
උදෑසන බස් නැවතුම්පලක, දුම්රිය නැවතුම්පලක ආදී ස්ථානවලදී අද දැකිය හැකි කැපී පෙනෙන සුවිශේෂී වෙනසක් තිබේ. ඒ, එවැනි ස්ථානවල බස්රිය හෝ දුම්රිය පැමිණෙන තුරු බලා සිටින කාන්තාවන්ගේ සංඛ්‍යාව පෙර නොවූ විරූ ලෙස ඉහළ ගොස් තිබෙන ආකාරයයි. එමෙන්ම බැංකුවකට, රෝහලකට හෝ ඇඟලුම් කර්මාන්තශාලාවකට ගිය පසු එහි සිටින කාර්ය මණ්ඩලයෙන් වැඩි ප්‍රතිශතයක් බැලූ බැල්මටම සිටින්නේ කාන්තාවන්ය. එවිට නිතැනින්ම කෙනෙකුට සිතෙන්නේ දැන් පිරිමින් රැකියාවන්හි නිරත වීම අඩු වී කාන්තාවන් එතැනට බහුලව පිවිස ඇති බවකි. මෙය ශ්‍රී ලංකාවට පමණක් අදාළ දෙයක්ද? එසේත් නැත්නම් ගෝලීය වශයෙන් තත්ත්වය මෙයද? මේ පිළිබඳව ගැඹුරින් විමසා බැලිය යුතුය.
ඇත්ත වශයෙන්ම, ඔබ දකින මෙම දර්ශනය පසුපස ඇත්තේ මානව ඉතිහාසයේ දීර්ඝ කාලයක් තිස්සේ පැවති සාම්ප්‍රදායික තත්ත්වයන්ගේ දැවැන්ත වෙනස් වීමකි. ඉතිහාසයේ ආරම්භක යුගයන්හි සිටම රැකියා සහ වෘත්තීය නියෝජනය තීරණය වීමේදී ජීව විද්‍යාත්මක සාධක, සංස්කෘතික රාමු, ආගමික විශ්වාසයන් සහ සාම්ප්‍රදායික ශ්‍රම විභජනය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය. ඓතිහාසිකව, දැඩි ශාරීරික ශ්‍රමය, අවදානම් සහගත බාහිර රාජකාරි සහ ආගමික නායකත්වයන් බොහෝ දුරට පිරිමින් සතු වූ අතර, ගෘහස්ථ කටයුතු සහ දරුවන් රැකබලා ගැනීමේ කාර්යයන් කාන්තාවන්ට පැවරී තිබුණි.
කෙසේ වෙතත්, විසිවන සියවසෙන් ඇරඹි සමාජ-ආර්ථික විප්ලවයන් සහ අධ්‍යාපනික ප්‍රගතිය හමුවේ මෙම තත්ත්වය ශීඝ්‍ර වෙනසකට ලක් විය. ඔබ බස් නැවතුමේදී හෝ බැංකුවේදී දකින සැබෑ තත්ත්වය සංඛ්‍යාත්මක දත්ත සමඟ සසඳන විට තරමක් පරස්පර විය හැකිය. වර්තමාන සමාජය තුළ ද, සමස්ත සංඛ්‍යාත්මක දත්තයන්ට අනුව පිරිමින්ගේ රැකියා නියුක්ති ප්‍රතිශතය තවමත් ඉහළ මට්ටමක පවතී.
සමස්ත ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය දෙස බලන විට, ලෝක මට්ටමින් මෙන්ම ශ්‍රී ලංකාවේ ද පිරිමින් තවමත් සංඛ්‍යාත්මකව ඉදිරියෙන් සිටී. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ පිරිමි ශ්‍රම බලකා සහභාගීත්වය සියයට හැත්තෑවකට ආසන්න අගයක පවතිද්දී, කාන්තා සහභාගීත්වය පවතින්නේ සියයට තිහත් තිස්පහත් අතර මට්ටමක ය.
එසේ නම්, අපට බැලූ බැල්මට කාන්තාවන් වැඩිපුර පෙනෙන්නේ මන්ද? ඊට හේතුව, රැකියා වෙළඳපොළට අලුතින් එක්වන ප්‍රවණතාව සලකා බැලීමේදී කාන්තාවන්ගේ පිවිසීම, විශේෂයෙන්ම ‘වෘත්තීය’ සහ ‘සේවා’ ක්ෂේත්‍රයන්හි ශීඝ්‍රයෙන් ඉහළ යමින් පැවතීමයි. මෙය ගෝලීය, විශේෂයෙන්ම අප්‍රිකානු සහ ආසියානු කලාපවල ද දත්ත මගින් තහවුරු වේ.
