මානසික රෝගීන් අපරාධ කරුවන් ලෙස හංවඩු තබන දේශපාලනඥයන්ගේ කතා පිළිගත හැකිද? – විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ

 

මානසික රෝග වලින් පෙළෙන්නවුන් සාපරාධී ක්‍රියාවන්ට පෙළඹීමේ වැඩි නැඹුරුවක් තිබේද? යන්න පිළිබඳව මේ දිනවල සමාජයේ පොදු අවධානයකට යොමුව තිබේ. අපගේ වැටහීම අනුව ඊට ආසන්නම නිමිත්ත වී ඇත්තේ එක්තරා සරසවි සිසුවකු විසින් තම පෙම්වතිය වන සරසවි සිසුවියක ඝාතනය කිරීමෙන් පසු එම සිසුවා පසුගිය කාලයේ මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලැබූවකු බව ප්‍රකාශ වීම ය. එහෙත්, එම සිදුවීමේ දිගුවක් ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රබල දේශපාලනඥයකු විසින් එම සිසුවා පසුගිය කාලයේ පැවැති අරගලයට සහභාගී වූවකු බව පවසමින් එම අරගලයට එක් වූ තරුණ පිරිස් මානසික රෝගීන් සහ මත්ද්‍රව්‍ය ලෝලීන් බව නිතර නිතර හුවා දැක්වීමේ උත්සාහයක් ද නිරීක්ෂණය වී තිබේ. ඒ අනුව එම අරගලයට සහභාගී වූවන් අතරේ මනුෂ්‍ය ඝාතන පවා සිදුකිරීමට තරම් පෙළඹෙන, දරුණු මානසික රෝගීන් හිඳින බවක් සනාථ කරවීමට ඔහු විසින් දරනු ලබන බාල දේශපාලනික ප්‍රයත්නය ද සමාජයට බෙහෙවින් අවැඩදායක වූවකි. ඊට හේතුව එවැනි ප්‍රකාශ මගින් මානසික රෝගීන් සහ සාපරාධී ක්‍රියා අතර කිනම් හෝ සබැඳියාවක් පවතින බවට පොදු ආකල්පයක් සමාජය පුරා පැතිර යා හැකි බවකි.

කායික සේම මානසික රෝග ද මිනිස් ජීවිත වලට නුහුරු ආගන්තුක ඒවා නොවේ.ඓන්ද්‍රීය, ජානමය, ජෛව රසායනික සහ මොළයේ විද්‍යුත් ක්‍රියාකාරීත්වයන් හි විෂමතා හට ගැනීම මත යමකු සයිකෝසීය වශයෙන් හැඳින්වෙන ප්‍රධාන මානසික රෝගවලට නතු විය හැක. ඊට පෞරුෂ, ප්‍රජා, සමාජ හෝ ආර්ථික ආදී වශයෙන් වන කිසිදු සාධකයක් සෘජු ලෙස ඉවහල් නොවේ. ඒ අනුව පළමුව කිව යුත්තේ මානසික රෝගීන් යනු සෙසු කායික රෝගීන් සේම එම පවුල් වල සාමාජිකයන් ගේත්, ප්‍රජාවේත් පොදු සමාජයේත් දයානුකම්පාවට, සුවිශේෂ අවධානයට සේම සුරක්ෂාවට ද යොමුවිය යුතු පිරිසක් බව ය.

අප සෑම කෙනෙකුටම වැළඳෙන බොහෝ කායික රෝග ඖෂධ හා වෙනයම් ප්‍රතිකාර මුල්කොට සම්පූර්ණයෙන් සුවපත් කරගත හැක. නැතහොත් ඒවා සමනය හෝ පාලනය කර ගත හැක. එහෙත්, එවන් තත්වයන් තුළ ඉන්පසු සමාජය එවැන්නවුන් රෝගීන් ලෙස නොසළකති.නිදසුනක් ලෙස ඖෂධ මඟින් පාලනය කිරීමට මිස පූර්ණ සුවයක් ලද නොහැකි දියවැඩියා රෝගය වැළඳුණු අයකු “දියවැඩියා කාරයා” යනුවෙන් කිසිවකුත් නොහඳුන්වති. නමුදු කිසියම් අයකු ජීවිතයේ කවර කලෙක හෝ මානසික රෝගයක් සඳහා ප්‍රතිකාර ලබා ගෙන ඇත්නම් ඒ තැනැත්තා එම රෝගය මුල් කොට යම් සමාජමය අවධානයකට සේම කොන් වීමකට ලක්වීමේ නැඹුරුවක් වර්තමානයේ පවතී.මෙය හුදෙක් නොදියුණු සමාජ ලක්ෂණයක් බව ද කිව යුතුම ය.

