
අතීතයේ වන සතුන් දැක බලා ගැනීමට වන පෙතකටම යා යුතු වුව ද අද මොනරුන්, රිලවුන්, වඳුරන් සහ මුවන් වැනි සතුන් නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවල මෙන්ම ගම්මාන ආශ්‍රිතව ද දැකිය හැකි ය. ඇතැම් විට ඔවුහු නිවෙස්වල ගෙවතුවලට පැමිණෙති. වගාවන් විනාශ කරති. කසළ බඳුන් අවුස්සති. නිවෙස්වලට ඇතුළු වී ආහාර පැහැර ගනිති. එවිට වන සතුන්ගේ පැමිණීම සුන්දර දසුනක් නොව ජනතාවට හිසරදයක් බවට පත්වේ.
එහෙත් මේ සතුන් ගම් වදින්නේ ඇයි? ඔවුන්ගේ ස්වභාවික වාසභූමි අහිමි කරමින්, ගමන් මාර්ග අවහිර කරමින් සංවර්ධන කටයුතු සිදු කරන්නේ මිනිසා නම්, මේ ගැටලුවේ වගකීම සතුන් මත පමණක් පැටවිය හැකි ද?
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ හසිනි සරත්චන්ද්‍ර පසුගිය දා ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇති පරිදි, වනජීවී වාසභූමි අහිමි වීම, ස්වභාවික ආහාර දාමයේ වෙනස්කම් සහ විලෝපිකයන්ගේ ගහණය අඩු වීම මේ තත්ත්වයට බලපාන සාධක අතර වේ. විශේෂයෙන් මාර්ග ඉදිකිරීම, ජනාවාස ව්‍යාප්ත කිරීම, කර්මාන්තශාලා ඉදිකිරීම, වගාබිම් පුළුල් කිරීම හා තෙත්බිම් ගොඩකිරීම හේතුවෙන් සතුන්ගේ වාසභූමි සීමා විය හැකි ය.

වනාන්තරයක් මුළුමනින්ම විනාශ කිරීම පමණක් වනජීවීන්ට තර්ජනයක් නොවේ. වනාන්තරයක් මැදින් මාර්ගයක් ඉදිකිරීමෙන් හෝ එහි කොටසක් ජනාවාසයක් බවට පත් කිරීමෙන් ද සතුන්ගේ ගමන් මාර්ග අවහිර විය හැකි ය. පාරිසරික විද්‍යාවේදී මෙය වාසභූමි ඛණ්ඩනය (Habitat Fragmentation) ලෙස හැඳින්වේ. එවිට ආහාර හා ජලය සොයා යාමට සතුන්ට වෙනත් ප්‍රදේශවලට ගමන් කිරීමට සිදුවන අතර, එම මාර්ග මිනිස් ජනාවාස හරහා වැටීමට ද ඉඩ තිබේ.
ඒ අනුව වන සතුන් ගම් වදින්නේ මිනිසුන්ට හිරිහැර කිරීමට හිතාමතා නොවේ. බොහෝ විට ඔවුන් සොයන්නේ තම පැවැත්මට අවශ්‍ය ආහාර, ජලය සහ ආරක්ෂාවයි.

