බන්ධනාගාරගත කර සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ ‘සිවුරට යුක්තිය – නිදහසේ පාද යාත්රාවේ’ අවසන් දිනය අදට (15) යෙදී තිබේ.අද පෙරවරුවේ කඩවතින් ආරම්භ වන පාද යාත්රාව කොළඹ දක්වා ගමන් කිරීමට නියමිතය. මහනුවර ඓතිහාසික ශ්රී දළදා මාළිගාව අභියසින් පසුගිය 10 වැනිදා මෙම පාද යාත්රාව ආරම්භ කෙරිණි.එහිදී අදහස් දැක්වූ පූජ්ය උලපනේ සුමංගල හිමියෝ සඳහන් කළේ, මහනුවර ශ්රී දළදා මාළිගාව ඉදිරිපිටදී සපථ කළ අධිෂ්ඨානය පෙරදැරි කරගනිමින් අද දිනයේ පාද යාත්රාව ආරම්භ කරන බවයි. එම අධිෂ්ඨානය වෙනුවෙන් ජනාධිපතිවරයා කැඳවන ඕනෑම ස්ථානයකට පැමිණීමට තමන් වහන්සේලා සූදානම් බව ද උන්වහන්සේ ප්රකාශ කළහ.එමෙන්ම, මෙම පාද යාත්රාව සාමකාමීව සිදුකරන බව ද උන්වහන්සේ අවධාරණය කළහ.ඒ අනුව, මහා සංඝරත්නයේ ඉල්ලීමට සවන් දී පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ජනාධිපතිවරයාට අද අවස්ථාව පවතින බව ද උන්වහන්සේ ප්රකාශ කළහ.ජාති, ආගම් භේදයකින් තොරව සමස්ත ජනතාවගේ අපේක්ෂාවක් ලෙස පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පූර්ණ නිදහස ලබාදීම තමන් වහන්සේලාගේ අරමුණ බව ද පූජ්ය උලපනේ සුමංගල හිමියෝ වැඩිදුරටත් පැවසූහ.