ලෝක ළමා දිනය අදට යෙදී තිබේ.මෙවර එය මෙරටදී සැමරෙන්නේ මනසින් සවිමත් – දරුවන් පොහොසත් යන තේමාවෙනි.
දරුවන් මල් වගේ…ඔවුන්ගේ හිත් පිරිසිදු දිය දහරාවක් වගේ …හරිම සුන්දරයි.අහිංසක ළමා ලෝකයේ අයිතිවාසිකම් පිළිබඳව ලෝකයේ අවධානය ලබා ගැනීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ සංවිධානය 1989 වසරේදී ලෝක ළමා දිනය ප්‍රකාශයට පත් කළේ ය.එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල නිකුත් කළ නවතම වාර්තා අනුව ලෝකයේ ළමා ජනගහනය බිලියන 2.3ක් පමණ වේ.
ලෝකයේ දරුවන් බිලියනයක් පමණ ජීවත් වන්නේ දේශගුණික විපර්යාසවලින් වැඩිම බලපෑමක් එල්ල වන කලාප වලයි.එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් නිකුත් කර ඇති “Children’s Climate Risk Index” (CCRI) වාර්තා වලට අනුව ලෝකයේ දරුවන් බිලියනයකට අධික සංඛ්‍යාවක් එනම් ලෝකයේ මුළු ළමා ජනගහනයෙන් හරි අඩක් පමණ දේශගුණික විපර්යාස සහ පරිසර හානි හේතුවෙන් අවදානම් තත්ත්වයක පත්ව තිබේ.
එමෙන්ම ලොව පුරා සෑම දරුවන් 6 දෙනෙකුගෙන් එක් අයෙකු සන්නද්ධ ගැටුම්වලට සෘජුවම ගොදුරු වූ ප්‍රදේශවල ජීවත් වනු ඇති.එලෙස සන්නද්ධ ගැටුම්වලට සෘජුවම ගොදුරු වූ ප්‍රදේශවල ජිවත්වන දරුවන් සංඛ්‍යාව මිලියන 473කට අධික බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.එමෙන්ම අඩු ආදායම් ලබන රටවල දරුවන්ගෙන් 65% කට පමණ ප්‍රමාණයකට මූලික වැසිකිළි පහසුකම් පවා නොමැති බවද වාර්තා වේ.
ලෝකය එවැනි මට්ටමක තිබියදී ,, මෙරට දරුවන්ගෙන් 10 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් එක් දිනක් තුළ විවිධ අපයෝජනයන්ට ලක් වන බව පොලිස් ළමා හා කාන්තා කාර්යංශය පවසයි.එම කාර්යංශය සඳහන් කළේ, දිනකට බරපතල ගණයේ ළමා අපරාද 5කට ආසන්න සංඛ්‍යාවක්ද වාර්ථා වන බවයි.එවැනි තත්ත්වයක් මත ළමුන්ගේ රැකවරණය වෙනුවෙන් සමාජය පෙළ ගැසිය යුතුයි.
එමගින් ඔවුන්ගේ ළමා ලෝකය සුන්දරත්වය හා අපූර්වත්වය විඳීමට ඔවුන්ට අවකාශ සැලසෙනු ඇති.