
Spider Man චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය වන Spider Man : Brand New Day හොලිව්ඩ් චිත්‍රපට නරඹන සිනමාලෝලීන් තුළ, විශේෂයෙන් තරුණ සිනමාලෝලීන් තුළ මේ දිනවල උන්මාදයක් ඇති කර තිබේ. පසුගිය ජුලි 31 වැනි දින ලොව පුරා ප්‍රදර්ශණය ආරම්භ කළ මේ සිනමාපටය ඉතා ඉහළ ආදායම් උපයමින් තිරගත වන අතර මේ වසරේ ලෝකයේම මෙතෙක් තිරගත වූ චිත්‍රපට අතරින් වැඩිම ආදායම් ඉපැයූ චිත්‍රපටය බවට ද පත්ව ඇත. මෙම ලිපිය ලියන අවස්ථාව වනවිට Brand New Day ලොව පුරා ප්රදර්ශණයෙන් උපයා තිබූ ආදායම ඇ. ඩොලර් බිලියන 2 ඉක්මවා තිබිණි. එය දැන් පවතින විනිමය අනුපාතය අනුව ලංකා රුපියල් බිලියන 660 කට වැඩි ආදායමකි.
චිත්‍රපටය ඇ. ඩොලර් බිලියන 2 ආදායම් සීමාව පසුකර ගියේ ප්‍රදර්ශණය ආරම්භ කර 17 වැනි දිනයේ යි. බිලියන 2 ආදායම් සීමාව කරා වේගයෙන්ම ලඟා වූ චිත්‍රපට අතර Brand New Day දෙවැනි තැන හිමිකර ගෙන සිටියි. පළමු තැන දිනාගෙන සිටින්නේ 2019 වසරේ ප්‍රදර්ශණය වූ Avengers : Endgame චිත්‍රපටය යි. ඩොලර් බිලියන 2 සීමාව පසුකර යාමට එයට ගත වූයේ දින 11 ක් පමණි.

Spider Man චිත්‍රපට මාලාවේ චිත්‍රපට අතරින් වැඩිම ආදායම් ඉපැයූ චිත්‍රපටය බවටත් Brand New Day පත්ව සිටියි.
චිත්‍රපටය මේ ආකාරයෙන් ඉහළ ආදායම් ලැබීමත් සමග එහි ප්‍රධාන චරිතය එනම් පීටර් පාකර් / ස්පයිඩර් මෑන් චරිතය රඟන ටොම් හොලන්ඩ්ට හිමිවන මුදල ද ඉහළ යනු ඇති බව වාර්තා වේ. මෙම චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් ඔහුට නිශ්චිත මූලික ගෙවීමක් කර ඇති බවත්, ඊට අමතරව චිත්‍රපටය ලබන ආදායමෙන් කොටසක් ද ලැබෙනු ඇති බවත් මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ අනුව හොලන්ඩ් ඇ. ඩොලර් මිලියන 100 ඉක්මවූ ගෙවීමක් ලබනු ඇතැයි විශ්වාස කෙරේ. එය ලංකා රුපියල්වලින් බිලියන 30 කට වැඩි මුදලකි.
Spider Man චිත්‍රපට මාලාව ආරම්භ වූයේ 2002 වසරේ නිශ්පාදනය වූ Spider Man නම් චිත්‍රපටයෙනි. එදා සිට මේ දක්වා චිත්‍රපට 9 ක් නිර්මාණය වී තිබේ.
මුල්ම චිත්‍රපට තුන වූ Spider Man , Spider Man 2 (2004) , Spider Man 3 (2007) යන චිත්‍රපටවල ප්‍රධාන චරිතය රඟපෑවේ ටොබී මැගුවර් ය. ඊළඟ චිත්‍රපට දෙකේ, එනම් The Amazing Spider-Man (2012) සහ The Amazing Spider-Man 2 (2014) චිත්‍රපට දෙකේ එම චරිතය ඇන්ඩෲ ගාර්ෆීල්ඩ් විසින් නිරූපනය කරනු ලැබිණි.
ටොම් හොලන්ඩ් මෙම පීටර් පාකර් චරිතය නිරූපනය කිරීමට පටන් ගත්තේ එයින් පසුව යි. Spider Man : Brand New Day ඔහු මෙම චරිතය රඟපාන සිව්වැනි Spider Man චිත්‍රපටය යි. මෙයට පෙර හොලන්ඩ් රඟපෑ චිත්‍රපට තුන වූයේ Spider Man: Homecoming (2017), Spider Man : Far from Home (2019), Spider Man : No Way Home (2021) යන ඒවා ය. Spider Man චිත්‍රපට වැඩිම ගණනක එම චරිතය නිරූපනය කළ රංගන ශිල්පියා බවට ද ටොම් හොලන්ඩ් පත්ව සිටියි.