මොනරුන්, රිලවුන් සහ මුවන්
ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා වන මොනරා කලක් ගම්බද පරිසරයේ සුන්දර දසුනක් වුව ද අද ඇතැම් ප්‍රදේශවල වගාවන්ට හානි කරන සතෙකු බවට පත්ව තිබේ. මොනරුන්ගේ ගහණය ඉහළ යාමට විලෝපිකයන්ගේ ගහණයේ වෙනස්කම් බලපානු ඇතත්, එය එකම හේතුව ලෙස දැක්විය නොහැකි ය. ආහාර බහුල වීම, බෝවීමේ සාර්ථකත්වය සහ මිනිස් ජනාවාස ආශ්‍රිතව ලැබෙන ආහාර ද ඒ සඳහා බලපායි.
කෑගල්ල හා කළුතර දිස්ත්‍රික්ක ඇතුළු පහතරට තෙත් කලාපයේ ඇතැම් ප්‍රදේශවල රිලවුන් හා වඳුරන් ගම් වැදීම ද බරපතළ ගැටලුවකි. මිනිස් ජනාවාසවලට ඉක්මනින් අනුවර්තනය විය හැකි මෙම සතුන්ට කෙසෙල්, අඹ, පැපොල් වැනි පලතුරු සහ කසළ බඳුන්වල ඉතිරි වන ආහාර පහසුවෙන් ලබාගත හැකි ය. මිනිසුන්ගෙන් ආහාර ලබා ගැනීමට පුරුදු වූ සතුන් නැවත නැවතත් එම ස්ථානවලට පැමිණීම සාමාන්‍ය හැසිරීමකි.
එහි ප්‍රතිඵලයක් ලෙස නිවෙස්වලට ඇතුළු වීම, වහලවලට හානි කිරීම, විදුලි රැහැන් මත ගමන් කිරීම සහ ඇතැම් විට මිනිසුන් සපා කෑම වැනි සිදුවීම් ඇති වේ. එහෙත් සතුන්ට පහර දීම හෝ විෂ යෙදූ ආහාර ලබා දීම මෙයට විසඳුමක් නොවේ. එවැනි ක්‍රියා මඟින් වෙනත් වනජීවීන්ට, ගෘහාශ්‍රිත සතුන්ට හා මිනිසුන්ට ද හානි සිදුවිය හැකි ය.

හෝමාගම ඇතුළු අර්ධ නාගරික ප්‍රදේශවල මුවන් ගැවසීම ද අවධානයට ලක්ව තිබේ. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරිය සඳහන් කර ඇති පරිදි, එම ප්‍රදේශයේ මුවන් ගහණය වර්ධනය වීම මීට පෙර සුරතල් සතුන් ලෙස නිවසකට ගෙන එන ලද මුවන් දෙදෙනකුගෙන් ආරම්භ වූ බවට වාර්තා වී තිබේ. එහෙත් ප්‍රදේශවාසීන් පවසන්නේ පනාගොඩ යුද හමුදා කඳවුරේ ඇති දැඩි කළ මුව ජෝඩුවක් නිදහස් කිරීමෙන් මෙම තත්ත්වය ආරම්භ වූ බවයි. මේ කරුණු දෙකෙන් නිවැරදි කරුණ කුමක්ද යන්න තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් ඒ පිළිබඳව වැඩිදුර විමර්ශනය කිරීම අවශ්‍ය වේ.
මෙවැනි සිදුවීම් මඟින් වන සතුන් සුරතලයට ඇති කිරීමේදී සහ නිදහස් කිරීමේදී වගකීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම ද පැහැදිලි වේ. පුද්ගලයකුගේ තීරණයක් පසුකාලීනව සමස්ත ප්රදේශයකටම පාරිසරික හා සමාජීය බලපෑම් ඇති කළ හැකි ය.

විසඳුම සතුන් පලවා හැරීම පමණක් නොවේ
වන සතුන් නිසා ජනතාවට සිදුවන හානි නොසලකා හැරිය නොහැකි ය. ගොවීන්ගේ වගා විනාශ වීම, නිවාසවලට හානි සිදුවීම සහ මිනිසුන්ගේ ආරක්ෂාවට තර්ජන ඇති වීම සැබෑ ගැටලු ය. එබැවින් මිනිසුන්ගේ ආරක්ෂාව සහ වන සතුන්ගේ පැවැත්ම යන දෙකම සුරක්ෂිත කරන විසඳුම් අවශ්‍ය වේ.
ඒ සඳහා පළමුව ඉතිරිව ඇති වනාන්තර, තෙත්බිම් සහ වන සතුන්ගේ ගමන් මාර්ග ආරක්ෂා කළ යුතුය. සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කිරීමේදී වනජීවී වාසභූමිවලට සිදුවන බලපෑම් පිළිබඳව නිසි අවධානය යොමු කිරීම ද අත්‍යවශ්‍ය වේ.
දෙවනුව, වන සතුන්ට පහසුවෙන් ආහාර ලබාගත හැකි පරිසරය වෙනස් කළ යුතුය. කසළ විවෘතව නොතැබීම, පියන් සහිත කසළ බඳුන් භාවිත කිරීම, ආහාර අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීම සහ වන සතුන්ට ආහාර නොදීම ඒ සඳහා ගත හැකි ප්‍රායෝගික පියවර වේ.