ඉහත සඳහන් ජෛව රසායනික ක්‍රියාකාරීත්වයන් සහ මොළයේ විද්‍යුත් ආවේග විෂම වීම මත හට ගන්නා ඇතැම් මානසික රෝග ස්වභාවික හේතූන් මත කලක දී ඉබේම මඟ හැරී යයි. තවත් කොටසක් විධිමත් ඖෂධ සහ වෙනයම් ප්‍රතිකාර මුල් කොට සම්පූර්ණයෙන් සුවපත් වෙයි. එමෙන්ම එසේ සම්පූර්ණයෙන් සුවපත් නොවන මානසික රෝග පාලනය කළ හැකි ඖෂධ සහ සෙසු ප්‍රතිකාර ද තිබේ. එම මානසික රෝග අතුරින් සුළු කොටසක් පමණක් ඉහත සඳහන් ආකාරයෙන් සුවපත් හෝ පාලනය නොවීම මත පුනරුත්ථාපන ක්‍රියාවලීන් තුළින් එම රෝගීන් යළි සමාජගත කිරීමේ යම් අවකාශයක් පවතී.

ඉහත සඳහන් සරසවි සිසුවා කලක් මානසික රෝගයක් සඳහා ප්‍රතිකාර ලැබූවකු වූ පමණින් ඔහු සිදු කළ ඒ ක්‍රියාව හා ඔහුට වැළදී තිබූ මානසික රෝගය අතර සෘජු සබැදියාවක් තිබිණි ද යන්න වෝහාරික මනෝ වෛද්‍ය විද්‍යාත්මක (Forensic psychiatry ) පදනමක් යටතේ විශ්ලේෂණයට ලක් කළ යුත්තකි. මක් නිසා ද යත් මානසික රෝග පවත්නා අතරේම ඇතැමුන් තුළ බුද්ධිමය හැකියාවන් ද එලෙසම පවතින බැවිනි. ඇතැම් මානසික රෝග ලක්ෂණ පළ කරන්නවුන් ඒ අතරේ ආචාර්ය උපාධි පවා හිමිකර ගත් අවස්ථා තිබේ. ඒ එම මානසික රෝගයත් සමඟ ඔවුන්ගේ බුද්ධි ඵලය( IQ)ශූන්‍ය නොවන බැවිනි.

මිනිසුන්ට වැළඳෙන ප්‍රධානතම මානසික රෝග අතුරින් භින්නෝන්මාදය ( Schizophrenia) මුල් තැනක් ගනී. මොළයේ පවත්නා ජෛව රසායනික සහ විද්‍යුත් විෂමතාවයන් නිසා සිතුවිලි වල අඛන්ඩතාව බිඳී යාම මුල් කොට එම රෝගයට භින්න උන්මාදය යන නම ලැබී ඇත. මෙම රෝගයෙන් පසුවන්නවුන් වැරදි විශ්වාස හෙවත්, මෝහමය සිතුවිලි (Delusion ) දරන අතර ඔව්හු මායා (illusion ) සහ භ්‍රාන්තිමය අත්දැකීම්( Hallucination) වලට මුහුණ පාති. ඒ අනුව එම මෝහ සිතුවිලි මත තමන් හට කිසිදු සතුරුකමක් නොකරන්නකු සතුරකු ලෙස හැඟී යාමේ සිට තමන් හමුවේ සිටින්නවුන් ගේ රූපකායන් විකෘති ලෙස දර්ශනය වීම ආදිය තෙක් මායාත්මක සහ භ්‍රාන්තිමය අත්දැකීම් වලට නතුවිය හැක. එවැනි තත්වයන් යටතේ යමකු යථාර්ථවාදී නොවන පදනමක් යටතේ සාපරාධී ක්‍රියාවන්ට පෙළඹීමේ යම් හැකියාවක් තිබේ. නමුත් ඒ පුද්ගලයා වටා පවත්නා පවුල්, ප්‍රජා සහ සමාජමය ආදී පාරිසරික සාධක මුල් කොට ඔහු ඒ සම්බන්ධ ස්වාභාවික පසුබෑමකට ලක් වීම ප්‍රායෝගික තත්වයකි.