ආසියාව තුළ, ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය (Labor Force Participation Rate – LFPR) කලාපයෙන් කලාපයට බෙහෙවින් වෙනස් වේ.
ශ්‍රී ලංකාවට සමානව දකුණු ආසියාවේ අනෙකුත් රටවල ද කාන්තා ශ්‍රම සහභාගීත්වය තවමත් අඩු මට්ටමක පවතී. උදාහරණයක් ලෙස, ඉන්දියාවේ එය සියයට 34 ක් පමණ වන අතර බංග්ලාදේශයේ සියයට 38 ක් පමණ වේ. කෙසේ වෙතත්, උසස් අධ්‍යාපනය ලැබූ කාන්තාවන් වෘත්තීය මට්ටමේ රැකියාවලට එක්වීමේ ශීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබේ. නිදසුනක් ලෙස, ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ (IT) සහ BPO ක්ෂේත්‍රයන්හි කාන්තා නියෝජනය සියයට 30කට වඩා ඉහළ මට්ටමක පවතී. බංග්ලාදේශයේ ඇඟලුම් කර්මාන්තයේ ශ්‍රම බලකායෙන් සියයට 80 කට ආසන්න ප්‍රමාණයක් කාන්තාවන්ය.
ගිනිකොනදිග ආසියාව ගතහොත් මෙම කලාපයේ කාන්තා ශ්‍රම සහභාගීත්වය බෙහෙවින් ඉහළ ය උදාහරණයක් ලෙස, වියට්නාමයේ එය සියයට 68 කට වඩා වැඩි වන අතර, කාම්බෝජයේ සියයට 77 කට ආසන්න වේ. මෙම රටවල කාන්තාවන් ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන, කෘෂිකාර්මික වෘත්තීන් සහ සේවා ක්ෂේත්‍රයන්හි ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරයි.
අප්‍රිකාව තුළ ද දැවැන්ත වෙනස්කම් දක්නට ලැබේ.
උප-සහාරා අප්‍රිකානු කලාපය ගතහොත් මෙහි කාන්තා ශ්‍රම සහභාගීත්වය ලොව ඉහළම මට්ටමක පවතී එහි සාමාන්‍යය සියයට 57කට වඩා වැඩිය. මැඩගස්කරය වැනි රටවල එය සියයට 80කට වඩා වැඩිය. කෙසේ වෙතත්, ඓතිහාසිකව ඔවුන්ගෙන් වැඩි ප්‍රතිශතයක් නිරත වූයේ ‘අවිධිමත්’ (Informal) කෘෂිකාර්මික සහ සුළු වෙළඳාම් වැනි ක්ෂේත්‍රවල ය. වර්තමාන ප්‍රවණතාව වන්නේ අධ්‍යාපනය නිසා ඔවුන් ‘විධිමත්’ (Formal) වෘත්තීය ක්ෂේත්‍රයන්හි සහ නායකත්ව භූමිකාවන්ට පිවිසීමයි. නිදසුනක් ලෙස, රුවන්ඩාවේ පාර්ලිමේන්තු නියෝජනයෙන් සියයට 60කට වඩා වැඩි ප්‍රමාණයක් කාන්තාවන්ය.
උතුරු අප්‍රිකාව පිළිබඳ සළකා බැලීමේදී දකුණු ආසියාවට සමානව මෙම කලාපයේ ද කාන්තා ශ්‍රම සහභාගීත්වය ලොව අඩුම මට්ටමක පවතී. ඇල්ජීරියාව, ඊජිප්තුව වැනි රටවල එය සියයට 20 ක් පමණ වේ. කෙසේ වෙතත්, තරුණ කාන්තාවන් අධ්‍යාපනයට යොමුවීම සහ සේවා ක්ෂේත්‍රයන්හි රැකියා අවස්ථා පුළුල් වීම නිසා මෙම තත්ත්වය ද වෙනස් වෙමින් පවතී.
නමුත් යුරෝපීය කලාපය ආසියාව සහ අප්‍රිකාවට වඩා වෙනස්ය.
