පසුගිය දශක තුනක කාලය තුළ වයස අවුරුදු 50 ට අඩු පුද්ගලයින් අතර පිළිකා ඇති වීමේ තත්ත්වය සියයට 80 කින් පමණ වැඩි වී ඇති බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීම් සම්බන්ධව බ්‍රිතාන්‍ය වෛද්‍ය සංගමය මගින් ප්‍රකාශයට පත් කෙරෙන ඔන්කොලොජි සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද මෙම අධ්‍යයනය, මුල්-ආරම්භක පිළිකා රෝගීන්ගේ (early-onset cancer cases) භයානක වැඩි වීම හෙළිදරව් කරයි, මේ සම්බන්ධව වැඩිදුර විමර්ශනය සහ වැළැක්වීමේ පියවරයන්ගේ අවශ්‍යතාව මේ අධ්‍යයනය මගින් අවධාරණය කොට තිබේ.
මේ අධ්‍යයනය සඳහා රටවල් 204ක දත්ත ඇතුළත් වන අතර, පිළිකා වර්ග 29ක් කෙරෙහි අවධානය යොමු කොට තිබේ. 1990 – 2019 අතර කාලයේ අවුරුදු 14 – 49 අතර පුද්ගලයන් අතර මරණ, සෞඛ්‍ය ගැටලු සහ පිළිකා ඇතිවීමේ අවදානම් යන කරුණු කෙරෙහි අධ්‍යයනය කිරීම මගින් මේ තොරතුරු අනාවරණය වී තිබේ.
1990 සිට 2019 දක්වා කාලය තුළ, මුල්-ආරම්භක පිළිකා ඇති වීමේ තත්ත්වය මුළු ලෝකය පුරාම මිලියන 1.82 සිට මිලියන 3.26 දක්වා ඉහළ ගොස් තිබේ. වයස අවුරුදු 40, 30 හෝ ඊට අඩු පුද්ගලයන්ගේ මරණ අනුපාතිකය සියයට 27කින් වැඩි වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සෑම වසරකම අවුරුදු 50ට අඩු රෝගීන් මිලියනයකට වඩා පිළිකාවලට ගොදුරු වේ.
”අප හොඳින් ම දන්නා දෙය නම්, මෙම සංඛ්‍යාව කෙරෙහි බලපා ඇත්තේ ජනගහනයේ වැඩි වීම, ජීවන රටා, එනම් දුම්පානය, මත්පැන්, තරබාරු කම, ව්‍යායාම නොමැතිකම සහ නැවුම් පලතුරු සහ එළවළු නොමැතිකම ආදියයි” යනුවෙන් ඕස්ට්‍රේලියාවේ පර්ත් හි ශාන්ත ජෝන් ඔෆ් ගෝඩ් සුබියාකෝ රෝහලේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය සයීඩ් අලි පැවසීය.
ලොව පුරා, විශේෂයෙන් තරුණයින් අතර, පිළිකා රෝගීන්ගේ වැඩි වීම සම්බන්ධව සොයා බැලීමේ දී ඔවුන්ගේ ජීවන රටා කෙරෙහි අවධානය අත්‍යවශ්‍ය බව අලි පැහැදිලි කළේ ය.
මේ සම්බන්ධව ජීවන රටා බලපාන ආකාරය
මෙම තත්ත්වය පසුපස ඇති නිශ්චිත හේතු හෙළිදරව් කිරීම විශේෂඥයින්ට පවා සංකීර්ණ අභියෝගයක් බවට පත්ව තිබේ. රතු මස් (red meat – රතු මස් යනු අමු අවස්ථාවේ දී අධික රතු පැහැයෙන් යුක්ත ගව, එළු හෝ බැටළු මස් ආදිය වේ) බහුලව ආහාරයට ගැනීම, දුර්වල ආහාර පුරුදු, ලුණු අධික ආහාර, පලතුරු සහ අඩු වශයෙන් වන කිරි පරිභෝජනය, දුම්කොළ සහ මද්‍යසාර භාවිතය, ශාරීරික අකර්මණ්‍යතාව සහ තරබාරු කම, සීනි ආදිය අවුරුදු 50ට අඩු පුද්ගලයන් අතර බහුලවම පිළිකා සඳහා මූලික අවදානම් සාධක බව මේ දත්ත පෙන්වා දෙයි.
”සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක්, දුම්කොළ සහ මද්‍යසාර භාවිතය සීමා කිරීම සහ සුදුසු එළිමහන් ක්‍රියාකාරකම් ඇතුළුව සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් දිරිමත් කිරීම මුල් ආරම්භක පිළිකා ඇති වීමේ අවදානම් ස්වභාවය අඩු කර ගත හැකිය.”
පිළිකා වර්ග
ගෝලීය ජනගහනයෙන් සෑම පුද්ගලයන් 100,000 කටම 13.7ක් පිළිකා රෝගීන් සහ 3.5 පිළිකා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පියයුරු පිළිකාවලිනි. ස්වාස නාලය සහ පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා මුල් ආරම්භක අවස්ථාවල දී වඩාත් ම වේගවත් වර්ධනයක් දක්නට ලැබුණු අතර, ඇස්තමේන්තු ගත වාර්ෂික ප්‍රතිශත වෙනස් වීම් පිළිවෙළින් සියයට 2.28 සහ සියයට 2.23ක් විය.
ඊට වෙනස්ව, මුල් ආරම්භක අක්මා පිළිකා රෝගීන් වාර්ෂිකව සියයට 2.88කින් පමණ අඩු වී තිබෙන බව පෙනෙන්නට තිබේ.
2019 දී, වයස අවුරුදු 50 ට අඩු පුද්ගලයින් මිලියන 1.06 කට පිළිකා හේතුවෙන් සිය ජීවිත අහිමි වූ අතර එය 1990 සංඛ්‍යාලේඛනවලට වඩා සියයට 27 ක වැඩිවීමක් නිරූපණය කරයි. පියයුරු පිළිකා හැරුණු විට පෙනහළු, ආමාශය සහ බඩවැල් පිළිකා මාරාන්තික ඒවා අතර විය. වකුගඩු හෝ ඩිම්බ පිළිකාවන්ගේ තත්ත්වයේ ද ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කෙරිණි.
පිළිකා වර්ධනය කලාපීය වශයෙන්
2019 දී මුල්-ආරම්භක පිළිකාවලින් වඩාත් පීඩාවට පත් වූ කලාපවලට උතුරු ඇමරිකාව, ඕසනියාව සහ බටහිර යුරෝපය ඇතුළත් විය. කෙසේ වෙතත්, අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල් මෙම ප්‍රවණතාවෙන් නිදහස් නොවූ අතර, ඕසනියාව, නැගෙනහිර යුරෝපය සහ මධ්‍යම ආසියාවේ අවුරුදු 50ට අඩු අය අතර ඉහළතම මරණ අනුපාතය නිරීක්ෂණය විය. විශේෂයෙන් අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල, සෞඛ්‍ය පිරිහීම සහ මරණ අනුපාතය සම්බන්ධයෙන් මුල් අවධියේ පිළිකා කාන්තාවන්ට වඩාත් ප්‍රබල බලපෑමක් ඇති කළේය.
ඇඟ කිලිපොළා යන සුළු මේ වාර්තාව හුදෙක් ම කියවා ඉවත දැමිය යුත්තක් නොවේ. වයස අවුරුදු 50 ට අඩු ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් පිළිකාවලට ගොදුරු වීමේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවන සමාජ සහ ආර්ථික අර්බුද බොහොමයකි. රටක ක්‍රියාකාරී ශ්‍රම බලකාය නියෝජනය කරන්නේ මේ වයස්වල පසු වන පුද්ගලයන් ය. ඔවුන් පිළිකා රෝගවලට බඳුන් වීම තුළින් ආර්ථික ක්‍රියාකාරීත්ව කෙරෙහි සැලකිය යුත් බලපෑමක් එල්ල කරයි. රටක නිරෝගී පරපුරක් බිහි කිරීම සඳහා රජයක් පැත්තෙන් වැඩි දායකත්වයක් ලබා දිය යුතු වුවත්, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩා වැටීම තුළ අපට එවැන්නක් බලාපොරොත්තු විය හැකි ද යන ගැටලුව අප ඉදිරියේ ඉතිරි වෙයි. බුද්ධිමතුන්, වෘත්තිකයන් රට හැර යාම අතරට ක්‍රියාකාරී ශ්‍රම බලකාය පිළිකාවන්ට ගොදුරු වීම තුළ අප රටේ අනාගතය පිළිබඳ ඇති වන්නේ අවිනිශ්චිත, භයානක සහ අවදානම් සහිත තත්ත්වයක් පමණි.
නිරංජන් චාමින්ද කරුණාතිලක