1976 ජුලි මස 29 දා සිට ඇමරිකාවේ නිව්යෝක් නගරය ආශ්‍රිතව මිනී මැරුම් දාමයකට මුල පිරූ ඩේවිඩ් රිචර්ඩ් බර්කෝවිට්ස් 1977 අගෝස්තු 10 දා පොලිස් අත්අඩංගුවට පත් විය.ඒ වන විට තැපැල් සේවකයකු වශයෙන් කටයුතු කළ විසි හතර වියැති ඔහු හමුදා සේවයෙන් අවි පුහුණුවක් ලද අයකු ද බව පැවසිණ. 1977 ජූලි මාසයේ විශේෂ 44 කැලිබර් බුල්ඩෝග් රිවෝල්වරයක් භාවිතා කොට සය දෙනකු ඝාතනය කොට හත් දෙනකුට තුවාල සිදුකළ ඔහු මාධ්‍ය මගින් ප්‍රසිද්ධ වූයේ 44 කැල්බර් ඝාතකයා (44 Caliber killer ) ලෙසිනි. 1977 අගෝස්තු 10 දා බර්කෝවිට් අත් අඩංගුවට පත් වූ අතර එම මිනී මැරුම් දාමය සම්බන්ධයෙන් සිදුවූ නඩු විභාගයේ දී ඔහු කියා සිටියේ තම අසල්වැසියා වන සෑම් ගේ සුනඛයා මගින් “යක්ෂයා” තමන්ට මෙම මිනී මැරුම් දාමය සිදුකිරීමට අන කළ අතර එයට අවනත වීමට තමන්ට සිදු වූ බවකි. ඒ අනුව ඔහු මනෝ තත්වයක් යටතේ මෙම මිනී මැරුම් දාමය සිදු කොට ඇති බවට පෙනී ගිය අතර පසුව සෑම්ගේ පුත්‍රයා ( Son of Sam) ලෙස ද ඔහු ප්‍රකට විය.එම අපරාධ දාමය හමුවේ වරදකරු වූ ඔහුට ජීවිතාන්තය තෙක් සිර දඬුවම් නියම වූ අතර එය වසර විසි පහකින් නිමාවීමට නියමිතව තිබිණ. එහෙත් ඔහු පසු කලෙක කියා සිටියේ තමන් මෙම මිනී මැරුම් වලට හේතුව වශයෙන් කියා සිටි සෑම්ගේ පුත්‍රයා සහ යක්ෂයා ගේ නියෝගය කතාව සත්‍යයක් නොවන බව ය. ඒ අනුව මානසික රෝග මත සිදු කෙරෙන සාපරාධී ක්‍රියා නිරීක්ෂණය කෙතරම් සංකීර්ණ ක්‍රියාවලියක් දැයි ඔබට වැටහෙනු ඇත. දිවි අග්‍ර රෝගය (Bipolar disorder ) ද මිනිසුන් තුළ පවත්නා සිතුවිලි, ආවේගයන් හෙවත් භාවයන් වේගයෙන් උච්චාවචනයට ලක් කරවන රෝගයකි. මොළයේ පවත්නා ජෛව රසායනික විෂමතාවයන් මේ සඳහා ප්‍රධාන වශයෙන් ඉහවල් වන බව පැවසෙයි.මෙවැනි පුද්ගලයන් තුළ එක්වරම පිබිදෙන දැඩි ආවේගාත්මක හැඟීම් මුල් කොට යම් යම් පුද්ගලයන්ට පහරදීම් වැනි ක්‍රියාවන් හි යෙදීමේ යම් අවකාශයක් පවතී. නමුත් ඔවුහු ද සැළසුම් සහගත අයුරින් අපරාධ වලට යොමු වීමේ නැඹුරුවක් පළ නොකරති.