එසේම සතුන්ගේ ගහණය අසාමාන්‍ය ලෙස ඉහළ යන ප්‍රදේශ හඳුනාගෙන, ඒ සඳහා හේතු විද්‍යාත්මකව විමර්ශනය කළ යුතුය. සතුන් වෙනත් ප්‍රදේශවලට ගෙන යාම හෝ අල්ලා ගැනීම වැනි ක්‍රියා විශේෂඥ උපදෙස් හා නීතිමය අධීක්ෂණය යටතේ සිදු කළ යුතුය.
මෙම කාර්යය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පමණක් පැවරිය නොහැකි ය. සීමිත මානව හා මූල්‍ය සම්පත් යටතේ දිවයින පුරා වනජීවී ගැටලු විසඳීම එම දෙපාර්තමේන්තුවට පමණක් ප්‍රායෝගිකව අසීරු ය. ප්‍රාදේශීය පාලන ආයතන, පරිසර බලධාරීන්, සංවර්ධන සැලසුම්කරුවන් සහ මහජනතාව ද ඒ සඳහා සහභාගි විය යුතුය.

ප්‍රදේශවල වන සතුන් ගැවසෙන ස්ථාන හඳුනා ගැනීම, කසළ කළමනාකරණය දියුණු කිරීම, ජනතාව දැනුවත් කිරීම සහ සත්ව ගැටුම් පිළිබඳ නිවැරදි තොරතුරු රැස් කිරීම මඟින් වඩාත් ඵලදායී විසඳුම් සැලසුම් කළ හැකි ය.
අද නගරයට පැමිණෙන මොනරා, ගෙවත්තට කඩා වදින රිලවා හෝ මාර්ගයක් අසල සැරිසරන මුවා හුදෙක් කරදරකාරී සතෙකු ලෙස පමණක් දැකිය නොහැකි ය. ඔවුන්ගේ පැමිණීම පිටුපස වාසභූමි අහිමි වීම, ආහාර සොයා ගැනීමේ පහසුව හෝ මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇති වූ පාරිසරික වෙනස්කම් තිබිය හැකි ය.
එහෙත් වන සතුන්ගේ පැවැත්ම ආරක්ෂා කිරීමේ නාමයෙන් ජනතාවට සිදුවන හානි නොසලකා හැරීම ද විසඳුමක් නොවේ. සැබෑ අභියෝගය වන්නේ මිනිසුන්ගේ ජීවිත හා ජීවනෝපාය ආරක්ෂා කරන අතරම සොබාදහමට ද පැවැත්මට අවශ්‍ය ඉඩකඩ සැලසීමයි.

වන සතුන්ට වනාන්තර අහිමි කරමින් ඔවුන් ගම් වැදීම ගැන පමණක් දොස් පැවරීමෙන් ඵලක් නැත. එබැවින් අප අපෙන්ම ඇසිය යුතු ප්රශ්නය වන්නේ වන සතුන් පලවා හැරීමට පමණක් උත්සාහ කරනවා වෙනුවට, මිනිසාටත් සොබාදහමටත් එකට පැවතිය හැකි සංවර්ධන දැක්මක් ගොඩනැඟීමට අප සූදානම් ද යන්නයි.
ඒ.ජී. රේණුකා දමයන්ති