ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු අධිකරණ ක්ෂේත්රයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීමට සැරසෙන බව කියන පියවර සම්බන්ධව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
මෙලෙස විනිසුරු විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීම සඳහා රජය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හඳුන්වා දීමට සලකා බලමින් සිටින බවට පොදු සමාජය තුළ පළවන වාර්තා පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය දැඩි කනස්සල්ල පළ කර සිටියි.1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කළ දා සිට අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස පිළිවෙළින් අවුරුදු 63ක් සහ 65ක් ලෙස පැවති අතර, එය අත්තනෝමතික ලෙස වෙනස් නොකළ යුතු බවත්, එවැනි වෙනසක් සිදු කිරීම අනවශ්‍ය මෙන්ම සුදුසු නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ස්ථාවරයයි.එසේ කිරීමෙන් නීති පද්ධතියේ අඛණ්ඩතාව පිළිබඳව මෙන්ම නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීමට හා ආරක්ෂා කිරීමට රජය තුළ ඇති කැපවීම කෙරෙහි මහජනතාව තුළ පවතින විශ්වාසය බිඳ වැටීමට හේතු වනු ඇත. මෙම අරමුණ සඳහාම පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට රජය දරන උත්සාහයේ අරමුණ කුමක්දැයි මහජනතාව ප්‍රශ්න කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය මඟින් අභියාචනාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව (අභියාචනාධිකරණ සභාපතිවරයා ඇතුළුව) 12 සිට 20 දක්වාත්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව (අගවිනිසුරුවරයා ඇතුළුව) 11 සිට 17 දක්වාත් වැඩි කළ බව ජනාධිපතිවරයා නිසැකවම දන්නවා ඇති බවත්, එවැනි විනිසුරු මඩුලු සංඛ්‍යාවක වර්ධනයක් සිදුව තිබියදී, කාර්යභාරය අනුව බලන කල මෙම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට සැබෑ අවශ්‍යතාවක් තිබිය නොහැකි බවද එම ලිපියේ සඳහන් වේ.
ලිපියේ ඉතිරි කොටසේ මෙසේ ද සඳහන් වේ.
ඉහළම අධිකරණවල (Apex Courts) විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මඟින්ම සිදු කළ යුතු බව ඔබතුමා දන්නා කරුණකි. වසර ගණනාවක සිට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විවිධ අවස්ථාවලදී තත්කාලීන (Ad Hoc) සංශෝධනවලට ලක් වූයේ බලයේ සිටින රජයේ දේශපාලන අවශ්‍යතා සපුරාලීමට මිස නීතියේ ආධිපත්‍යයේ සහ අධිකරණයේ ස්වාධීනත්වයේ යහපත උදෙසා නොවේ.මෙවැනි වකවානුවක මෙම අධිකරණවල සේවයේ නියුතු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම, අධිකරණයට අතපෙවීමක් කිරීමට දරන පැහැදිලි උත්සාහයක් ලෙස මහජනතාව විසින් දකිනු ඇත. මෙවැනි තත්කාලීන පියවරක් සමඟ ඉදිරියට යාම එම උත්කෘෂ්ට අධිකරණවල ගරුකටයුතු විනිසුරුවරුන්ට කරනු ලබන නිග්‍රහයක් ද වනු ඇතැයි අප විශ්වාස කරමු. රජය මෙම පියවර ක්‍රියාත්මක කළහොත්, එය අනාගත රජයන්ට ද අධිකරණයේ කාර්යයන් සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මෙවැනි තත්කාලීන සංශෝධන ඇතුළත් කිරීමට භයානක පූර්වාදර්ශයක් සපයනු ඇත.අධිකරණයේ ස්වාධීනත්වය සහ ඒ කෙරෙහි තබා ඇති මහජන විශ්වාසය අප ජනරජයේ නීතියේ ආධිපත්‍යයේ සහ ප්රජාතන්ත්රවාදී ව්‍යුහයේ අත්‍යවශ්‍ය කුළුණු වේ. ඒ සම්බන්ධයෙන්, අධිකරණය ප්‍රායෝගිකව ස්වාධීන විය යුතු අතරම, එය සම්පූර්ණයෙන්ම ස්වාධීන, අපක්ෂපාතී සහ කිසිදු ආකාරයක බලපෑමකින්, අනුග්‍රහයකින්, අනුකූලතාවයකින් හෝ අනිසි ක්‍රියාවක ප්රතිරූපයකින් තොර බව මහජනතාවට ද පෙනී යාම අතිශයින්ම වැදගත් වේ.එබැවින්, නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමට සහ අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීමට ඇති බැඳීම ඉටු කරමින්, අධිකරණයේ හෝ මහජනතාවගේ යහපත පිණිස නොවන මෙවැනි යෝජිත සංශෝධනයක් පිළිබඳව සිය දැඩි කනස්සල්ල ගෞරවයෙන් ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට සිදුවී ඇත.එවැනි තත්ත්වයන් යටතේ, අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් ඇතුළු අධිකරණ ක්ෂේත්රයේ සාමාජිකයන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට අදහස් කරන කිසිදු යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සමඟ ඉදිරියට නොයන ලෙස නීතිඥ සංගමය ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටියි.ලංකාවේ නීතියේ ආධිපත්‍යය සහ ප්රජාතන්ත්රවාදී පාලනය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන අධිකරණයේ ස්වාධීනත්වය, අඛණ්ඩතාව, ගෞරවය සහ මහජන විශ්වාසය සුරැකීමේ වැදගත්කම පිළිබඳව ඔබතුමා නිසි අවධානයක් යොමු කරනු ඇතැයි අප විශ්වාස කරමු.