සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී ගේ ජීවිත කතාවෙන් බිඳක්


පාපන්දු ලෝකයේ කවදත් කතාබහට ලක්වන අග්‍රගණ්‍ය ක්‍රීඩකයකු වන ආජන්ටිනාවේ ලියොනෙල් මෙසී පසුගිය දිනවලත් විශේෂ අවධානයක් දිනා ගන්නට සමත් වුණා. ඒ ඔහු විසින් පිහිටුවන ලද අලුත්ම වාර්තාවක් නිසා යි. මෙසි මේ ආකාරයෙන් වාර්තා පොතට එක් වූයේ පාපන්දු ලෝක කුසලාන තරගාවලි ඉතිහාසය තුළ වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයා බවට පත් වෙමින්. ඔහු එදා මෙදාතුර සහභාගි වූ ලෝක කුසලාන තරගවල දී ලබාගෙන ඇති සමස්ත ගෝල සංඛ්‍යාව මෙම සටහන ලියන අවස්ථාව වෙද්දී 20 ක්. (ඔබ මෙය කියවන අවස්ථාව වනවිට මෙසී ගේ ගෝල සංඛ්‍යාව මීටත් වඩා වැඩි වී තිබෙන්නට පිලිවන්).

මෙසී මෙම වාර්තාව පිහිටුවන්නට පෙර ඊට හිමිකම් කීවේ මිරොස්ලාව් ක්ලෝස්. ජර්මන් ජාතිකයකු වන ක්ලෝස් මෙම වාර්තාව පිහිටුවූයේ 2014 වසරේ යි. ඒ වනවිට ඔහු සහභාගි වූ ලෝක කුසලාන තරගවල දී ගෝල 16 ක් ලබාගෙන තිබුණා. 2014 න් පසු ක්ලෝස් ලෝක කුසලාන තරගවලට සහභාගි වුණේ නැහැ.

මෙසී මෙවර තරගාවලියේ දී බිඳ දැමුවේ ක්ලෝස් වසර 12 ක් තිස්සේ හිමිකම් කියමින් සිටි වාර්තාවක්.

පසුගිය ජුනි 16 වැනිදින ආර්ජන්ටිනාව සහ ඇල්ජීරියාව අතර පැවති ලෝක කුසලාන තරගයේදී මෙසී පිට පිට ගෝල තුනක් වාර්තා කළ අතර ඒ සමග ඔහු ක්ලෝස් ගේ වාර්තාව සම කරන්නට සමත් වුණා. ඕස්ට්‍රියාව සමග පැවැති ඊළඟ තරගයේදීත් මෙසී ගෝල දෙකක් ලබා ගත්තා. ඒ අනුව ඔහුට ක්ලෝස් ගේ ගෝල සංඛ්‍යාව ඉක්මවා යමින් නව වාර්තාවක හිමිකරු වීමට හැකි වුණා.
එයින් පසුව පැවති තරග දෙකකදීත් මෙසී එක ගෝලය බැගින් ලබා ගත්තා.

ලබන ජුලි 19 වැනි දින මෙම තරගාවලිය අවසන් වනවිට මෙසී කෙතරම් ගෝල සංඛ්‍යාවක් ඔහුගේ ගිණුමට එක් කරගෙන සිටිනු ඇත් ද යන්න කුතුහලය දනවන කාරණයක්.

මෙසී ගැන මේ ආකාරයෙන් විශේෂ අවධානයක් යොමුවෙමින් ඇති අවස්ථාවක ඔහුගේ ක්‍රීඩා දිවිය ගැන මෙන්ම පෞද්ගලික ජීවිතය ගැනත් තොරතුරු කියවීමට බොහෝ දෙනෙකු කැමති වනු ඇති. මේ ඒ සම්බන්ධයෙන් ලියැවෙන කෙටි සටහනක්.

