අපේ රටේ මීළඟ ජනපති හරියටම නම් කරන්න ජ්‍යොතිෂයට පුළුවන් ද?

වර්තමානයේ රට තුළ පවත්නා ආර්ථික අස්ථාවර භාවය සඳහා වන එකම විසඳුම ජන වරමකින් බලයට පත් වන ප්‍රබල රාජ්‍ය නායකයකුගේ සම්ප්‍රාප්තිය බව අද වන විට බොහෝ දෙනකුගේ පිළිගැනීම වී තිබේ.ඒ අනුව අප රටේ මීළඟ ජනපති වරයා කවුරුන් ද? යන්න දැන ගැනීම පිණිස වන ස්වභාවික උනන්දුවකින් අප රටේ බොහෝ දෙනෙක් පෙළෙමින් හිඳිති.මෙම ජනතා අභිලාෂය මුල් කොට ගත් අනාගතයේ රට භාර ගන්නා “දියසෙන් කුමරුවන්”ගේ පහළ වීම් වැනි බහු රූ කෝලම් පවා මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ වනුයේ ඒ අනුව ය.මීට පෙර ද මෙවැනි ආටක-නාටක අප සමාජය තුළ දක්නට නොලැබුණා නොවේ. එහෙත්, ඒවා අද මෙන් සමාජ කරලියට පැමිණියේ නැත.නමුදු අද වන විට එවැනි ආටක නාටක බහු රූ කෝලම් සමාජ ගත වනුයේ ඒවාට ඇති සමාජමය ඉල්ලුම ද පෙරදැරි කර ගනිමිනි.මේ අතර අප රටේ මීළඟ රාජ්‍ය නායකයා හෙවත් ජනාධිපති වරයා කවුරුන් විය හැකිද? යන්න සම්බන්ධයෙන් පළ වන ජ්‍යොතීර්වේදී අනාවැකි සම්බන්ධයෙන් ද සුවිසල් ජනතා ඉල්ලුමක් පවතී. තවමත් අප සමාජයේ බොහෝ දෙනකුට මතක ඇති අන්දමට 2015 ජනපතිවරණ සමය මෙවැනි ජ්‍යොතිෂයේ මුවාවෙන් සිදු වූ එවැනි ආටක නාටක බහු රූ කෝලම් වඩාත් ඉස්මතු වී පෙනුණු වකවානුවක් විය. එහිදී ඒ වන විට ජනකාන්ත ජ්‍යොතීර්වේදී “තරු” වශයෙන් ජ්‍යොතිෂය නොදත් සාමාන්‍ය ජන සමාජය දැන හඳුනාගෙන සිටි පුද්ගලයන් කිහිප දෙනකු එම ජනපතිවරණයෙන් එක් අපේක්ෂකයකු බලයට පත් වන බව පවසා සිටියේ එය ඒකාන්ත සත්‍යයක් වශයෙන් හුවා දක්වමිනි.නමුත් එම මැතිවරණ ප්‍රතිඵලයත් සමඟ සමාජය හමුවේ නිර්වස්ත්‍ර වීමට ඔවුනට සිදු විය. එවන් අඳබාලයන් ජ්‍යොතීර්වේදය මුල්කොට සිදු කළ ව්‍යාජ මවාපෑම් නිසා පසුව ඔවුනට යන එන මං නොමැති වූ සේම ජ්‍යොතීර්වේදය පිළිබඳ ජනතා විශ්වාසය ද බරපතළ අයුරින් පළුදු විය.
