක් නොවේ.
උත්සව සමය බොහෝ ව්‍යාපාරිකයන්ට වැදගත් ආදායම් මාර්ගයකි. කුඩා වෙළෙඳුන්ට, ඇඳුම් නිෂ්පාදකයන්ට, ආහාර සැපයුම්කරුවන්ට, ප්‍රවාහන සේවා සපයන්නන්ට සහ තාවකාලික රැකියා කරන පුද්ගලයන්ට මෙම කාලය ප්‍රයෝජනවත් වේ. වෙළෙඳාම වර්ධනය වීම ආර්ථිකයටද දායකත්වයක් සපයයි.
එබැවින් ප්රශ්නය වෙළෙඳාම නොවේ. ප්රශ්නය වන්නේ වෙළෙඳාම වර්ධනය කිරීම සඳහා මිනිසුන්ගේ අවශ්‍යතා ඉක්මවා ගොස් ඔවුන්ගේ ආශාවන් සහ මානසික දුර්වලතා අලෙවි කිරීමේ උපක්‍රමයක් බවට පත්වන්නේද යන්නයි.
පාරිභෝගිකයාට අවශ්‍ය භාණ්ඩය සාධාරණ මිලකට ලබාදීම එක් දෙයකි. ඔහුට අවශ්‍ය නොවන භාණ්ඩයක් මිලදී ගැනීමට පෙළඹවීම තවත් දෙයකි.
මේ දෙක අතර වෙනස හඳුනාගැනීම අද පාරිභෝගික සමාජය මුහුණ දෙන වැදගත් අභියෝගයකි.
උත්සව සමයක් යනු මිනිසුන්ගේ ජීවිතයට සතුටක් එකතු විය යුතු කාලයකි. පවුලේ සාමාජිකයන් සමඟ කාලය ගත කිරීම, මිතුරන් හමුවීම, තෑගි හුවමාරු කරගැනීම සහ අන් අය සමඟ සතුට බෙදාගැනීම එහි සැබෑ වටිනාකම්ය.
ඒ වෙනුවට උත්සවය සැමරීම යනු අලුත්ම ඇඳුමක් මිලදී ගැනීම, වැඩිම වට්ටම ලබාගැනීම හෝ අන් අයට වඩා විශාල වියදමක් දැරීම බවට පත්වන්නේ නම් අපට අහිමි වන්නේ උත්සවයේ සැබෑ අර්ථයයි.
එබැවින් උත්සව සමය පිළිබඳව වෙළෙඳපොළ අපට නිරන්තරයෙන් මතක් කර දෙන පණිවිඩ අතරින් මොහොතකට මිදී අප අපගෙන්ම ප්‍රශ්නයක් අසා බැලිය යුතුය.
අපට මේ භාණ්ඩය ඇත්තටම අවශ්‍යද? නැතිනම් එය මිලදී ගැනීමට අප තුළ අවශ්‍යතාවක් ඇති කර තිබේද?
සමහර විට මේ ප්‍රශ්නයට අවංකව පිළිතුරු දීමෙන් අපට විශාල මුදලක් ඉතිරි කරගැනීමට පමණක් නොව, උත්සවයක සැබෑ සතුට නැවත හඳුනාගැනීමටද හැකි වනු ඇත.
අවසානයේ අප සිතා බැලිය යුත්තේ උත්සව සමය පැමිණීම පිළිබඳව පමණක් නොවේ. එය පැමිණෙන විට අපේ සිතුම් පැතුම්, අවශ්‍යතා සහ මිලදී ගැනීමේ හැසිරීම් කොතරම් දුරට වෙනස් වී තිබේද යන්න පිළිබඳවය.ඒ අනුව ඉදිරි උත්සව සමයට සිහි නුවණින් යුතුවම මුහුණ දීමේ හැකියාව අප සතුව තිබිය යුතු ය.
මන්ද, උත්සව සමය අපේ ජීවිතයට සතුටක් එකතු කළ යුතුය. නමුත් ඒ සතුට යනු අප මිලදී ගත යුතු දෙයක් නොවේ.
– නිරංජන් චාමින්ද කරුණාතිලක