ඇමරිකාවේ ජනාධිපති බයිඩ්න්ට නින්ද ගැන ප්‍රශ්නයක්

 

ඇමරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න් පසුගිය දිනෙක මාධ්‍යවේදීන් හමු වූ අවස්ථාවක එම මාධ්‍යවේදීන්ට ඔහුගේ මුහුණේ වෙනසක් දකින්නට ලැබිණි. ඔවුන් දුටුවේ ජනාධිපතිවරයාගේ කම්මුල් ආසන්නයේ යම් ලකුණු වාගයක් සටහන්ව ඇති ආකාරයකි. මේ ගැන ඔවුන් තුළ යම් කුතුහලයක් ඇති වූ නිසා මේ මාධ්‍යවේදූහු ඒ ගැන ධවල මන්දිරයේ නිලධාරීන්ගෙන් විමසීමක් කළහ. මාධවේදීන්ගේ විමසීමට ප්‍රතිචාර දක්වමින් යම් නිවේදනයක් නිකුත් කිරීමට ධවල මන්දිර ප්‍රකාශකයකු වන ඇන්ඩෲ බේට්ස් පියවර ගත්තේය.

ඔහු විස්තර කර තිබූ ආකාරයට බයිඩ්න්ගේ මුහුණේ දිස් වූ ලකුණු ඔහු පළඳින මුහුණු වැස්මක (Mask එකක) පටි නිසා ඇති වූවකි. එම මුහුණු වැස්ම අප සාමාන්‍යයෙන් ආසාදනවලින් වැලකීම සඳහා පළඳින මුහුණු ආවරණයක් වැනි එකක් නොවේ. එය වෙනත් අවශ්‍යතාවක් සඳහා පළඳින්නකි.

ධවල මන්දිර ප්‍රකාශකයාගේ නිවේදනයේ දැක්වෙන්නේ බයිඩ්න් මේ වනවිට නින්ද හා සම්බන්ධ ගැටලුවකින් පීඩා විඳින බවයි. මෙම තත්ත්වය ඉංග්‍රිසි බසින් හඳුන්වන්නේ Sleep Apnoea යන නමිනි. එහිදී සිදුවන්නේ නින්දේ සිටින අතර වරින් වර හුස්ම නතර වීමයි. මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා බයිඩ්න්ට එක්තරා මෙවලමක උපකාරය ලබන්නට සිදුව තිබේ. CPAP (continuous positive airway pressure) නමින් හැඳින්වෙන මෙම මෙවලමෙන් කෙරෙන්නේ ඉහත සඳහන් කළ මුහුණු වැස්ම තුළට වාතය පොම්ප කිරීමයි. මේ තුළින් ශ්වසන මාර්ගය විවෘත වී හුස්ම ගැනීම නැවත යථා තත්ත්වයට පත් වේ.

ජනාධිපති බයිඩ්න් දැන් සති කිහිපයක සිටම මෙම යන්ත්‍රය භාවිත කරන බව ද ධවල මන්දිර නිලධාරීන් ප්‍රකාශ කර තිබිණි. නමුත් මෙය අද ඊයේ ඇති වූ ගැටලුවක් නොවන බව ද පෙනේ. “ජනාධිපතිවරයා 2008 වසරේ සිටම මෙම තත්ත්වය ගැන ඔහුගේ වෛද්‍ය වාර්තා හරහා අනාවරණය කර තිබෙනවා’ ඇන්ඩෲ බේට්ස් සඳහන් කර තිබේ.

නින්දේ දී වරින් වර හුස්ම නතර වීම, හුස්ම ගැනීම සඳහා ආයාසයක් දරන්නට සිදු වීම, හඬ නගා ගෙරවීම, දැඩි තෙහෙට්ටුව වැනි ලක්‍ෂණ මෙම ගැටලුවෙන් පීඩා විඳින්නන් තුළ දැකිය හැකි බව පැවසේ. මෙය එතරම් දුර්ළභ සෞඛ්‍ය ප්‍රශ්නයක් ද නොවේ. වාර්තා වන ආකාරයට ඇමරිකාවේ මිලියන 30 ක පමණ ජනතාවක් මෙම තත්ත්වයෙන් පීඩා විඳිති. ලොව පුරා බිලියනයක පමණ පිරිසක් මෙයට ගොදුරු වී සිටින බව ද සඳහන් ය. මෙම ගැටලුව නිසා මතක ශක්තිය සහ අවධානය යොමු කිරීමේ හැකියාව දුර්වල වීමක් ද සිදුවිය හැකිය.

