මස්කෙළියේ ලඳු කැලෑවකින් දිවියකුගේ මළ සිරුරක් හමුවෙයි

මස්කෙළිය පොලිස් වසමට අයත් ඕල්ටන් තේ වතුයායේ කිංකෝරා කොටසේ ලඳු කැලෑවක තිබී මියගිය ශ්‍රී ලංකා දිවියකුගේ ( Panthera pardus kotiya ) මළ සිරුරක් පෙරේදා (12) පස්වරුවේ එම වතුයායේ වතු කම්කරුවන් පිරිසක් විසින් සොයාගෙන තිබේ.මියගොස් ඇත්තේ අඩි 05ක් පමණ දිගකින් හා අඩි එකහමාරක් පමණ උසකින් යුතු වයස අවුරුදු 07ක පමණ වන වැඩිහිටි කොටියෙකු බවට වනජීවී නිලධාරීන් මූලික නිරීක්ෂණයේදී අනාවරණය කරගෙන ඇත.ඕල්ටන් තේ වතුයායේ පාලනාධිකාරිය විසින් ඒ බව මස්කෙළිය පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව, නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදු කර කොටියාගේ මළ සිරුර භාරගෙන තිබේ.නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරියෙකු පැවසුවේ මරණයට නිශ්චිත හේතුව අනාවරණය කර ගැනීම සඳහා මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රන්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන යාමට නියමිත බවයි.ශ්‍රී ලංකාවට ආවේණික උප විශේෂයක් වන ශ්‍රී ලංකා කොටියා (Panthera pardus kotiya) ජාත්‍යන්තර ස්වභාව සංරක්ෂණ සංගමයේ (IUCN) රතු දත්ත පොතට අනුව වඳවීමේ තර්ජනයට ලක්වූ (Endangered) සතෙකු ලෙස වර්ගීකරණය කර ඇත. වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ සම්පූර්ණයෙන්ම ආරක්ෂිත සතෙකි.මස්කෙළිය, නල්ලතන්නිය, හැටන් ප්‍රදේශය මධ්‍යම කඳුකරයේ කොටි ගහනයට ඉතා වැදගත් වාසස්ථානයකි. විශේෂයෙන් තේ වතු ආශ්‍රිත ලඳු කැලෑ සහ වනාන්තර කොරිඩෝ තුළ ඔවුන් නිතර ගැවසෙන බව වාර්තා වේ.මේ වන විට ශ්‍රී ලංකාවේ වනගහණය තුළ ජීවත් වන කොටි ගහනය 800ත් 1000ත් අතර පමණක් බවට ඇස්තමේන්තු කර තිබේ.
මෙම වටිනා වනජීවී සම්පත මෙලෙස මියයාමට මානව ක්‍රියාකාරකම්, වතු බිම්වල අඩුකරන ලද වගාවන්ට දැමීම, අනවසර දඩයම් කිරීම සඳහා අටවන මිරිස්වැල්, හක්කපටස් වැනි උගුල් සහ වාසස්ථාන අහිමිවීම ප්‍රධාන හේතු වී ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙති. මස්කෙළිය ප්‍රදේශයේ පසුගිය කාලයේ මෙවැනි කොටි මරණ කිහිපයක්ම වාර්තා වීම බරපතල තත්ත්වයක් බවද ඔවුහු පවසති.සිද්ධිය සම්බන්ධයෙන් නල්ලතන්නිය වනජීවී කාර්යාලය වැඩිදුර විමර්ශන සිදුකරයි.

කාලීන පුවත්