බුදුන් ගේ අණ නොතකා භික්ෂූන් ගාථා පිරිත් සින්දු කරන විටත් සාධු කියමුද? – කදුරුපොකුණේ සුමංගල හිමි

 

මේ දිනවල රට පුරා විහාස්ථාන වලින් ශබ්ද වාහිනී මගින් විසුරුවා හැරෙන ආගමික පුද පූජා  සම්බන්ධ එක්තරා විශේෂත්වයක් අනාවරණය වෙමින් තිබේ. එනම් ඇතැම් භික්ෂුන් විසින් පාලි  ගාථා පාඨ, පිරිත් ආදිය ගීත ස්වරයෙන් ගායනා කිරීම ය. එමෙන්ම ඉන් මතු වන ශබ්ද මාධූර්යය කෙරෙහි යමකු ප්‍රිය මනාප වීමට ද බැරි කමක් නැත. ජනතා සම්බන්ධතාවක් ගොඩ නංවා ගත යුතු සෙසු සෑම දෙයක් සම්බන්ධයෙන් සේම එලෙස ප්‍රචාරාත්මක කටයුතු සිදු නොකරන ආගමික විශ්වාස ද ජන මනැස් වලින් බැහැරවීමේ පොදු සම්භාවිතාවක් තිබේ. මෙය සියලු ආගම්වලට එක සේ පොදු තත්වයකි.

නමුත් වර්තමානයේ මේ සඳහා වන ඉතා පහසු උපාය මාර්ගයක් ලෙස අප රටේ පොදු භාවිතාවක් වනුයේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයයි. මේ වන විටත් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය  සම්බන්ධයෙන් නීති පද්ධතිය මුළුමනින් ම සිඳ බිඳ දමමින් ජනතාව ශබ්ද දූෂණයෙන් බරපතල පීඩා අත්පත් කර දෙමින් ශබ්ද විකාශන සම්බන්ධ සුවිසල් අවභාවිතාවන් සිදුවෙයි.ඒ අතුරින් බරපතලම තත්වයක් උද්ගතව ඇත්තේ අප රටේ ඇතැම් බෞද්ධ වෙහෙර විහාර මගින් බව අප අවිවාදයෙන් පිළිගත යුතු ය.

එහෙත්, මෙය අපගේ දේශීය බෞද්ධ සංස්කෘතික රටාවට කෙතරම් අනුරූප ද යනුවෙන් කෙරෙන විමසා බැලීමක දී ඉතා පැහැදිලි ලෙසම පෙනී යන සත්‍යයක් තිබේ. එනම් මෙම ක්‍රියාවලිය මඟින් බෞද්ධ වෙහෙර විහාරස්ථානවල නිරතුරුවම පැවැති සිත් පහන් කරවන ශාන්ත නිහැඬියාවට බරපතල බාධා එල්ල වන බවකි.

ඉහත සඳහන් කළ අන්දමට සමාජය තුළ බුදු සමය ස්ථාපිත කරමින් එය පවත්වාගෙන යන භික්ෂු ප්‍රජාව ඇතුළු සමස්ත සංස්ථා ව්‍යුහයේ යන පැවැත්ම උදෙසා ඒවායේ සිදු කෙරෙන ආගමික කටයුතු ද කලානුරූප ලෙස වෙනස් වීම් ශාසන ඉතිහාසය පුරාම දක්නට ලැබෙන්නකි.
විශේෂයෙන් මහනුවර රාජධනී මුල් යුගයේ දී අප රටින් භික්ෂු උපසම්පදාව ගිලිහී යාමෙන් පසු ශාසන භාරකාරත්වයට පත් ගණින්නාන්සේලා නමින් හැඳින්වුණු අර්ධ ගිහි පූජක ප්‍රජාව බුදු සමය ව්‍යාප්ත කිරීම පිණිස නොයෙකුත් ප්‍රයෝග යෙදූ බව පෙනේ. ඒ හුදෙක් ඔවුන් ගේත් ඔවුන්ගේ අඹු දරුවන් ගේත් ජීවිත යහපැවැත්ම උදෙසා ය. වෙස්සන්තර ජාතකය ඇතුළු ජාතක කතා අතුරින් ජනතාවගේ සිත් සතන් සසල කරවන කොටසක් කවියට නංවා කීම මහනුවර යුගයේ පැවැති ජනප්‍රිය සංස්කෘතිකාංගයක් විය.විශේෂයෙන් ඔවුන් කරුණ රසයෙන් සපිරි වෙස්සන්තර ජාතකයේ කවි භාවාතිශය ලෙස හඬ නඟා ගයන විට එය අසන ඕනෑම කෙනකුගේ නෙත් වලට කඳුළු නැංවුණු බව කියනු ලැබේ.

ඇතැම් විට ගණින්නාන්සේලා දෙදෙනකු එක්ව කළ එක්තරා නාට්‍යමය විලාශයක් ගත් යුගාසන කවි බණ ද මේ කාලයේ අතිශය ජනප්‍රිය වූ අතර පසුව කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන් ගේ මූලිකත්වයෙන් සියම් දේශයෙන් ගෙනා භික්ෂු උපසම්පදාව මෙහි ප්‍රතිෂ්ඨාපනය කිරීමෙන් පසුව උපසම්පදා භික්ෂූන් විසින් ද බුදු සමය හා සම්බන්ධ එම ජනප්‍රිය සංස්කෘතිකාංග එලෙසම පවත්වාගෙන ගිය බව ඉතා පැහැදිලි ය.ඒ අතුරින් ආලවක දමනය වැනි ධර්ම දේශනාවලදී ආලවක යක්ෂයා නියෝජනය කරමින් දම් සභා මණ්ඩපය අද්දරට ගැමි රංගන ශිල්පියකු කඩා වැදීමත් සමඟ බුදුන් වහන්සේ නියෝජනය කළ ධර්ම දේශක භික්ෂුව සහ ආලවක යකාගේ භුමිකාව නිරූපණය කරන රංගන ශිල්පියා අතර නාට්‍යානුසාරයෙන් ගලා යන සංවාදයේ රස විඳීමට එකල ගැමියෝ වැඩි වැඩියෙන් විහාරස්ථාන කරා ඇදී ආහ.

ඒ අද මෙන් නවීන විද්්‍යුත් සන්නිවේදන සහ විනෝද මාධ්‍ය නොතිබූ පසුබිමක වීරත්වය හා දුෂ්ඨත්වය අතර ගැටුමත් ඉන් වීරත්වය ජය ගන්නා අන්දමත් ආශ්වාදනය කිරීමට එවක ජනතාවට එමඟින් හැකි විය. නමුත් අද වන විට විවිධාංගීකරණය නවතම සමාජ විලාසිතාවක් හා පන්නයක් සේම ප්‍රබලතම අලෙවි උපාය මාර්ගයක් වී ඇති පසුබිමක බොහෝ භික්ෂූන් වහන්සේලා ද තම අනන්‍යතාව හුවා දක්වා එමගින් ජනප්‍රියත්වයට පත්ව ලාබ ලෝබ කම් තරකර ගනු පිණිස දෝ ගාථා පිරිත් ආදිය පවා ගීතවත් ස්වරයෙන් ගායනා කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. නමුදු ඔව්හු මෙහි පවත්නා ධර්ම විනය විරෝධී බව පිළිබඳ කිසිදු තැකීමක් නොකරති. ගිහි සමාජය ද මෙවන් නව විලාසිතාවන් කෙරෙහි ආශක්ත වන බවක් පෙනේ. නමුදු ගාථා පිරිත් වශයෙන් බුදු දහම ගීත ස්වරයෙන් පැවසීමේ විනයානුකූල තහනමක් බුදුන් වහන්සේ විසින්ම භික්ෂුන්ට පනවා තිබේ.

එහෙත් ධර්ම විනය පිළිබඳ විධිමත් හැදෑරීමක් කොට නොමැති හා උපාධ්‍යායන් වහන්සේලාගෙන් නිසි ශික්ෂණයක් නොලබා ශාසනික වශයෙන් අත්තනෝමතික හුදකලා දිවියක් ගෙවන තරුණ භික්ෂුන් තුළ ඒ සම්බන්ධ ප්‍රමාණවත් දැනුම් අවබෝධයන් නොමැත.එනිසාම ඔව්හු තමන් ධර්ම ශාස්ත්‍රීය විෂයන් වෙනුවට තමන් නිතර ඇසුරු කරන කලා හා විනෝද මාධ්‍යයයන් ගෙන් උකහා ගත් දේ ‘ධර්මාසනය’ වෙත ගෙන ඒමේ ශාසනික අපරාධය සිදු කරති.ඒ ඔවුන් බොහොමයක් තුළ ධර්ම විනය වශයෙන් පවත්නා මන්ද පෝෂිත තත්වය නිසාම ය.ඇත්ත ඇති සැටියෙන් කිවහොත් මොවුන් ගෙන් සැලකිය යුතු පිරිසක් තුළ ගිහි සමාජ තුළ පවත්නා ධර්ම ශාස්ත්‍රීය දැනුම වත් නැත.

බෞද්ධ විනය පිටකයට අනුව ධර්මය කාලානුරූපව ගායනා කිරීමේ ආදීනව කීපයක් භික්ෂූන් හට පෙන්වා දුන් බුදුන් වහන්සේ එය දුක්කටාපත්ති නම් විනයානුකූල වරදක් බව අවධාරණය කොට තිබේ. (භික්ඛවේ ආයතනෙන ගීතස්සරෙන ධම්මො ගායිතබ්බො යො ගාය්‍යයෙ ආපත්ති දුක්කටස්ස) ඒ තමා එහි ඇලීම, අනුන් ද එහි ඇලවීම, භික්ෂූන් ගී ගයතැයි ගිහියන් පහත් කොට සිනාසීම. ස්වර නිර්මාණය විෂයෙහි සිත යොමු වන භික්ෂුවගේ සමාධිය බිඳ වැටීම. පශ්චිම ජනතාව අගතියට පත්වීම යන කරුණු නිසා බව බෞද්ධ විනය ග්‍රන්ථ වල සඳහන් ය. භික්ෂූන් සම්බන්ධයෙන් කරන ලද එම පැනවීම අනුව බුදු දහම සෞන්දර්ය විරෝධී ශාස්තෘ දේශනාවකැයි සමහරෙක් වරදවා සිතති. නමුදු දීඝ නිකායේ සක්කපඤ්හ සූත්‍රයට අනුව නම් දිව්‍යමය වාදන ශිල්පියාගේ වීණා වාදනයක් මුල් කොට බුදුන් වහන්සේ විචාරයක් පවා ඉදිරිපත් කොට තිබේ.

