2025 වනසත්ව සංගණනයේ තොරතුරු තවමත් ලැබී නැහැ

2025 වසරේ මාර්තු 15 වන දින රට පුරා ක්‍රියාත්මක කළ වනසත්ව සංගණනයේ නිල දත්ත මෙතෙක් තම අමාත්‍යාංශයට ලැබී නොමැති බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ගුණදාස අමරසිංහ මහතා පවසයි.ඒ මහතා මේ බව අනාවරණය කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවූ අවස්ථාවේදී ය. එහිදී වනසත්ව සංගණනය හා ඊට අදාළ කටයුතු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය විසින් 2025 මාර්තු 15 වන සෙනසුරාදා උදෑසන 8.00 සිට 8.05 දක්වා විනාඩි 5ක කාලයක් තුළ මෙම “විද්‍යාත්මක සත්ත්ව සංගණනය” සිදුකරන ලදී. මානව ජනාවාස සහ වගා බිම් ආශ්‍රිතව ජීවත් වන රිලවා, වඳුරා, දඬු ලේනා සහ මොනරා යන සත්ත්ව කාණ්ඩ 4ක ගහණය සංඛ්‍යාත්මකව හඳුනා ගැනීම මෙහි ප්‍රධාන අරමුණ විය.කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ මහතා එකල ප්‍රකාශ කළේ, දීර්ඝ කාලයක සිට වගාවන්ට වනසතුන්ගෙන් සිදුවන හානි පිළිබඳ වාර්තා ලැබුණ ද, මේ දක්වා නිවැරදි තක්සේරුවක් සිදු කර නොමැති බවයි. එම තොරතුරු ඉදිරි කෘෂිකාර්මික සංවර්ධන කටයුතු සඳහා අත්‍යවශ්‍ය සාධකයක් බව ද ඔහු අවධාරණය කර තිබුණි.කෙසේ වෙතත්, මෙම සංගණන ක්‍රමවේදය ශ්‍රී ලංකාව වැනි රටකට කෙසේවත් නොගැලපෙන බවට පරිසරවේදීන් සහ සත්ව වේදීන් අඛණ්ඩව චෝදනා කළහ. විනාඩි 5ක කාලයකදී, මහජන සහභාගිත්වයෙන් පමණක් රිළවුන්, වඳුරන් වැනි සංචාරක සතුන් ගණන් කිරීමේ විද්‍යාත්මක වලංගුභාවය පිළිබඳව ඔව්හු ප්‍රශ්න කළහ. ඊට ප්‍රතිචාර දක්වමින් අදාළ බලධාරීන් සඳහන් කළේ, සංගණනය විශේෂඥ උපදෙස් මත පදනම්ව ක්‍රියාත්මක වන බවයි.කාරක සභාව හමුවේ අදහස් දැක්වූ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් අමරසිංහ මහතා පෙන්වා දුන්නේ, සංගණනය අවසන් වී වසරකුත් මාස ගණනාවක් ගතවී ඇතත් එහි දත්ත මෙතෙක් තමන් වෙත ලැබී නොමැති බවයි. මේ අතර, බෝග වගාවන්ට වන සතුන්ගෙන් සිදුවන හානිය අඩුවක් නොමැතිව එලෙසම පවතින බව ද ඔහු සඳහන් කළේය.“මෙම ගැටලුවට මුහුණ දීම සඳහා මෙතෙක් ස්ථිර හෝ නිශ්චිත විසඳුමකට පැමිණීමට නොහැකි වී තිබෙනවා” යැයි ලේකම්වරයා කාරක සභාවට වැඩිදුරටත් පැවසීය.ශ්‍රී ලංකාවේ ගොවීන් වසර ගණනාවක් තිස්සේ රිළවුන්, වඳුරන්, මොනරුන් සහ දඬු ලේනුන් නිසා බරපතළ වගා හානිවලට මුහුණ දෙයි. පොල්, එළවළු, පලතුරු සහ ධාන්‍ය වගාවන්ට විශාල ලෙස හානි සිදුවන අතර, මේ සඳහා විද්‍යාත්මක දත්ත මත පදනම් වූ කළමනාකරණ සැලැස්මක් අවශ්‍ය බවට දිගු කලක සිට ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ. 2025 මාර්තු 15 සංගණනය එම උත්සාහයේ පළමු පියවර ලෙස හඳුන්වා දුන්නද, එහි ප්‍රතිඵල ප්‍රමාද වීම සහ ක්‍රමවේදය පිළිබඳ විවේචන හේතුවෙන් ගැටලුව තවමත් විසඳී නොමැත.

කාලීන පුවත්