
කිලෝ මීටරයක් උසැති රූස්ස ගොඩනැගිල්ලක් ඉදිවෙමින් ඇති බව කිවහොත් එය බොහෝ දෙනෙකු තුළ පුදුමයක් ඇති කිරීමට සමත් වනු ඇත. ලෝකයේ උසම ගොඩනැගිල්ල බවට පත්වීමට නියමිතව ඇති මෙම ගොඩනැගිල්ල ඉදිවෙමින් ඇත්තේ සෞදි අරාබියේ ජෙඩා නැමැති නගරයේ යි. ඒ පිලිබඳ පළවන තොරතුරුවලට අනුව මේ ගොඩනැගිල්ල සාදා නිම වූ විට මීටර 1008 ක් (අඩි 3,308 ක්) පමණ උස වනු ඇත.

මෙම ගොඩනැගිල්ල නම් කර ඇත්තේ ජෙඩා කුළුණ (Jeddah Tower ) යන නමිනි. පසුගිය දිනවල ජෙඩා කුළුණ ගැන මාධ්‍ය තුළ ලොකු අවධානයක් යොමු වී තිබූ අතර ඊට හේතු වූයේ එය100 වැනි මහල පසු කිරීම යි. මෙම ගොඩනැගිල්ලේ සමස්ත මහල් සංඛ්‍යාව 167 කි. මේ වෙද්දී ගොඩනැගිල්ල මීටර 500 ක් පමණ, එනම් සමස්ත උසෙන් අඩක් පමණ ඉදි කර අවසන් ය.
මෙහි ඉදිකිරීම් කටයුතු අවසන් කර විවෘත කිරීමට නියමිතව ඇත්තේ 2028 වසරේ යි.
ලෝකයේ උසම ගොඩනැගිල්ල යන වාර්තාවට මේ වනවිට හිමිකම් කියන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි පිහිටා තිබෙන බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ල යි. එහි උස මීටර 828 (අඩි 2,717) කි. එය මහල් 163 කින් සමන්විත ය.
ජෙඩා කුළුණ ඉදිකිරීම සඳහා වැයවන මුදල සෞදි රියාල් බිලියන 7 ක් පමණ වනු ඇතැයි ගණන් බලා තිබේ. එය ලංකා රුපියල් බිලියන 626 ක පමණ මුදලකි. ජෙඩා කුළුණ ඉදි වන්නේ වඩාත් පුළුල් සංවර්ධන ව්‍යාපෘතියක එක් අංගයක් හැටියට යි. එම ව්‍යාපෘතිය හැඳින්වෙන්නේ ජෙඩා ආර්ථික නගරය (Jeddah Economic City ) යනුවෙනි. මේ සමස්ත ව්‍යාපෘතිය සඳහා සෞදි රියාල් බිලියන 75 ක් (ලංකා රුපියල් ට්‍රිලියන 6 ක් ) පමණ වැය වනු ඇති බව සඳහන් වේ. ජෙඩා කුළුණ මෙම ආර්ථික නගර ව්‍යාපෘතියේ ප්‍රධානම අංගය ලෙස සැලකේ.
ජෙඩා කුළුණ සුවිශේෂි අංග රැසකින් සමන්විත වේ. එහි ඉදි වන නැරඹුම් වේදිකාව ඒ අතර ප්‍රධානත්වයක් ගනියි. මෙය ඉදිවන්නේ පොලොවේ සිට මීටර 630 (අඩි 2,000) ක් පමණ ඉහළින් 157 වැනි මහලේ යි. එහි සිට බලන විට පෘථිවි ගෝලයේ වක්‍රතාව පවා දැකගත හැකි වනු ඇතැයි සඳහන් වේ.
මෙය ලෝකයේ උසින්ම පිහිටි නැරඹුම් වේදිකාව බවට ද පත්වනු ඇත. මැලේසියාවේ ක්වාලා ලම්පූර්හි මර්ඩෙකා 118 නැමැති ගොඩනැගිල්ලේ නැරඹුම් වේදිකාව දැනට මේ වාර්තාවට හිමිකම් කියයි. එය ඉදි කර තිබෙන්නේ පොලොවේ සිට මීටර 566 ක් (අඩි 1,857 ක්) පමණ ඉහළිනි. කෙසේ වෙතත් ජෙඩා කුළුණේ නැරඹුම් වේදිකාවට වඩා මෙහි වෙනසක් තිබේ. ජෙඩා කුළුණේ නැරඹුම් වේදිකාව ඉදිකරනු ඇත්තේ පිටතිනි. නමුත් මර්ඩෙකා 118 හි නැරඹුම් වේදිකාව ගොඩනැගිල්ල අභ්‍යන්තරයේ පිහිටා තිබෙන්නකි.
ඉතා සුඛෝපභෝගී හෝටලයක් ද ජෙඩා කුළුණේ ඉදිකෙරේ. එය 19 වැනි සහ 27 වැනි මහල් අතර පිහිටා තිබෙනු ඇති බවත්, කාමර 200 කින් සමන්විත වනු ඇති බවත් සඳහන් ය.