විශාදය යන රෝග ඛාණ්ඩය මානසික රෝග පරාසයේ සැළකිය යුතු තැනකට පත්වන්නකි. ඒ විශාද තත්වයන් අතුරින් තීව්‍ර විශාදය (Major depression ) තත්වයන් තුළ යමකු දිවි නසා ගැනීමට සේම අන්‍යයන් ගේ ජීවිතවලට හානි කිරීම වැනි තත්වයන්ට පෙළඹීමේ යම් අවකාශයක් පවතී.නමුදු මේ සම්බන්ධයෙන් විශේෂයෙන් කිව යුත්තක් ද තිබේ. එනම් ඒ සම්බන්ධයෙන් ලොව පුරා සිදු කරනු ලැබූ නිරීක්ෂණ අධ්‍යයනයන් ( Observational studies) ගෙන් ඉහත සඳහන් මානසික රෝග වලට පෙළෙන්නවුන් හා සාපරාධි ක්‍රියාවන් අතර සෘජු සබැදියාවක් ඇති බව පැහැදිලි ලෙස අනාවරණය වී නොතිබීම ය.

සමාජ විරෝධී පෞරුෂ ආබාධය (Antisocial personality disorder ) නමින් හැඳින්වෙන මානසික අර්බුදයෙන් පෙළෙන්නවුන් සමාජ විරෝධී ක්‍රියාවන්ට සේම විවිධ අපරාධ වලට ද සම්බන්ධ වන බවට තොරතුරු අනාවරණය වී තිබේ. යමකු තුළ එවන් තත්වයක් හට ගැනීමට ළමා විය හා සම්බන්ධ අහිතකර මානසික බලපෑම් ආදී බහුවිධ සාධක ඉවහල් වන බව ද සනාථ වී ඇත. නමුදු මෙය හුදෙක් මානසික රෝගයක් නොවන පෞරුෂමය ආබාධයක් වනඅතර එම තත්වය ද නිවැරදිව අනාවරණය කළ හැක්කේ විධිමත් මනෝ විශ්ලේෂණයකින් පමණි.නමුදු ඉහත සඳහන් පසුබිම යටතේ යමකු තමන් ගේ දේශපාලනමය අරමුණු ඉටු කර ගැනීම පිණිස හෝ තමන්ට එරෙහි දේශපාලන බලවේග යටපත් කිරීම පිණිස හෝ පොදු සමාජයේ දයානුකම්පාවට සුරක්ෂාවට නතු විය යුතු මානසික රෝගීන් හුදෙක් අපරාධ කරුවන් ලෙස සමාජය හමුවේ හුවා දැක්වීම ඔස්සේ ඔවුන් සිදු කරන එක්තරා ප්‍රබල කාරියක් තිබේ. එනම් තමන් ගේ නිර්ලජ්ජී භාවය පදනම් කරගත් සදාචාරාත්මක නිර්වස්ත්‍ර භාවය මුළුමහත් සමාජය හමුවේම ප්‍රදර්ශනය කිරීම ය.ඒ අනුව මනෝ වෛද්‍ය විද්‍යා විෂය පථය හා සම්බන්ධ වූවන් ලෙස එක් දෙයක් පැහැදිලිවම අවධාරණය කළ යුතු ය.එනම් පටු අරමුණු සඳහා සිදු කරන දේශපාලන ජාවාරම් වල දී මානසික සෞඛ්‍යය සම්බන්ධ කරුණු අවභාවිතා නොකරන ලෙස ය.

විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ

එතෙර - මෙතෙර