මහරගම, පතිරගොඩ පාර ප්‍රදේශයේ සැරිසරන නිවාස අහිමි අසරණ වීදි සුනඛයින්ට පොලු මුගුරු වලින් අමානුෂික ලෙස පහර දීම සහ යතුරුපැදියකින් යට කිරීමට තැත් කරමින් සත්ව හිංසනය සිදුකිරීමේ චෝදනාව මත බැංකු විධායක නිලධාරිනියක අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි.ප්‍රදේශවාසීන් විසින් පොලිසිය වෙත කරන ලද පැමිණිලිවලට අනුව ක්‍රියාත්මක වූ විමර්ශන කණ්ඩායම් විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව ඇයව පොලිස් ඇප මත මුදාහැරීමට කටයුතු කර තිබේ.පොලිසිය පවසන පරිදි, සැකකාර කාන්තාව ඉකුත් වෙසක් පොහොය දින රාත්‍රී කාලයේ සහ අලුයම් කාලයේදී පවා එම ප්‍රදේශයේ සිටි වීදි සුනඛයින්ට ඉතා අමානුෂික ලෙස පහර දෙන ආකාරයත්, උන්ව යතුරුපැදියකින් යට කිරීමට උත්සාහ කරන ආකාරයත් අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවල (CCTV) පැහැදිලිව සටහන්ව තිබී ඇත.මෙසේ සත්ව හිංසන චෝදනා මත අත්අඩංගුවට පත්ව ඇත්තේ මහරගම පතිරගොඩ පාරේ පදිංචි, විශ්වවිද්‍යාල උපාධිධාරිනියක ද වන ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක විධායක ශ්‍රේණියේ තනතුරක් දරන කාන්තාවකි.සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.