සංසන්දති ඛෝ තේ පඤ්චසිඛ තන්තිස්සරෝ ගීතස්සරේන ගීතස්සරෝ ච තන්තිස්සරේන. න ච පන තේ පඤ්චසිඛ තන්තිස්සරෝ ගීතස්සරං අතිවත්තති. ගීතස්සරෝ ච තන්තිස්සරං. “පඤ්චසිඛයෙනි,ඔබගේ වීණාවෙහි තත්සර ගී හඬ හා ගැළපෙන සේම ගී හඬ ද තත්සර හා ගැළපෙයි.”පඤ්චසිඛයෙනි, ඔබගේ වීණාවේ තත්සර ගී හඬ ඉක්ම නොයයි. ගී හඬ ද තත්සර ඉක්ම නොයයි”යන්න එහි අදහස ය. ඉන් පැහැදිලි වන්නේ උන් වහන්සේ තුළ කලාව සෞන්දර්ය පිළිබඳ පවා මනා අවබෝධයක් තිබූ බවකි. එහෙත්, ගිහි සමාජයට භාවිතා කිරීමට ඉඩ ලබා දුන් ලෞකිකත්වය පදනම් වූ භාවාත්මක වින්දනයට ඉවහල් වන ගායන වාදන කටයුතු වලින් භික්ෂුන් වෙන් කොට තැබීමට උන් වහන්සේ කටයුතු කරන ලද බව නියත ලෙසම කිව යුතු ය.

පසුගිය කාලයේ එක්තරා තරුණ භික්ෂුවක් මව් ගුණ වශයෙන් පසුබිම් සංගීත ඛණ්ඩයක් ද සමගින් ඉදිරිපත් කළ කාව්‍ය ගායනයක් සමාජය පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත විය.
පොදුවේ මවක පිළිබඳ සාමාන්‍ය කරුණු මිස බුදු දහමින් ඇගැයුමට ලක්වන මාතෘත්වය සම්බන්ධ කිසිදු කරුණක් ගැබ්ව නොතිබූ ඒ ගායනය ද බුදු දහම නිසි සේ හදාරා නොමැති ගිහි සමාජය හඳුනා ගෙන තිබුණේ බුදු බණක් වශයෙනි.
සංගීතය යනු භාවයන් සන්තර්පනය කරවන මාධ්‍යයකි. නමුදු බුදු දහම නියත වශයෙන්ම ප්‍රඥා මාර්ගයකි. භාවයන් සහ ප්‍රඥාව එකම තුලාවක නැටි දෙකක් මෙනි.
භාවයන් නමැති තැටියේ බර වැඩි වන විට එය පහළට ඒමට සාපේක්ෂව ප්‍රඥාව නමැති තැටියේ බර අඩු වී එය ඉහළට පැමිණීම සාමාන්‍ය ස්වභාවයකි.

අපගේ දේශීය බෞද්ධ සම්ප්‍රදාය අනුව පිරිත් ගාථා ආදී වශයෙන් වන පාලි පදයන් ශබ්ද කළ යුත්තේ හින්දුස්ථානී සංගීතයට අනුව නම් මධ්‍ය ස,රි,ග,ම යන ස්වර සතර ඉක්මවා නොයන ලෙසිනි.එවිට රාග තාල රසයක් මතු නොවේ.ඒ සඳහා නම් ප,ධ,නී සහ උච්ච ස ද එක් විය යුතු මය. පිරිත් දෙසුම් ල ආටානාටිය සූත්‍රයේ ද ස්ථාන කිහිපයක දී හැරුණු කොට ඒ අනුව අසාර්ථක ලෙස ගීත ගායනය “සින්දු කවි කිරීම” සේ ඇතැම් තරුණයන් හඳුන්වන ලෙසින් ගාථා පිරිත් සින්දු කිරීම සම්බන්ධයෙන් ධර්ම විනය නොදත් භික්ෂුන් ගෙන යන මෙම ධර්ම විනය විරෝධී උත්සාහය කෙරෙහි ගිහි සමාජයේ සංතික්ෂණ අවධානය යොමු වීම ද අතිශයින් කාලෝචිත බව අපගේ වැටහීම ය.

කදුරුපොකුණේ සුමංගල හිමි

 

 

පහන් ටැඹ