පළාත් රැසකට තද සුළං අනතුරු ඇඟවීම්!

, දිවයින හරහා දැනට පවතින සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් ඉදිරි පැය 24 තුළ පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට පැයට කිලෝමීටර් 50 දක්වා වූ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අද (05) පස්වරු 3.30ට නිකුත් කරන ලද මෙම අවවාදාත්මක නිවේදනය හෙට (06) පස්වරු 3.30 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මෙහිදී වැඩිම බලපෑමක් ඇති විය හැකි ප්‍රදේශ ලෙස මධ්‍යම, සබරගමුව, උතුරු සහ උතුරු මැද පළාත් මෙන්ම ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්ක හඳුනාගෙන ඇති අතර, එම ප්‍රදේශවලට විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් යුත් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මීට අමතරව, දිවයිනේ සෙසු ප්‍රදේශවල ද විටින් විට පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර වේගයකින් තරමක තද සුළං ඇතිවිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳන් වේ. මේ හේතුවෙන් පවතින තද සුළං තත්ත්වය නිසා ඇතිවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරනු ලැබේ.

කාලීන පුවත්