වසර 10 කින් සඳ මත නගරයක් !


පෘථිවියේ සිට කි.මී. මිලියන 225 ක් පමණ දුරින් පිහිටි අඟහරු ග්‍රහයා මත ස්වයංපෝෂිත නගරයක් ඉදි කිරීම ලෝකයේ ලොකුම ධනපතියා වන ඊලොන් මස්ක් ගේ සිහිනයකි. ඔහු ගේ SpaceX නැමැති අභ්‍යවකාශ සමාගමේ ප්‍රධානම අපේක්ෂාවක් වන්නේ එය යි.

යම් දිනෙක මිනිස් වර්ගයාට පෘථිවිය මත ජීවත් වීමට නොහැකි තත්වයක් ඇති වුවහොත් මෙවැනි ග්‍රහලෝකවල ජීවත් වීම සඳහා දැන්ම සැලසුම් සකස් කළ යුතු බව මස්ක් කාලයක සිටම කියමින් සිටින කතාවකි. ඔහු පවසන්නේ මිනිසා එක ග්‍රහලෝකයකට පමණක් සීමා නොවූ බහු ග්‍රහලෝකමය සත්වයෙකු (Multi Planetary Species ) විය යුතු බව යි.

වසර 2055 පමණ වනවිට අඟහරු මත මිනිස් ජනාවාසයක් ඉදි කිරීමට හැකිවනු ඇති බවක් ඔහු පසුගිය වසරේ ප්‍රකාශ කළේය. මස්ක් ගේ අදහස වන්නේ මිලියනයක පමණ ජනගහණයක් ජීවත්වන නගරයක් එහි ඉදි කිරීම යි.

වසර 2055 පමණ වනවිට අඟහරු මත මිනිස් ජනාවාසයක් ඉදි කිරීමට හැකිවනු ඇති බවක් ඔහු පසුගිය වසරේ ප්‍රකාශ කළේය. මස්ක් ගේ අදහස වන්නේ මිලියනයක පමණ ජනගහණයක් ජීවත්වන නගරයක් එහි ඉදි කිරීම යි.

ඊලෝන් මස්ක්

කෙසේ හෝ වේවා, මෙම අඟහරු නගරය පිලිබඳ සැලැස්මෙහි යම් වෙනසක් කිරීමට තමා අදහස් කරන බව මස්ක් මෙයට ටික දිනකට පෙර ප්‍රකාශ කළේය. ඔහු සඳහන් කළේ අඟහරු නගරයට කලින් අපේ සමීපම අභ්‍යවකාශ අසල්වැසියා වන සඳ මත නගරයක් ඉදිකිරීම දැන් තම SpaceX සමාගමේ අපේක්ෂාව බව යි. මෙය ඔහු හැඳින්වූයේ ස්වයං වර්ධන නගරයක් (Self Growing City) ලෙසිනි. එයින් අදහස් වන්නේ එයට පෘථිවියේ සහයක් නොමැතිව වුව ද වර්ධනය වීමට හැකියාවක් ඇති බව යි.

මස්ක් සඳහන් කරන ආකාරයට සඳ මත මෙවැනි නගරයක් ඉදි කිරීමට ඒ හැටි කාලයක් ගත නොවනු ඇත. වසර 10 ක් වැනි කාලයක් ඇතුළත එවන් නගරයක් ඉදි කිරීමට හැකි වනු ඇති බවට ඔහු අනාවැකි පළ කර තිබේ.

අඟහරු නගරය පිලිබඳ අදහස ඔහු කල් දමා ඇත්තේ එම ව්‍යාපෘතිය හා බැඳී ඇති ඇතැම් ගැටලු සහ අභියෝග නිසා යි. ප්‍රධානම ගැටලුවක් වන්නේ මෙම නගරය ඉදි කිරීම සඳහා අඟහරු වෙත යානා යැවීමේ දී මතුවන ගැටලුවකි.

පෘථිවියේ සිට වෙනත් ග්‍රහලෝක වැනි අභ්‍යවකාශ වස්තූන් වෙත හිතෙන හිතෙන වෙලාවට යානා පිටත් කිරීමට හැකියාවක් නැත. ඒ සඳහා පෘථිවිය සහ එම වස්තූන් නිශ්චිත පිහිටීමකට පැමිණිය යුතුය. වඩාත් ඉක්මනින් සහ වියදම් අඩුවෙන් අදාල වස්තුව වෙත යාමට හැකි වන්නේ එවිට ය. එවිට ඉන්ධන අවශ්‍ය වන්නේ ද අඩුවෙනි.

පෘථිවිය සහ අඟහරු මෙවැනි පිහිටීමකට එන්නේ සෑම මාස 26 කට පමණ වරක් ය. මේ නිසා පෘථිවියේ සිට අඟහරු වෙත යානා යැවීමට හැකි වන්නේත්, එහි සිට නැවත පෘථිවියට පැමිණීමට හැකි වන්නේත් මාස 26 කට වරක් පමණි.
එමෙන්ම පෘථිවියෙහි සිට අඟහරු වෙත යන ගමනට මාස 6 කට ආසන්න කාලයක් ගත වේ. මෙවැනි කාරණා නිසා අඟහරු මත නගරයක් ඉදිකිරීම වැඩි කාලයක් ගතවන වඩාත් අභියෝගාත්මක කටයුත්තකි.

