අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීමට රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක් අවශ්‍යයි

සෞදි අරාබියේ බන්ධනාගාරගතව සිටින ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන් මහතා සම්බන්ධයෙන් වාර්තා වී ඇති මරණ දඬුවම අඩු කර ගැනීමට හෝ සහනයක් ලබාදීමට ශ්‍රී ලංකා රජය අඛණ්ඩව ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක් සිදු කළ යුතු බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේළුසාමි රාධාක්‍රිෂ්ණන් මහතා පැවසීය.ආගමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ බව කියන ප්‍රකාශයක් හේතුවෙන් සෞදි අරාබියේදී අත්අඩංගුවට ගත් අනෝජන් මහතාට මුලින් වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී තිබූ අතර, එම තීන්දුවට එරෙහිව කළ අභියාචනයකින් පසු මරණ දඬුවම නියම වී ඇති බවට වාර්තා පළ වී තිබේ.සිවරාසා අනෝජන් මහතාගේ නීතිඥවරයා මේ පිළිබඳව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට වාචිකව දැනුම් දී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇති නමුත්, අදාළ තීන්දුවේ නිල ලිඛිත පිටපත තවමත් සෞදි අධිකරණ බලධාරීන්ගෙන් ලැබී නොමැති බව සඳහන් කරයි.ඊයේ (20) පැවැති විශේෂ හමුවකදී අදහස් දැක්වූ රාධාක්‍රිෂ්ණන් මහතා, වරදක් සිදුවී ඇත්නම් එය නීතිමය වශයෙන් සලකා බැලිය යුතු කරුණක් වුවද, මානුෂීය කරුණු සැලකිල්ලට ගනිමින් අනෝජන් මහතාගේ ජීවිතය බේරා ගැනීම සඳහා හැකි සෑම රාජ්‍යතාන්ත්‍රික මාර්ගයක්ම භාවිත කළ යුතු බව අවධාරණය කළේය.විදේශ කටයුතු අමාත්‍යාංශය අනෝජන් මහතාගේ නඩු කටයුතු පිළිබඳව රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා අඛණ්ඩව අවධානය යොමු කරමින් සිටින අතර, සෞදි බලධාරීන් සමඟ සාකච්ඡා කර ඔහුට අවශ්‍ය කොන්සියුලර් සහාය ලබාදීමට කටයුතු කරන බවද සඳහන් කර තිබේ.අදාළ තීන්දුවට එරෙහිව සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කිරීම සඳහා මාසයක කාලයක් පවතින බව ද වාර්තා වේ. අනෝජන් මහතාගේ නීතිමය කටයුතු සඳහා මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන්ට අවශ්‍ය මානුෂීය සහාය ලබාදීමටද රජය මැදිහත් විය යුතු බව රාධාක්‍රිෂ්ණන් මහතා වැඩිදුරටත් පැවසීය.

කාලීන පුවත්