උතුරු යුරෝපය නැතහොත් අයිස්ලන්තය, ස්වීඩනය, නෝර්වේ සහ ෆින්ලන්තය වැනි නෝඩික් රටවල් ගතහොත්, ඒවායේ කාන්තා ශ්‍රම බලකා සහභාගීත්වය ලොව ඉහළම මට්ටමක පවතින අතර, එය 75% – 80% ත් අතර අගයක් ගනී. රජය මගින් ලබාදෙන සහනාධාර සහිත ළමා සුරැකුම් මධ්‍යස්ථාන සහ පියවරුන්ට ද අනිවාර්ය වන මාපිය නිවාඩු (Parental Leave) මීට ප්‍රධාන හේතුව වී ඇත.
ජර්මනිය, ප්‍රංශය සහ නෙදර්ලන්තය වැනි බටහිර යුරෝපීය රටවල කාන්තා රැකියා නියුක්තිය 70% – 75% අතර වේ. කෙසේ වෙතත්, නෙදර්ලන්තය වැනි රටවල රැකියාවල නිරත කාන්තාවන්ගෙන් 60% කට ආසන්න ප්‍රමාණයක් අර්ධ කාලීන (Part-time) රැකියාවල නිරත වන අතර, එය යුරෝපයේ ඉහළම අර්ධ කාලීන කාන්තා නියුක්ති අනුපාතයයි.
ඉතාලිය, ග්‍රීසිය සහ රුමේනියාව වැනි දකුණු සහ නැගෙනහිර යුරෝපීය රටවල කාන්තා ශ්‍රම සහභාගීත්වය සාපේක්ෂව අඩු අගයක් ගන්නා අතර එය 55% – 60% ත් අතර පවතී.
යුරෝපය පුරා සෞඛ්‍ය සහ සමාජ සත්කාර (Health and Social Care) ක්ෂේත්‍රයේ සේවකයින්ගෙන් 78% ක් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ 70% ක් පමණ කාන්තාවන් වේ. එමෙන්ම තොරතුරු තාක්ෂණ සහ ඉංජිනේරු (STEM) ක්ෂේත්‍රයන්හි කාන්තා නියෝජනය 18% – 20% අතර අගයක පවතී.
යුරෝපීය සංගමයේ නීතිමය මඟපෙන්වීම් (EU Gender Balance Directive) අනුව, ලැයිස්තුගත විශාල සමාගම්වල විධායක නොවන අධ්‍යක්ෂ ධුරවලින් අවම වශයෙන් 40% ක් කාන්තාවන්ට වෙන් කිරීම අනිවාර්ය කර ඇත.
එසේ නම්, ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල බැලූ බැල්මට කාන්තාවන් වැඩිපුර පෙනෙන්නේ මන්ද? ඊට හේතුව රැකියා වෙළඳපොළට අලුතින් එක්වන ප්‍රවණතාව සලකා බැලීමේදී කාන්තාවන්ගේ පිවිසීම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පැවතීම සහ ඔවුන් නිරත වන ක්ෂේත්‍රයන්හි ඇති වූ වෙනසයි. මීට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු වූ දැවැන්ත පිම්මයි. වර්තමානයේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවලින් පිටවන උපාධිධාරීන් අතුරින් බහුතරයක් කාන්තාවන් වන බැවින්, අප දකින ආකාරයට බැංකු, පරිපාලන, කළමනාකරණ, වෛද්‍ය, නීති සහ මූල්‍ය වැනි ඉහළ වෘත්තීය මට්ටමේ රැකියාවලට ඔවුන්ගේ යොමුවීම කැපී පෙනෙන ලෙස වැඩි වී ඇත.