කිනම් හෝ රටක අනාගත රාජ්‍ය නායකයා කවුරුන්ද?යන්න ඔහු බලයට බලයට පත් වන කාලසීමාව ද සමඟ පැවසීමේ යම් සෛද්ධාන්තික පදනමක් ජ්‍යොතීර්වේදය තුළ තිබේද? යන්න ශාස්ත්‍රීය වශයෙන් විශ්ලේෂණය කළ යුත්තකි. වසර දහස් ගණනක් තිස්සේ හුදු නැකත් ශාස්ත්‍රයක් ලෙස භාවිතාවට ගැනුණු පැරණි ජ්‍යොතීර්වේදය ග්‍රහයන් මුල් කොට අනාවැකි කීමක් බවට පත් වූයේ ක්‍රි.ව පස් වන සියවසේ දී පමණ ය.එම යුගයේ භාරතයේ විසූ වරාහමිහිර වැනි මහා ප්‍රාඥයන් එම සිද්ධාන්ත වල පූර්වාචාරීන් සේ සැලකෙයි.අතීත භාරතයේ ජ්‍යොතිෂය අනාවැකි කීම සඳහා යොදා නොගත්තේ සිහින,පෙර නිමිති,දේහ ලක්ෂණ,ආදිය මඟින් මිනිස් ජීවිතයක උත්පාත අවපාත පිළිබඳ අනාවැකි කීම් බහුලව තිබූ බැවිනි.ඒ අතර ඒ.එල් බෂාම් වැනි ලෝ පතල ඉතිහාසඥයන් පෙන්වා දෙන්නේ වරාහමිහිරට තම “පංච සිද්ධාන්ත” නම් කෘතිය ලිවීමට එවක පර්සියාවේ තිබූ ජ්‍යෝතීර්වේදී කරුණු උපකාර වන්නට ඇති බවකි.විශේශයෙන් එහි පංච සිද්ධාන්ත අතරට එන “පෞලීය සිද්ධාන්තය” පෝල් නම් ග්‍රීක ජ්‍යෝතීර්වේදී පඬුවා ගේ සිද්ධාන්ත මත පදනම් වූවක් බව විස්තර කෙරේ.නමුදු අප දන්නා සහ ප්‍රගුණ කොට ඇති කිසිදු ජ්‍යොතීර්වේද සිද්ධාන්තයක එමඟින් පළ කෙරෙන අනාවැකි “සිදුවිය හැකි” වශයෙන් මිස නියත ලෙසම සිදු වන්නක් ලෙස පැවසිය යුතු බවට කිසිදු උපදෙසක් දී නැත.ජාත්‍යන්තර කීර්තියට පත් දර්ශනය පිළිබඳ මහාචාර්ය ගුණපාල ධර්මසිරි සූරීන් මෙම සෛද්ධාන්තික ජ්‍යෝතීර්වේදය පිළිබඳ ගැඹුරු හැදෑරීම් කළ පඬිවරයෙකි.ඔහු ජ්‍යොතීර්වේදය සම්බන්ධයෙන් දරන දාර්ශනික මතය නම් ජ්‍යොතීර්වේදය යනු මේ ලෝකයේ පවත්නා සකල විධ තත්වයන් විශ්වීය දෘශ්ඨි කෝණයකින් විමසා බැලෙන ගැඹුරු ශාස්ත්‍රයක් බවයි. ඒ අනුව මෙලොව පවත්නා ක්ෂණ භංගුරතාව හෙවත් “ඇති වී නැතිවන” ස්වභාවය ග්‍රහ කිර්යාකාරිත්වය මඟින් සංකේතවත් කොට දක්වන බවකි.ඒ සම්බන්ධ ජ්‍යොතීර්වේද සිද්ධාන්ත අනුව ඉන් පළවන කිසිදු අනාවැකියක් නියතයක් නොවන බවත් එසේ සිතීමම සිද්ධාන්ත විරෝධී බවත් ඔහු පෙන්වා දී තිබේ.නමුත් එදා සේ අදත් අප රටේ මීළඟ ජනපති හෝ අගමැති පදවියට අසවල් තැනැත්තා පත් වන්නේය යනුවෙන් මාධ්‍ය කරළියේ ආටක නාටක බහු රූ කෝලම් පාන ජ්‍යොතීර්වේදී තොරොම්බල්කරුවෝ ඒ සඳහා තමන් පාදක කොට ගත් ජ්‍යොතීර්වේදී සිද්ධාන්ත මොනවා දැයි පැහැදිලි නොකරති. ඊට හේතුව එවැන්නක් පිළිබඳ අනාවැකි පළ කිරීමේ කිසිදු සෛද්ධාන්තික පදනමක් සමස්ත ජ්‍යොතීර්වේදය තුළම නොමැති වීමයි. ඒ වෙනුවට ඔවුන් පවසනුයේ ‘මම මෙතුමාගේ කේන්දරය බැලුවා. ඒක බොහොම බලවත්’යන ගැලවිජ්ජා වදනක් පමණි. ඒ අනුව එක් පුද්ගලයකුගේ ජන්ම පත්‍රයක් පරීක්ෂ කොට ඔහු රටේ ජනපති බවට පත් කිරීම එක් පුද්ගලයකුට තනිවම දුවන්නට සළස්වා ඔහු සමස්ත ලංකා ධාවන ශූරයා ලෙස නම් කිරීමක් බඳු විහිළුවකි.
යම් යම් පුද්ගලයන්ගේ ජන්ම පත්‍රවල ඇති ‘රාජ යෝග’ සහ ‘මාරක’ පිළිබඳව ද ප්‍රබල මිථ්‍යාවලින් අප සමාජය පිරී පවතී. ‘රාජ යෝග’ සහිත ජන්ම පත්‍ර හිමියන් ඒ කාල සීමාව තුළ දී රජ වන බවක් සහ ‘මාරක’ සහිත ජන්ම පත්‍ර හිමියන් ඒ කාලසීමාව තුළ දී මිය යන බව විශ්වාස කිරීම ඉන් ප්‍රබල මිථ්‍යාවකි.සැබෑ ජ්‍යොතීර්වේදයට අනුව ‘මාරක’ යනු යම් පුද්ගලයකු සතු කිසියම් කරුණකට හෝ කරුණු කිහිපයකට අදාළ ශක්තිය, බලය ශුන්‍ය වීමකට ය. එමෙන්ම රාජ යෝගය යනු තම පෞරුෂය මුල්කොට ඉහළම සමාජීය ස්ථාවරයකට පිවිසීම මිස රටේ ජනාධිපතිවරණයකින් ජය ගෙන රාජ්‍ය පාලකයා බවට පත් වීම නොවේ.අපගේ අත්දැකීම් අනුව සෑම පවුල් හත රටකටම රාජ යෝග පිහිටි කේන්දර සහිත පුද්ගලයෙක් හෝ දෙදෙනෙක් සිටිති. එහෙත්, රටේ ජනපති සහ අගමැති වන බැවින් දේශපාලනයට පිවිසෙන මෙන් ඔවුනට ජ්‍යොතිෂ උපදෙස් දීමට තරම් අඥානකමක් අප සතු නැත. ඒ අනුව අප ඔවුනට දෙන උපදෙස නම් තමන් තුළ පවතින කුසල ශක්තීන් සේම සමාජ කුසලතා එක්වර දියුණු කර ගැනීමෙන් තමන් ජීවත් වන පවුල් පරිසරය, ප්‍රජාව හෝ සමාජය තුළින් යම් තරමකට කැපී පෙනිය හැකි බවක් පමණි.
අපගේ පෞද්ගලික විශ්වාසය අනුව ජ්‍යොතිෂය පිළිබඳ නිසි හැදෑරීමක් නොකර‘තැපැල් මාර්ගික පිහිනුම් පාඨමාලා’ ආකාරයෙන් ජ්‍යොතීර්වේදය හදාළ මොවුන් මෙවැනි ආටක නාටක බහු රූ කෝලම් පෑමෙන් ජ්‍යොතිෂය පිළිබඳ හයක් හතරක් නොදත් අසරණ ජනතාවගේ ඉහ මොළ සූරා කන අතරේ ජ්‍යොතීර්වේදියකු වශයෙන් තමන්ගේ නම ප්‍රසිද්ධ කර ගැනීමට අදහස් කරනවා විය හැක. නමුදු ඔවුන් එසේ කරනුයේ සමස්ත ජ්‍යොතීර්වේදයම වළ පල්ලට ඇද දැමීමෙන් බව ඒකාන්ත ලෙසම කිව යුතුය.                                                                                                                                                      හේම ශ්‍රී අමරසිංහ

 

 

එතෙර - මෙතෙර