මේ වනවිට 39 වැනි වියෙහි පසුවන මෙසී තිදරු පියෙක්. ඔහු ගේ බිරිඳගේ නම ඇන්ටොනෙලා රොකූසෝ. මෙසී සහ ඇන්ටොනෙලා විවාහ වූයේ 2017 ජුනි මාසයේ යි.

ඔවුන් දෙදෙනා ළමා වියේ පටන්ම හොඳින් දන්නා හඳුනන දෙදෙනෙකු වූ බව සඳහන්. නවසිය අනූ ගණන්වල ඔවුන් මුලින්ම දැනහඳුනා ගනිද්දී මෙසීගේ වයස අවුරුදු 5 ක් පමණ වූ බවයි පැවසෙන්නේ. ඇන්ටොනෙලා මෙසීගේ ළමා වියේ හොඳම මිතුරාගේ ඥාති සොහොයුරියක වූ අතර මෙසී ඇය හඳුනාගෙන තිබුණේ එම පසුබිම තුළ යි. ඇනටොනෙලා දැක ගැනීම සඳහා මෙසී නිතර තම මිතුරාගේ නිවසේ රැඳී සිටින්නට පුරුදු වී සිටි බවත් සඳහන්.
යොවුන් වියට එළැඹෙද්දී ඔහු ඇයට ආදර හසුන් ලියා තිබූ අතර “දවසක අපි දෙදෙනා විවාහ වෙමු” යනුවෙන් යෝජනා කර තිබූ බවත් පැවසෙනවා.

කෙසේ නමුත් 2000 වසරේ මෙසීට ආජන්ටිනාවේ සිට ස්පාඤ්ඤය බලා යාමට සිදු වුණා. එයින් පසු ඔහු සහ ඇනටොනෙලා අතර ඇසුර දුරස් වී තිබුණා. ස්පාඤ්ඤයේ සිට මෙසී පාපන්දු ක්‍රීඩාව තුළ වේගයෙන් ඉදිරියට යමින් සිටිය දී ආජන්ටිනාවේ සිටි ඇනටොනෙලා ඇගේ අධ්‍යාපන කටයුතුවල නිරත වුණා. අවසානයේ ඇය දන්ත වෛද්‍ය විද්‍යා උපාධියක් හිමිකර ගත්තා.

මේ දෙදෙනා අතර ඇසුර නැවත වඩාත් තදින් තහවුරු කිරීමට හේතු වූ සිද්ධියක් 2005 වසරේ සිදු වුණා. එනම් ඇනටොනෙලා ගේ හොඳම මිතුරිය මාරක රිය අනතුරකින් මිය යාම යි. එම අවස්ථාවේ ඇනටොනෙලා දැඩි මානසික කඩා වැටීමකට ලක් වූ අතර ඇයට ශක්තියක් වීම සඳහා මෙසී ඔහුගේ සියලු කටයුතු නතර කර ස්පාඤ්ඤයේ සිට ආජන්ටිනාවට පැමිණ තිබුණා. මෙම සිද්ධියත් සමග ඔවුන් අතර ඉතා සමීප ඇසුරක් ඇති වුණා. ඔවුන් ස්ථිර පෙම්වතුන් බවටත්, පසුව අඹුසැමියන් බවටත් පත් වීමට අඩිතාලම වැටුණේ ඒ ආකාරයෙනු යි.

2017 ජුනි 30 වැනි දින සිදු වූ ඔවුන්ගේ විවාහයට පාපන්දු ලෝකයේ දැවැන්තයින් රැසක් ද සහභාගි වූ අතර එය බොහෝ දෙනා හැඳින්වූයේ “ආජන්ටිනාවේ සියවසේ විවාහ උත්සවය” හැටියට යි.