සුපිරි මට්ටමේ නිවාස, සාප්පු සංකීර්ණ, කාර්යාල, අවන්හල් ආදී බොහෝ දෙයින් ද ජෙඩා කුළුණ සමන්විත වනු ඇත.
කිලෝ මීටරයක් උස ගොඩනැගිල්ලක් ආරක්ෂාකාරී ආකාරයෙන් ඉදි කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙම අතිශය භාරදූර කටයුත්ත ඉටු කිරීමේ දී ගෘහ නිර්මාණ ශිල්පීන් ලෙස කටයුතු කරන්නේ ඒඩ්‍රියන් ස්මිත් සහ ගෝර්ඩන් ගිල් යන දෙදෙනා යි. ඒඩ්‍රියන් ස්මිත් මේ වනවිට ලොව උසම ගොඩනැගිල්ල වන බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ලේ ද ගෘහ නිර්මාණ ශිල්පියෙකු ලෙස කටයුතු කළේය. මේ වනවිට ඔහුගේ වයස අවුරුදු 81 ක් වීමත් විශේෂත්වයකි.
ඉහළම මට්ටමේ ඉංජිනේරු සමාගම්, ඉදි කිරීම් සමාගම් රැසක් ද මේ ව්‍යාපෘතිය සමග එක්ව සිටිති.
මෙම ගොඩනැගිල්ල අති විශාල බරකින් යුතු එකක් වනු ඇති බව ද අමුතුවෙන් කිව යුතු නැත. එය දරා ගැනීම සඳහා ගොඩනගා ඇති අත්තිවාරම සාදා ඇත්තේ මීටර් 105 ක් බැගින් පොලොව යටට බස්සවන ලද කොන්ක්‍රීට් කණු 270 ක් මත ය. මෙම කණුවක විශ්කම්භය මීටර 1.5 ක් (අඩි 5 ක්) පමණ වේ. එම කොන්ක්‍රීට් කණුවල උස දළ වශයෙන් තට්ටු 30 ක ගොඩනැගිල්ලක උසට සමාන ය. මෙම කණු මත දමා ඇති කොන්ක්‍රීට් තට්ටුව මීටර් 5 ක (අඩි 16.4 ක) ඝනකමින් යුතු බව සඳහන් වේ.

ජෙඩා කුළුණේ හරස් කඩක් ගතහොත් එය ඇත්තේ Y අකුරේ හැඩයට බව ද සඳහන් ය. එවැනි හැඩයකට සාදා ඇත්තේ ඉහළ මට්ටම්වලට බලපාන දැඩි සුළඟට ඔරොත්තු දීමට හැකිවනු පිණිස ය. මේ හැඩය නිසා සුළඟ හේතුවෙන් ගොඩනැගිල්ල මත ඇති වන තෙරපුම අවම වන බව පැවසේ.
මෙවැනි ඉතා උස් ගොඩනැගිලි ඉදි කිරීමේ දී භූමි කම්පා ආදියට ඔරොත්තු දීම සඳහා ද විශේෂ තාක්ෂණික ක්‍රම භාවිත කරනු ලැබේ. සාමාන්‍යයෙන් මෙබඳු ගොඩනැගිලි ඉදි කරන්නේ යම් දුරකට දෙපසට වැනෙන්නට හැකි ආකාරයෙනි. ඉතා දැඩි, අනම්‍ය ආකාරයෙන් ඉදි කළහොත් දරුණු භූමිකම්පාවක දී කඩා වැටීමට වැඩි ඉඩක් තිබේ.
සෞදි අරාබියේ උෂ්ණත්වය ඇතැම් අවස්ථාවල සෙන්ටිග්‍රේඩ් අංශක 50 තරම් ඉහළ අගයකට ළඟා වෙයි. මෙයින් ගොඩනැගිල්ලට ඇති වන බලපෑම අවම කිරීම සඳහා ගොඩනැගිල්ලේ පිටතින් සූර්යාලෝකය පරාවර්තනය කරන විශේෂ වීදුරු ආවරණයක් යොදනු ඇති බව පැවසේ.

ජෙඩා කුළුණේ වැඩ කටයුතු අතරමග නතර වේවි ද යන සැකයක් ද එක් අවස්ථාවක ඇති විය. මුලින්ම 2013 වසරේ ආරම්භ කෙරුණු මෙහි ඉදිකිරීම් 2018 වසරේ ඇණ හිටියේය. මේ ව්‍යාපෘතියට සම්බන්ධව සිටි ඇතැම් පාර්ශ්ව වෙත දූෂණ වංචා චෝදනා එල්ලවීම ද ඊට එක් හේතුවක් විය. වසර 7 ක් ගතවනතුරුම ගොඩනැගිල්ල පැවතුණේ අත් හැර දමන ලද්දක් පරිද්දෙනි. කෙසේ හෝ වේවා, අලුතෙන් ගිවිසුම් ආදිය අත්සන් කිරීමෙන් අනතුරුව පසුගිය වසරේ එහි කටයුතු නැවත ආරම්භ කෙරිණි. මේ වනවිට ඉදි කිරීම් වේගයෙන් ඉදිරියට යමින් ඇති බව වාර්තා වේ.
නිහාල් පීරිස්