එසේම, ගෝලීය ආර්ථිකය නිෂ්පාදන ක්ෂේත්‍රවල සිට සේවා සහ දැනුම පදනම් කරගත් ආර්ථිකයක් කරා පරිවර්තනය වීමත් සමඟ අධ්‍යාපනය, සෞඛ්‍ය සංරක්ෂණය, තොරතුරු තාක්ෂණය, සහ පාරිභෝගික සේවා වැනි ක්ෂේත්‍රවල කාන්තා නියෝජනය ඉතා ඉහළ මට්ටමකට පැමිණ තිබේ. මීට අමතරව, ඉහළ යන ජීවන වියදම හමුවේ පවුලේ ආදායම නැංවීමේ ආර්ථික අවශ්‍යතාව නිසා ද වැඩි කාන්තාවන් ප්‍රමාණයක් රැකියාවලට යොමු වේ. විශේෂයෙන්ම, කොවිඩ්-19 වසංගතයෙන් පසු ජනප්‍රිය වූ නිවසේ සිට වැඩ කිරීමේ සහ අන්තර්ජාලය හරහා ස්වාධීන රැකියාවල නිරත වීමේ අවස්ථා නිසා, ගෘහස්ථ වගකීම් සහිත කාන්තාවන්ට ද වෘත්තීය මට්ටමින් රැකියා වෙළඳපොළට දායක වීමට විශාල පිටුවහලක් ලැබී ඇත.
කෙසේ වෙතත්, තාක්ෂණික දියුණුව සහ සමානාත්මතා නීති හමුවේ ගුවන් නියමු, යුධ හමුදා, බර වාහන රියදුරු සහ ඉංජිනේරු වැනි ක්ෂේත්‍ර කාන්තාවන්ට විවෘත වී තිබුණද, තවමත් පිරිමින්ට පමණක් සීමා වූ හෝ කාන්තා නියෝජනය නොමැති තරම් වන රැකියා ක්ෂේත්‍ර කිහිපයක් පවතී. ආගමික සම්ප්‍රදායන් මීට ප්‍රධාන හේතුවක් වන අතර, කතෝලික සභාවේ පූජකවරය, ඉස්ලාම් ආගමික ඉමාම් තනතුරු සහ ඕතඩොක්ස් ජුදා නායකත්වයන් ලෝක ව්‍යාප්තව තවමත් පිරිමින්ට පමණක් සීමා වී ඇත.
තවද, අතිශය අවදානම් සහ අධික ශාරීරික පීඩනය සහිත රැකියා ක්ෂේත්‍රවල ද කාන්තා සහභාගීත්වයක් දක්නට නොලැබේ. මුහුදු පතුලේ මීටර් සිය ගණනක් යටින් දිවෙන තෙල් හා ගෑස් නළ නඩත්තුව සඳහා සති ගණනක් පීඩන කුටි තුළ වෙසෙමින් සිදුකරන ගැඹුරු මුහුදේ තාක්ෂණික කිමිදුම් රැකියාවල නිරත වන්නේ පිරිමින් පමණි. මීට අමතරව, ලෝකයේ ඇතැම් රටවල පවතින නීතිමය සීමාවන් මගින් අන්තරායකර කර්මාන්ත සහ භූගත පතල් තුළ කාන්තාවන් සේවයේ යෙදවීම තහනම් කර ඇත.
ගෝලීය වශයෙන් දියුණු රටවල නීතිමය හා සමාජීය බාධක ඉවත් වී ඇති බැවින් පිරිමින්ට පමණක් සීමා වූ රැකියා සංඛ්‍යාව ඉතා අඩුවී තිබුණද, මැදපෙරදිග කලාපය තුළ සාම්ප්‍රදායිකව පිරිමින්ට සීමා වූ රැකියා ප්‍රමාණය ඉහළ මට්ටමක පැවතිණි. ඉරානය, යේමනය සහ ඉරාකය වැනි රටවල පවතින නීති මගින් ගොඩනැගිලි ඉදිකිරීම්, පතල්, බර යන්ත්‍රෝපකරණ ක්‍රියාකරවීම වැනි රැකියා කාන්තාවන්ට සීමා කර තිබූ අතර, ස්ත්‍රී පුරුෂ භේදය සම්බන්ධ නීති නිසා පිරිමින් පමණක් සේවය කරන ආයතන විශාල ප්‍රමාණයක් පැවතුණි.
