මිහින්තලේ නාහිමියන්ගේ නම විකුණා ෆේස් බුක් හොර සම්මාදමක්

මිහින්තලේ රජ මහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් ගේ නම සහ ඡායාරූපයක් යොදා ගනිමින් ව්‍යාජ ලෙස සකස් කළ ෆේස්බුක් ගිණුමක් ඔස්සේ එම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා යැයි පවසමින් මුදල් එකතු කරන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම පිණිස මිහින්තලේ පොලීසිය විමර්ශන කටයුතු අරඹා තිබේ.මිහින්තලා රජමහා විහාරවාසී සුරුක්කුලමේ ඉන්ද්‍රරතන හිමියන් විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව පොලීසිය මෙම විමර්ශන කටයුතු ආරම්භ කර ඇත. “ආචාර්ය ධම්මරතන හිමි” ලෙස නම සඳහන් කරමින් මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන්ගේ ඡායාරූපයක් යොදා මෙම ව්‍යාජ ෆේස්බුක් ගිණුම නිර්මාණය කර ඇති බව පොලීසිය කියයි.මිහින්තලේ රජමහා විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා ආධාර මුදල් පෞද්ගලික බැංකුවක ගිණුමකට බැර කරන ලෙසට එහි ප්‍රචාරය කර තිබේ. මිහින්තලය රජමහා විහාරස්ථානය මගින් මේ ආකාරයට මුදල් එකතු කිරීමක් සිදු නොකරන බවද සුරුක්කුලමේ ඉන්ද්‍රරතන හිමියන් විසින් කරන ලද පැමිණිල්ලේ සඳහන්ව තිබේ. නමුත් පසුගිය පොසොන් උත්සවය පැවැත්වීම සඳහා රාජ්‍ය මූල්‍ය අනුග්‍රහයක් නොලැබීම මත පිණ්ඩපාතයෙන් මුදල් ආධාර ලබා ගන්නා බවට මිහින්තලේ රජ මහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් මාධ්‍ය මඟින් කළ ප්‍රකාශය බෞද්ධ ධර්ම විනයට ඉඳුරාම පටහැනි බව ඇතැම් භික්ෂූන් වහන්සේලා පෙන්වා දුන් මුත් ඉන් ප්‍රකාශ වන ආණ්ඩු විරෝධය මුල් කොට එහි ධර්ම විනයානුකූල පසුබිම නොතැකූ තවත් පිරිසක් එය අනුමත කරනු දක්නා ලදී.

කාලීන පුවත්