ජනාධිපති බයිඩ්න්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ ඔහුගේ වයස ගැන මේ කාලයේ විශාල අවධානයක් යොමු වේ. මේ වනවිට ඔහුගේ වයස අවුරුදු 80 කි. ඇමරිකාවේ ජනාධිපති ධුරයට පත් වූ වියපත්ම පුද්ගලයා ලෙස ද ඔහු වාර්තාවක් පිහිටුවා තිබේ. 2020 වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් ජයගන්නා විට බයිඩ්න්ගේ වයස අවුරුදු 78 ක් විය. ඔහුගේ වයස සහ සෞඛ්‍ය තත්තවය ගැන මේ කාලයේ වැඩි අවධානයක් යොමු වන්නේ ලබන වසරේ පැවැත්වීමට නියමිත මීළඟ ජනාධිපතිවරණයට ද ඔහු තරග කිරීමට බලාපොරොත්තු වන නිසා ය. ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් පක්‍ෂයෙන් නාම යෝජනා දිනා ගැනීමේ තරගයට තමා ඉදිරිපත් වන බව පසුගිය අප්‍රේල් මාසයේ ඔහු නිල වශයෙන් නිවේදනය කළේය.

යම් හෙයකින් ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වී එයින් ජය ලැබුවහොත් 2025 වසරේ ඔහුගේ දෙවැනි ධුර කාලයේ කටයුතු ආරම්භ කරන විට බයිඩ්න්ගේ වයස අවුරුදු 82 ක් වනු ඇත. එම ධුර කාලය අවසන් වනවිට අවුරුදු 86 ක් වනු ඇත. මෙම වයසේ කෙනෙකු ඇමරිකාවේ ජනාධිපති ධුරය දැරීමට සුදුසු ද යන්න මෙකල බොහෝ පාර්ශ්ව මතු කරන ප්‍රශ්නයක් වී තිබේ. බයිඩ්න් අයත් වන ඩිමොක්‍රටික් පක්‍ෂයේම ඇතැමුන් පවා මෙම ප්‍රශ්නය මතු කරන බව සඳහන් වේ.

මෙයට ටික දිනකට පෙර ඔහු හමුදා ඇකඩමියක ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයක් අතර වේදිකාව මත ඇද වැටීමේ සිද්ධියක් ද විශාල අවධානයක් දිනා ගත්තේය. ඔහු මේ ආකාරයෙන් ඇද වැටුණේ වේදිකාව මත තබා තිබූ කුඩා වැලි ගෝනියක පැටලීමෙනි. ඊට ටික කලකට පෙර ඔහු තම පෞද්ගලික නිවස පිහිටි ඩෙලවෙයාර්හි ව්‍යායාම පිණිස බයිසිකල් පදිමින් සිටියදී ද ඇද වැටීමක් සිදුවිය. මෙම සිද්ධිය සිදු වූයේ ජනාධිපතිවරයා මාර්ගය අයිනේ සිටි පිරිසක් සමග කතා කිරීම සඳහා බයිසිකලය නතර කිරීමට යාමේදී ය. එම අවස්ථාවේ ඔහුගේ පාදයක් බයිසකලයේ පැඩල ආවරණයේ සිරවීම මෙම ඇද වැටීමට හේතුව බව කියැවිණි.

මේ අතර මාස කිහිපයකට පෙර බයිඩ්න් සැත්කමකට ද මුහුණ දුන්නේය. ඒ ඔහුගේ සමෙහි වූ පිළිකාමය සෛල අඩංගු කොටස් වාගයක් ඉවත් කිරීම සඳහා ය. මෙම තත්ත්වය සම්බන්ධයෙන් ද වෛද්‍යවරුන් නිතර අවධානයෙන් පසුවන බව සඳහන් වේ.

ඔහුගේ වයස සහ සෞඛ්‍ය තත්ත්වය පිලිබඳව ඉහත කී ආකාරයෙන් ඇතැමුන් ප්‍රශ්න මතු කළත් ලබන ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්‍ෂයේ අපේක්‍ෂකයා ලෙස නාමයෝජනා දිනා ගන්නට වැඩි ඉඩක් ඇත්තේ බයිඩ්න් ය.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර