අද රාත්‍රියේ ප්‍රබල අකුණු සහ තද වැසි

අද (19) සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මධ්‍යම, සබරගමුව, දකුණ, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් වෙයි.

මේ අතර, බස්නාහිර, නැගෙනහිර, උතුර, උතුරු මැද, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වලත් මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කාලීන පුවත්