ජනාධිපති අරමුදල මගින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි සහ ශ්‍රවණ උපකරණ ලබාදීමේ වැඩසටහනේ පළමු වැඩසටහන ඊයේ (19) රජරට විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විය.
ඊයේ දිනය පුරා පැවති මෙම වැඩසටහනේදී සිසුන් සඳහා නොමිලේ ඇස් පරීක්ෂා කිරීම සහ අවශ්‍ය කාච ලබාදීම ද සිදු කෙරුණි.
පෞද්ගලික අංශයේ දායකත්වය ද ලබාගනිමින් ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ ජනාධිපති අරමුදල වෙත පරිත්‍යාග ලෙස ලැබී ඇති ඇස් කණ්ණාඩි රාමු පාසල් දරුවන්, විශ්වවිද්‍යාල සිසුන්, කාර්මික විද්‍යාල සිසුන් සහ අඩු ආදායම්ලාභී පුරවැසියන් වෙත නොමිලේ ලබාදීමට සැලසුම් කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ සඳහන් කළේ රටේ සියලු දරුවන්ට බාධාවකින් තොරව අධ්‍යාපනය ලැබීමට පහසුකම් සැලසීම ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ අපේක්ෂාව බවයි.එමෙන්ම ඉදිරියේදී මෙම වැඩසටහන සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කරයි.
ජනාධිපති අරමුදලේ ප්‍රතිලාභ රටේ සියලු දරුවන්ට සහ එහි ප්‍රතිලාභ හිමිවිය යුතු පිරිස් වෙත ලබාදීමට කටයුතු කරමින් සිටින බවත්, යහපත් කළමනාකාරීත්වය හේතුවෙන් ජනාධිපති අරමුදල පසුගිය වසර දෙක තුළ 50%කින් ශක්තිමත් වී ඇති බවත් රෝෂන් ගමගේ පෙන්වා දෙනලදි.
විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් ඇස් කණ්ණාඩි සහ ශ්‍රවණ උපකරණ ලබාදීමේ වැඩසටහන සඳහා දායකත්වය ලබාදුන් සියලු දෙනා වෙතද ඔහු මෙහිදී ස්තූතිය පළ කරනලදි.