සඳ වෙත යානා පිටත් කිරීම සෑම දින 10 කට වරක්ම කළ හැකි වේ. එමෙන්ම පෘථිවියේ සිට සඳ වෙත යාම සඳහා ගත වන්නේ ද දින තුනක් තරම් කෙටි කාලයකි. (පෘථිවිය සහ සඳ අතර සාමාන්‍ය දුර කි.මී. ලක්ෂ 4 ක් පමණ ය. )
ඉහත කී තත්වයන් තුළ සඳ මත නගරයක් ඉදි කිරීම සාපේක්ෂව වඩාත් පහසු ය.

පෘථිවියෙන් ඈත මෙවැනි තැන්වල මිනිස් ජනාවාස ඉදි කිරීමේ දී එම කටයුතු කිරීම සඳහා විද්‍යාඥයන් සැලසුම් කර ඇති ක්‍රමවේද ද ඉතා අපූරු ය.

මෙවැනි ඉදි කිරීම්වල දී මිනිස් ශ්‍රමිකයන් යොදා නොගැනෙන බව ද සඳහන් වේ. බොහෝ විට ඉදිකිරීම් කටයුතු කෙරෙනු ඇත්තේ රොබෝවරුන් යොදා ගනිමිනි.
සඳ, අඟහරු වැනි තැන්වල තිබෙන දුෂ්කර, අනතුරුදායක තත්වයන් තුළ මිනිස් ශ්‍රමිකයන්ට එවැනි තැන්වල වැඩ කිරීම පහසු සහ ආරක්ෂිත නොවේ. රොබෝවරුන් යොදා ගැනෙන්නේ ඒ නිසා ය.

එමෙන්ම මෙවැනි ඉදි කිරීම් සඳහා පෘථිවියේ සිට ගොඩනැගිලි ද්‍රව්‍ය ආදිය ගෙන යාමක් සිදු වන්නේ ද නැත. එය ද ප්‍රායෝගිකව පහසු කටයුත්තක් නොවේ. මේ නිසා ඉදි කිරීම් සඳහා එවැනි තැන්වල තිබෙන සම්පත්ම යොදා ගැනෙනු ඇත.
සඳ මත හෝ අඟහරු මත නගරයක් ඉදි කිරීමේ දී එහි ඇති පස්, ජලය, ලෝහ වර්ග ආදිය යොදා ගැනීමට විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති.

කෙසේ නමුත් මේ තැන්වල ජලය ද්‍රව තත්වයේ නොපැවතීම ලොකු ප්‍රශ්නයකි. දැනට සොයාගෙන ඇති ආකාරයට ඒවායේ ඇත්තේ මිදුණු ජලය යි.
එම මිදුණු ජලය ද හැම තැනම ඇත්තේ නැත. ඒවා දැනට සොයාගෙන ඇත්තේ ධ්‍රැව ආසන්න ප්‍රදේශවල පමණි.

සඳ වැනි තැනක ජනාවාස ඉදි කළ විට ඒවාට අවශ්‍ය වන ආහාර, පානීය ජලය, ඉන්ධන වැනි දේ ද එහිම නිශ්පාදනය කර ගැනීමට සිදුවනු ඇති බව ද අමුතුවෙන් කිව යුතු නැත.

සඳ මත ඇති පස් මෙන්ම වාතය ද භෝග ආදිය වගා කිරීමට සුදුසු නොවේ. මේ නිසා විශේෂ ගොවිපලවල් සහ ගොවිතැන් ක්‍රම ආදිය යොදා ගැනීමට සිදු වෙයි. හිරු එළිය වෙනුවට LED ආලෝකය යොදා ගැනෙණු ඇතැයි සඳහන් වේ.

පසෙහි නොව තනිකරම ජලයේ භෝග වගා කරන තාක්ෂණයක් ද මේ වනවිට සොයාගෙන තිබේ. එය ඉංග්‍රිසි බසින් හැඳින්වෙන්නේ hydrophonics යනුවෙනි. පොහොර ආදියෙන් පෝෂණය කරන ලද ජලය මෙහි දී යොදා ගැනේ.

සඳ හෝ අඟහරු වැනි තැන්වල ඉන්ධන නිපදවීමේ දී ජලය යොදා ගනිමින් එය කිරීමට විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති. ජලයේ ඇති ඔක්සිජන් සහ හයිඩ්‍රජන් යොදා ගනිමින් මේ ආකාරයෙන් ඉන්ධන නිපදවෙනු ඇත.

සඳ හෝ අඟහරු වැනි තැන්වල ඉන්ධන නිපදවීමේ දී ජලය යොදා ගනිමින් එය කිරීමට විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති. ජලයේ ඇති ඔක්සිජන් සහ හයිඩ්‍රජන් යොදා ගනිමින් මේ ආකාරයෙන් ඉන්ධන නිපදවෙනු ඇත.

කෙසේ හෝ වේවා ඊලෝන් මස්ක් ගේ සැලසුම හරි ගියහොත් වසර 2036 වන විට සඳ මත මිනිසුන් ජීවත් වන නගරයක් දැක ගැනීමට අපට හැකිවනු ඇත.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර