මෙවර යල කන්නයේ අස්වනු නෙළන වී සඳහා රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති නව සහතික මිල ගණන් ප්‍රතික්ෂේප කිරීමට ගොවි සංවිධාන තීරණය කර ඇත. වර්තමානයේ පොහොර, කෘමිනාශක, කම්කරු කුලී සහ යන්ත්‍ර කුලී ඇතුළු නිෂ්පාදන වියදම් දැඩි ලෙස ඉහළ ගොස් ඇති බැවින් වී කිලෝවක් සඳහා අවම වශයෙන් රුපියල් 150 ක මිලක් නියම කරන ලෙස ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති. ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති පුංචිරාළ රත්නායක මහතා අවධාරණය කරන්නේ රුපියල් 150 ට අඩු මිලක් ගොවියාට කිසිසේත්ම දැරිය නොහැකි බවත්, මෙම ඉල්ලීම් ඉටු නොවන්නේ නම් ඉදිරි දිනවලදී ආණ්ඩුවට එරෙහිව අඛණ්ඩ උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කරන බවත්ය.
කෙසේ වෙතත්, වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් යල කන්නය සඳහා ප්‍රකාශයට පත් කර ඇති නව සහතික මිල ගණන් අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120.00 කට ද, සම්බා වී කිලෝවක් රුපියල් 130.00 කට ද සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 140.00 කට ද මිලදී ගැනීමට නියමිතය. ගොවි ජනතාව අතරමැදියන්ගේ සූරාකෑමෙන් ආරක්ෂා කර ගැනීම සහ වෙළඳපොළ තුළ සහල් මිල ස්ථාවරව පවත්වා ගැනීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බව පවසන අමාත්‍යවරයා, පෞද්ගලික මෝල් හිමියන් වී කිලෝවක් රුපියල් 90-100 වැනි අඩු මිල ගණන්වලට මිලදී ගන්නා පසුබිමක රජය මැදිහත් වී මෙම සාධාරණ මිල ලබාදෙන බැවින් ඇතැම් පිරිස් ඉල්ලා සිටින රුපියල් 150 මිල ප්‍රායෝගික නොවන බව පෙන්වා දෙයි.රජය මේ වන විට 2025 යල කන්නය සඳහා වී මිලදී ගැනීමේ වැඩසටහනට රුපියල් මිලියන 6,000ක් වෙන් කර ඇති අතර, ඉන් රුපියල් මිලියන 5,288ක් වැය කරමින් මෙට්‍රික් ටොන් 43,891ක් මිලදී ගෙන අවසන්ය. ඉදිරි කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීම සඳහා රජයේ වී ගබඩා කඩිනමින් හිස් කළ යුතුව ඇති අතර, පසුගිය වසරේ මිලදී ගත් මෙට්‍රික් ටොන් 140,000කට ආසන්න වී තොග හේතුවෙන් මේ වන විට රට තුළ මාස 5-6කට ප්‍රමාණවත් සහල් අතිරික්තයක් පවතී. ඒ අනුව එම ගබඩා වී තොග සහල් බවට පත් කර ‘අස්වැසුම’ ප්‍රතිලාභීන්ට සහ රජයේ සේවකයන්ට සහන පදනම මත ලබාදීමට රජයේ අවධානය යොමු වී ඇතත්, නව මිල ගණන්වලින් ගොවියාට ලාභයක් නොලැබෙන බැවින් රුපියල් 150 ඉල්ලීම දිනාගන්නා තෙක් අඛණ්ඩ අරගලයක නිරත වන බව ගොවි සංවිධාන ප්‍රකාශ කර සිටියි.