පළමු චිත්‍රපට තුනේ පීටර් පාකර් ලෙස රඟපෑ ටොබී මැගුවර් ද එම චරිතය තුළින් සුවිසල් ජනප්‍රියත්වයක් හිමි කරගත්තේය. පළමු චිත්‍රපටයේ රඟපාද්දී 27 වැනි වියේ පසු වූ ඔහුගේ වයස දැන් අවුරුදු 51 කි. මැගුවර් තවමත් සිනමා රංගනයේ නිරත වෙයි.
දැන් මේ චිත්‍රපටවල පීටර් පාකර් ලෙස රඟන ටොම් හොලන්ඩ් ද එම චරිතය නිසා සිනමාලෝලීන්ගේ ප්‍රියතම රංගන ශිල්පියකු බවට පත් විය.
ඔහු ගැන විස්තර ටිකකුත් මෙහි සඳහන් කිරීම සුදුසු වේ. මේ වනවිට 30 වැනි වියේ පසුවන ටොම් වැඩිපුර රඟපාන්නේ ඇමරිකානු චිත්‍රපටවල වුවත් ඔහු බ්‍රිතාන්‍ය ජාතික නළුවෙකි. ඔහුගේ ප්‍රධාන නිවස පිහිටා ඇත්තේ ද ලන්ඩන් නුවර ආසන්නයේ කිංග්ස්ටන් නම් ප්‍රදේශයේයි. එය තේම්ස් නදිය අසබඩ පිහිටා තිබෙන ප්රදේශයකි.
ටොම් ගේ සම්පූර්ණ නම තෝමස් ස්ටැන්ලි හොලන්ඩ් ය. ඔහුගේ මව්පියන් දෙදෙනාත් කලාවට සම්බන්ධ අය බව පැවසේ. ඔහු ගේ පියා ඩොමිනික් හොලන්ඩ් ද නළුවකු ලෙස කටයුතු කර ඇති අතර මව නිකොලා ෆ්රොස්ට් ඡායාරූප ශිල්පිනියක බව සඳහන් වේ.
තම කලා කටයුතු සඳහා මව්පියන්ගෙන් විශාල ආභාෂයක් ලැබුණු බව ටොම් නිතර සඳහන් කරයි.

අද ලෝක ප්‍රසිද්ධ පුද්ගලයකු වී සිටියත් ඔහු එක්තරා දුර්ළභ රෝග තත්වයකින් පීඩා විඳින්නෙකි. මෙම රෝගය හැඳින්වෙන්නේ ඩිස්ලෙක්සියාව (Dyslexia) යනුවෙනි. ටොම් මෙම තත්වයෙන් පීඩා විඳින බව මුල් වරට හඳුනාගෙන තිබුණේ ඔහු 7 වැනි වියේ පසුවෙද්දී ය.
ඩිස්ලෙක්සියාව කුඩා වියේ කෙනෙකුගේ අධ්‍යාපන කටයුතුවලට දැඩි ලෙස බලපාන තත්වයකි. මෙම රෝගයෙන් පෙළෙන දරුවකුට අකුරු නිවැරදිව හඳුනාගැනීම, වචන නිවැරදිව උච්චාරණය කිරීම, කියවීම, ලිවීම වැනි කටයුතුවල දී විවිධ ගැටලු සහ අපහසුතාවන් ඇති වේ.
බොලිවුඩ් නළු ආමීර් ඛාන් රඟපෑ “තාරේ සමීන් පාර් ” චිත්‍රපටය ඔබ නරඹා තිබෙනවා නම් එහි ඉෂාන් නමැති කුඩා දරුවාටත් තිබුණේ මෙම ඩිස්ලෙක්සියා රෝග තත්වය යි.

තවමත් ටොම් මෙහි බලපෑමෙන් සම්පූර්ණයෙන් මිදී නැති බව සඳහන් වේ. තම රංගන කටයුතුවලට ද මෙයින් යම් බලපෑමක් එල්ලවන බව වරක් ඔහුම ප්‍රකාශ කර තිබිණි. එක්තරා ජනප්‍රිය, සජීවි රූපවාහිනී වැඩසටහන් මාලාවක් ඉදිරිපත් කිරීමට ලැබුණු ආරාධනයක් පවා මෙම රෝග තත්වය නිසා ටොම් ප්‍රතික්ෂේප කළේය.
කෙසේ හෝ වේවා, මෙවැනි පීඩාකාරී රෝග තත්වයක් තිබියදීත් ජීවිතය මේ ආකාරයෙන් සාර්ථක කර ගැනීමට ඔහු සමත් වීම සැබැවින්ම අපූරු කාරණයකි.
නිහාල් පීරිස්