සාම පා ගමන අතරේ ජනපති මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාර මාධ්‍යවේදීන් දෙදෙනකුට පහර දීලා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාර මහතා විසින් සිදු කළ බව පැවසෙන, ‘එහිපස්සිකෝ’ භික්ෂු සාම පාගමනේ මාධ්‍ය ආවරණ කටයුතුවල නිරත වූ ලේක්හවුස් ආයතනයේ මාධ්‍යවේදීන් දෙදෙනකුට තම වෘත්තීය කටයුතු සිදු කිරීමට ඇති අයිතිය අවහිර කරමින්, ඔවුන්ට ශාරීරිකව පහරදීමේ සහ බියවද්දා පළවා හැරීමේ ක්‍රියාව හෙළා දකිමින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජනාධිපතිවරයා වෙත 2026.04.23 දාතමින් යුතු ලිපියක් ඉදිරිපත් කර තිබේ. එම ලිපිය සම්පූර්ණයෙන් මෙලෙසිනි:

අනුර කුමාර දිසානායක මහතා,
ගරු ජනාධිපති,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.

ජනාධිපතිතුමනි,

ජනාධිපති මාධ්‍ය ඒකකයේ මාධ්‍ය උපදේශකගේ තිරශ්චීන හැසිරීම හෙළා දැකීම.

දැනට රට තුළ ක්‍රියාත්මක අවිහිංසාවාදය මුල් කරගත් ‘එහිපස්සිකෝ’ භික්ෂු සාම පාගමනේ මාධ්‍ය ආවරණය සිදු කිරීමට කටයුතු කළ ලේක්හවුස් ආයතනයේ මාධ්‍යවේදීන් දෙදෙනෙකුට, තම වෘත්තීය කටයුතු සිදු කිරීමට ඇති අයිතිය අවහිර කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකයේ මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාර විසින් සිදු කළ ශාරීරික පහරදීම සහ බියවද්දා පළවා හැරීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය බලවත් පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු.

ඔබගේ මෙම මාධ්‍ය උපදේශකවරයාගේ තිරශ්චීන ක්‍රියාවට දඹුල්ලේදී මුහුණ පා ඇත්තේ ඔබගේම රජය යටතේ පාලනය වන රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන ලේක්හවුස් ආයතනයේ මාධ්‍යවේදී බුවනෙක එස්. පෙරේරා සහ එම ආයතනයේම තවත් මාධ්‍යවේදියෙකු වීම උත්ප්‍රාසජනක තත්ත්වයකි. ඔබේ මාධ්‍ය උපදේශකවරයා මෙහිදී හැසිරී ඇත්තේ රාජ්‍ය නිලධාරියෙකු සතු බලතලවල සීමාව ඉක්මවා යන පරිද්දෙන් සහ අනවශ්‍ය ලෙස පෞද්ගලික මාධ්‍ය ආයතනයකට ප්‍රමුඛත්වය හිමිවන අයුරිනි. මෙය ඔබේ පාලන තන්ත්‍රයේ පවතින මාධ්‍ය ප්‍රතිපත්තිය මැනවින් පිළිබිඹු වන අවස්ථාවක් වශයෙන් අප සලකන අතර ඒ පිළිබඳ අපගේ බලවත් කණගාටුව පළ කරමු.

එමෙන්ම ඔබේ මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාරගේ මෙම පහරදීම, පසුගිය ආණ්ඩු විසින් ගෙන ආ මර්දන අණපනත් වන ඊනියා ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය, ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත (PSGA), මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත (OSA) තවදුරටත් පවත්වාගෙන යාම සහ වර්තමානයේ දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අහිමි කිරීමට සංස්කෘතික අමාත්‍යාංශයේ නිලධාරීන් ආරක්ෂක අමාත්‍යාංශයේ සරණ පැතීම වැනි සමස්ත රාජ්‍ය මර්දන යාන්ත්‍රණයේම දිගුවක් බව පැහැදිලිය.

එබැවින් ලංකාවේ මාධ්‍ය නිදහස අහිමි කිරීම කෙරෙහි බලපාන මෙවැනි රාජ්‍ය හස්තයන් යොදවමින් සිදු කරන මැරවර ක්‍රියා අත්හිටුවීම කෙරෙහි ඔබගේ කඩිනම් අවධානය යොමු කර, මාධ්‍යවේදීන්ට තම රාජකාරිය වෘත්තීය ගෞරවයක් සහිතව සිදු කිරීමට අවශ්‍ය පරිසරයක් සකසන මෙන් ඉල්ලා සිටිමු. මේ අනුව ඔබේ පාලනය යටතේ මර්දනයට ලක්විය යුත්තේ මෙරට ජනමාධ්‍ය හෝ මාධ්‍යවේදීන් නොව, ඔබ යටතේ මෙවැනි මැරවර ක්‍රියා සිදු කරමින් රාජ්‍යය අපකීර්තියට පත් කරනු ලබන ඔබේ මාධ්‍ය උපදේශක වැනි නිලධාරීන් බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ අපි අවධාරණය කරමු.

ස්තූතියි!

මෙයට,

දුමින්ද සම්පත්
සභාපති

රංග බණ්ඩාරනායක
ලේකම්

පිටපත්: 1. ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස
(උපුටා දැක්වීම අවසන්)

එමෙන්ම ‘එහිපස්සිකෝ’ භික්ෂු සාම පාගමනේ මාධ්‍ය ආවරණය සම්බන්ධයෙන් “නිල” තත්ත්වයක් ආරෝපණය කර ගනිමින්, සෙසු මාධ්‍ය ආයතන පසුබස්වා ඊට තනි අයිතිය කියා පෑමට සිරස මාධ්‍ය ජාලය කටයුතු කිරීමත්, ශ්‍රී ලංකා පොලිසිය ඒ සඳහා සෘජු දායකත්වයක් ලබා දීමත් බොහෝ දෙනාගේ දැඩි අප්‍රසාදයට හේතු වී තිබේ. මෙම මාධ්‍යවේදීන්ට පහර දීම සිදුව ඇත්තේ එම සිදුවීම් අතරතුර ය.

කාලීන පුවත්