අද ඇනටොනෙලා මෙසී ගේ අති සාර්ථක පාපන්දු දිවියට විශාල සහයක් ලබා දෙමින් ඔහුට යෝධ ශක්තියක් වෙමින් සිටිනවා. පසුගිය දා ඔවුන් සිය 9 වැනි විවාහ සංවත්සරය සැමරුවා. තියාගෝ, මැතිඕ සහ සීරෝ යනුවෙන් දැන් ඔවුන්ට දරුවන් තිදෙනෙකු සිටින අතර ඔවුන් තිදෙනාම පුතුන්. ඔවුන් තවම කුඩා වියේ පසුවුවත් සිය පියාගේ අඩි පාරේ යමින් පාපන්දු ක්‍රීඩාවට ලොකු උනන්දුවක් දක්වන බව සඳහන්.

වයස අවුරුදු 11 දී පමණ මෙසී ලොකු සෞඛ්‍ය ප්‍රශ්නයකටත් මුහුණ දුන්නා. එම රෝගී තත්වය හැඳින්වෙන්නේ වර්ධක හෝමෝන ඌණතාව (Growth Hormone Deficiency ) යනුවෙන්. මෙය කෙනෙකුගේ ශාරීරික වර්ධනය හීන කරන තත්වයක්. එය ඇති වන්නේ පිටියුටරි ග්‍රන්ථියේ ගැටලුවක් නිසා යි.

මෙසීගේ වර්ධනයේ යම් ගැටලුවක් තිබෙන බව මුලින්ම වටහාගෙන තිබුණේ ඔහුගේ මව්පියන්. ඔහු එම වයසේ සෙසු දරුවන්ට වඩා ශරීර ප්‍රමාණයෙන් කුඩා බවක් ඔවුන්ට පෙනී ගොස් තිබුණා.

ඒ ගැන වෛද්‍යවරුන්ට පැවසූ පසු තමයි ඔවුන් ඉහත කී හෝමෝන ඌණතාව හඳුනාගෙන තිබුණේ.

මෙසී සිය බිරිඳ සහ දරුවන් සමග
මෙසී සිය බිරිඳ සහ දරුවන් සමග

එයින් පසු වෛද්‍යවරුන් නිර්දේශ කර තිබුණේ හෝමෝන පිටතින් එන්නත් කිරීමට යි. ඒ කාලයේ මෙසීට දිනපතා මේ ආකාරයෙන් වර්ධක හෝමෝන එන්නත් කිරීමට සිදු වී තිබුණා. ඒ ඔහුගේ කකුල්වලට යි. මෙම ප්‍රතිකාරය නොකළා නම් මෙසී අඩි 4 අඟල් 7 කට වඩා උස නොයනු ඇති බවයි වෛද්‍යවරුන් පවසා තිබුණේ. (මේ වනවිට මෙසීගේ උස අඩි 5 අඟල් 7 ක්).

කෙසේ හෝ වේවා, මෙම ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැය කිරීමට මෙසීගේ මව්පියන්ට සිදු වුණා. ඔහුගේ මව්පියන් එතරම් පොහොසත් උදවිය නොවූ නිසා එතරම් වියදමක් දැරීම බෙහෙවින් අපහසු වූ බව සඳහන්. ඒ වනවිට මෙසී ක්‍රීඩා කරමින් සිටි ආර්ජන්ටිනාවේ Newell’s Old Boys නැමැති පාපන්දු සමාජයටත් ඒ සඳහා දායකත්වයක් ලබා දීමට හැකියාවක් තිබී නැහැ. මේ තත්වය තුළ ආජන්ටිනාවේ වෙනත් පාපන්දු සමාජයක් සොයා ගැනීමට මෙසීගේ මව්පියන් උත්සාහ කර තිබුණත් එයත් අසාර්ථක වුණා.

කෙසේ නමුත් මෙසී ගේ අසාමාන්‍ය ක්‍රීඩා කෞෂල්‍යය හඳුනාගත් ස්පාඤ්ඤයේ FC Barcelona පාපන්දු සමාජය ඔහු ඊට බඳවා ගැනීමටත්, ඔහුගේ ප්‍රතිකාර සඳහා වියදම් දැරීමටත් එකඟ වී තිබුණා.