කෙසේ වෙතත්, මෑත කාලීනව මැදපෙරදිග කලාපය තුළ ද දැවැන්ත වෙනසක් සිදුවෙමින් පවතී. විශේෂයෙන්ම සවුදි අරාබියේ ‘Vision 2030’ වැනි වැඩසටහන් මගින් තෙල් මත යැපෙන ආර්ථිකය විවිධාංගීකරණය කිරීමට උත්සාහ දැරීමත් සමඟ කාන්තාවන්ට පැවැති බොහෝ සීමා ඉවත් කෙරිණි. ඒ අනුව, පෙර පිරිමින්ට පමණක් සීමා වී තිබූ ටැක්සි හා අධිවේගී දුම්රිය රියදුරු, ගුවන් තොටුපළ පරීක්ෂක, ආරක්ෂක සහ සිල්ලර අලෙවි රැකියාවලට දහස් ගණනින් කාන්තාවන් එක්ව සිටිති. එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර් සහ බහරේන් වැනි රටවල ද රාජ්‍ය තාන්ත්‍රික, ව්‍යාපාරික සහ තාක්ෂණික ක්ෂේත්‍රයන්හි කාන්තා සහභාගීත්වය බෙහෙවින් ඉහළ ගොස් ඇත.
රැකියා වෙළඳපොළ තුළ සිදු වූ මෙම වෙනස දශක ගණනාවක විකාශනයක ප්‍රතිඵලයකි. මෙහි පදනම වැටුණේ දෙවන ලෝක යුද්ධ සමයේදී පිරිමින් යුධ පෙරමුණට යාම නිසා හිස් වූ කර්මාන්තශාලා, යුධ උපකරණ නිෂ්පාදනාගාර සහ ප්‍රවාහන සේවාවල රාජකාරි සඳහා කාන්තාවන් විශාල වශයෙන් එක්වීමත් සමඟය. ඉන්පසුව, 1960 සහ 1970 දශකවල බටහිර ලෝකයේ ඇති වූ කාන්තා අයිතිවාසිකම් ව්‍යාපාර සහ ලිංගික අසමානතාවයට එරෙහි නීති සම්පාදනය වීමත් සමඟ රැකියා ස්ථානවල වෘත්තීය නිදහස තහවුරු විය.
මැදපෙරදිග සහ ආසියානු කලාපවල මෙම වෙනස වඩාත් වේගවත් වූයේ පසුගිය වසර 10-15 ඇතුළතදීය. අධ්‍යාපනයේ සිදු වූ ප්‍රගතිය, ආර්ථිකමය අවශ්‍යතාවයන් සහ රාජ්‍ය ප්‍රතිසංස්කරණ මීට බලපෑවේය. තවද, 2020 වසරෙන් පසු ඇති වූ ඩිජිටල්කරණය නිසා භෞතිකව ස්ථානයකට නොගොස් සේවය කිරීමේ හැකියාව ලැබීමෙන් සාම්ප්‍රදායික බාධක බිඳ වැටී කාන්තා නියෝජනයේ නවතම පරිච්ඡේදයක් ආරම්භ විය.
අවසාන වශයෙන්, සංඛ්‍යාත්මක දත්තයන්ට අනුව සමස්ත රැකියා නියුක්තිය අතින් තවමත් පිරිමින් පෙරමුණේ සිටියද, වෘත්තීය ප්‍රගතිය, නව රැකියා සඳහා යොමුවීම සහ අධ්‍යාපනික නියෝජනය අතින් කාන්තාවන්ගේ පැමිණීමේ පැහැදිලි වර්ධනයක් දක්නට ලැබේ. අතිශය දැඩි ශාරීරික ශ්‍රමය අවශ්‍ය රැකියා, කිහිපයක් වූ භූගත හා අන්තරායකර කර්මාන්ත සහ ආගමික පූජක තනතුරු වැනි සීමිත ක්ෂේත්‍ර කිහිපයක් හැරෙන්නට, අන් සියලුම ක්ෂේත්‍රයන්හි පිරිමින්ගේ ඒකාධිකාරය බිඳ වැටී ඇත. සංස්කෘතික බාධක බහුලව පැවති මැදපෙරදිග කලාපයේ පවා සිදු වන නව ආර්ථික ප්‍රතිසංස්කරණ හමුවේ මෙම තත්වය නිරන්තරයෙන් වෙනස් වේ. අනාගතයේදී තාක්ෂණික දියුණුවත් සමඟ ශාරීරික ශ්‍රමයේ අවශ්‍යතාව තවදුරටත් අඩු වන බැවින්, දැනුම සහ කෞශල්‍යය මත පදනම් වූ රැකියා වෙළඳපොළ තුළ කාන්තා සහභාගීත්වය තවදුරටත් ශක්තිමත් වීම වැළැක්විය නොහැකි ගෝලීය යථාර්ථයකි.
නිරංජන් චාමින්ද කරුණාතිලක