මහා භාණ්ඩාගාර මුදල් කොල්ලය: හැකරුන් ගැන තවමත් පරීක්ෂණ
විදෙස් ණයක් ගෙවීමට යාමේදී මහා භාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචනික ලෙස බාහිර පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් විමර්ශන ක්‍රියාත්මක වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. 2025 දෙසැම්බර් සිට 2026 ජනවාරි දක්වා කාලසීමාව තුළ සිදුව ඇතැයි කියන මෙම මහා පරිමාණ මූල්‍ය වංචාව පිළිබඳව අධිකරණයට දැනටමත් කරුණු වාර්තා කර ඇති බවත්, පරිගණක අපරාධ සම්බන්ධයෙන් කටයුතු කරන සියලු අංශ ඒකාබද්ධව පරීක්ෂණ පවත්වන බවත් අමාත්‍යවරයා පැවසීය. පරීක්ෂණ මූලිකව කරුණු තුනක් ඔස්සේ සිදු වන බව ඔහු අවධාරණය කළේය: පළමුව, මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් කවුරුන්ද සහ රාජ්‍ය නිලධාරීන්ගේ සම්බන්ධයක් තිබේද යන්න; දෙවනුව, මෙම මුදල් වංචාව සිදුවූ ආකාරය; සහ තෙවනුව, වංචනිකව පිටතට ගිය මුදල් යළි අයකර ගන්නේ කෙසේද යන්න. මහ බැංකුව ඇතුළු මූල්‍ය පද්ධතියට සම්බන්ධ අනෙකුත් ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් මෙම අයකර ගැනීමේ ක්‍රියාවලිය දෙපැත්තෙන්ම ක්‍රියාත්මක වන බව ද ජයතිස්ස මහතා සඳහන් කළේය. කෙසේ වෙතත් සිද්ධිය වී මාස ගණනක් ගතවී තිබුණද, වංචනිකව බැරවූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල බැරවී ඇති ස්ථානයක් හෝ ඒ සඳහා වගකිව යුතු හැකරුන් මෙතෙක් හඳුනා ගැනීමට බලධාරීන්ට හැකිවී නොමැති අතර, විමර්ශන තවදුරටත් අඛණ්ඩව සිදු කෙරේ.