FC Barcelona පාපන්දු සමාජය මුලින්ම මේ සඳහා ගිවිසුම අත්සන් කර තිබුණේ බාසිලෝනා නුවර පිහිටි පොම්පේයියා ටෙනිස් සංගම් ගොඩනැගිල්ලේ අවන්හලේ දී කඩදාසි නැප්කින් එකක වීම එකල බෙහෙවින් ප්‍රසිද්ධ වූ අසාමාන්‍ය සිද්ධියක් වුණා.

ඒ ආකාරයෙන් නැප්කින් එකක මූලික ගිවිසුම අත්සන් කිරීමට සිදු වී තිබුණේ මෙසීගේ පියා ජෝර්ජ් මෙසී කළ යම් තර්ජනයක් නිසා යි. FC Barcelona පාපන්දු සමාජයේ සමහර නිලධාරීනුත් මුලින් මෙසී බඳවා ගැනීමට තරමක් අදිමදි කර තිබුණා. මෙසී එම පාපන්දු සමාජයට එක් කර ගැනීමට වඩාත්ම වුවමනා වී තිබී ඇත්තේ එහි ක්‍රීඩා අධ්‍යක්ෂ වූ කාලේස් රෙෂාක්ට යි.

මෙසී මව්පියන් සමග
මෙසී මව්පියන් සමග

නමුත් සෙසු නිලධාරීන් අදිමදි කරද්දී මෙසී ගේ පියා යම් තර්ජනයක් කරමින් තමා මෙසී නැවත ආජන්ටිනාවට රැගෙන යන බව පවසා තිබුණා. ඒ ඉහත කී ටෙනිස් ක්‍රීඩා සමාජයේ අවන්හලේ දී රෙෂාක් සහ තව කිහිප දෙනෙකු හමු වූ අවස්ථාවක යි.

මෙයින් කළබලයට පත් වූ රෙෂාක් අවන්හලේ වේටර් කෙනෙකුගෙන් කඩදාසියක් ඉල්ලා තිබූ අතර ඔහු ලබා දී තිබුණේ නැප්කින් එකක්. රෙෂාක් එම අවස්ථාවේම ඔහුගේ තනි කැමැත්ත මත මේ නැප්කින් එකේ ගිවිසුමක් ලියා එය අත්සන් කර තිබුණා.

කෙසේ නමුත් පසුව වඩාත් නිල ගිවිසුමක් අත්සන් කිරීමට FC Barcelona ක්‍රීඩා සමාජය පියවර ගත්තා. මෙය සිදු වූයේ 2000 වසරේ යි.

වසර 24 ක්ම මෙම ගිවිසුම අත්සන් කළ නැප්කිනය තිබුණේ එය අත්සන් කළ අවස්ථාවේ එහි සිටි හොරාසියෝ ගැගියොලි නැමැති ක්‍රීඩා නියෝජිතයා ළඟ යි. එය මහජන ප්‍රදර්ශණය සඳහා තැබීමට බාසිලෝනා ක්‍රීඩා සමාජයට අවශ්‍ය වුවත් ගැගියෝලි ඊට එකඟ වී තිබුණේ නැහැ.

කෙසේ හෝ වේවා 2024 වසරේ මෙම ගිවිසුම රැගත් නැප්කිනය වෙන්දේසියේ විකුණා තිබුණා. මෙවැනි භාණ්ඩ එකතු කරන්නකු එය ස්ටර්ලිං පවුම් 762,400 කට මිල දී ගත් අතර එය එකල ලංකා රුපියල් කෝටි 28 කට ආසන්න මිලක්.

ලෝක පූජිත සුපිරි පාපන්දු ක්‍රීඩකයකු වීම දක්වා මෙසී පැමිණි ගමනේ ආරම්භය සිදුව තිබුණේ මෙවැනි අපූරු, අභියෝගාත්මක සිදුවීම් ද මධ්‍යයේ යි.

නිහාල් පීරිස්

රසගඟුල