වීදි සතුන් වෙනුවෙන් අරමුදලක් පිහිටුවීමට බ්‍රිතාන්‍ය පශු වෛද්‍යවරිය පා ගමනින් පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුවට

ශ්‍රී ලංකාවේ අසරණ වීදි සතුන්ට වඩාත් හොඳ පශු වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ අරමුණින්, නවීන පශු වෛද්‍ය රෝහලක් ඉදිකිරීම සඳහා පවුම් මිලියන 1.6ක අරමුදලක් රැස් කිරීමට බ්‍රිතාන්‍ය පශු වෛද්‍යවරියක වන ජැනී ලෝව්ස් මහත්මිය ශ්‍රී ලංකාවේ උතුරේ සිට දකුණ දක්වා කිලෝමීටර් 620ක ධාවන අභියෝගයකට එක්ව සිටින්නීය.‘ද ඩෝග් ජොග්’ (The Dog Jog) ලෙස නම් කර ඇති මෙම අභියෝගය ඊයේ (09) පේදුරුතුඩුවෙන් ආරම්භ කර ඇති අතර, දින 22ක් ඇතුළත දෙවුන්දරතුඩුව දක්වා ගමන් කිරීම ඇගේ අරමුණයි. මෙම ගමනේදී අනුරාධපුරය, මහනුවර සහ හෝර්ටන් තැන්න ඇතුළු ප්‍රදේශ ඔස්සේ ගමන් කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ වීදි සුනඛයන් වෙනුවෙන් ක්‍රියා කරන WeCare Worldwide පුණ්‍යායතනයේ නිර්මාතෘවරිය වන ඇය, වසර 12කට ආසන්න කාලයක් මෙරට අසරණ සතුන්ගේ ජීවිත බේරාගැනීම සඳහා කැපවී කටයුතු කර තිබේ. ඇය මෙම අභියෝගයට එක්ව ඇත්තේ තම පුණ්‍යායතනයේ දැනට පවතින සායනික පහසුකම්වලින් ප්‍රතිකාර කළ හැකි සතුන් සංඛ්‍යාවට වඩා වැඩි සතුන් පිරිසකට ප්‍රතිකාර අවශ්‍ය වීම හේතුවෙනි. දැනට පවතින සායනයේ ඉඩකඩ සහ පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා සියලුම රෝගී සතුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම දුෂ්කර වී ඇති බව ඇය පෙන්වා දෙයි.රැස් කිරීමට අපේක්ෂිත මුදලින් වීදි සුනඛයන් සඳහාම වෙන් වූ නවීන පශු වෛද්‍ය රෝහලක්, සතුන් සුවය ලබන තෙක් රැකබලා ගැනීමේ හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් සහ පශු වෛද්‍ය වෘත්තිකයන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ. මෙම පහසුකම් සම්පූර්ණ කිරීමෙන් වසරකට අතිරේක සතුන් 3,000කට පමණ ප්‍රතිකාර ලබාදීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම වාර්ෂිකව පශු වෛද්‍ය වෘත්තිකයන් 200කට වැඩි පිරිසකට ප්‍රායෝගික පුහුණුව හා වෘත්තීය දැනුම වැඩිදියුණු කිරීමේ අවස්ථා ලබාදීම ද මෙම වැඩපිළිවෙළේ අරමුණකි.ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටියදී ප්‍රතිකාර නොලැබීමෙන් පීඩා විඳින වීදි සතුන් මුහුණ දෙන තත්ත්වය දැකීමෙන් පසු වෛද්‍ය ලෝව්ස් මහත්මිය මෙරට සත්ව සුබසාධනය වෙනුවෙන් කැපවීමට තීරණය කර තිබේ. ඇය 2014 වසරේදී WeCare Worldwide පුණ්‍යායතනය ආරම්භ කළාය.දැඩි උෂ්ණත්වය, ආර්ද්‍රතාව සහ දුෂ්කර භූමි ප්‍රදේශ ඔස්සේ දින 22ක් පුරා සිදුකෙරෙන මෙම අභියෝගය ශාරීරිකව අතිශය වෙහෙසකර කාර්යයක් වුවද, ප්‍රතිකාර අවශ්‍ය සතුන් වෙනුවෙන් එම වෙහෙස දරාගැනීමට තමන් සූදානම් බව ඇය පවසා තිබේ. මෙම වැඩසටහනෙන් අපේක්ෂා කරන්නේ මුදල් රැස් කිරීම පමණක් නොවේ; වීදි සතුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම, ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් පුළුල් කිරීම සහ සත්ව සුබසාධනය පිළිබඳ සමාජ අවධානය ඉහළ නැංවීම ද එහි අරමුණු අතර වේ.

කාලීන පුවත්