දුම්රිය සාමාන්‍යාධිකාරී වරයාගේ මරණය මනුෂ්‍ය ඝාතනයක් බවට සැක

දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතාගේ මරණය ස්වාභාවිකව සිදු වූවක් නොව මනුෂ්‍ය ඝාතනයක් බවට සාධාරණ සැකයක් පවතින බැවින් ඒ සම්බන්ධ විශේෂ විමර්ශනයක් පැවැත්විය යුතු යැයි අනුරාධපුර පොලිසියේ උප පොලිස් පරීක්ෂක එස්. නන්දසේන මහතා ඊයේ(23) අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය පසුගිය 22 දා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා නවාතැන් ගෙන සිටි අනුරාධපුර දුම්රිය සංචාරක නිවාස කාමරයේ තැන තැන, ලේ පැල්ලම් දක්නට තිබූ බව ද අධිකරණයට දැනුම් දුන් උප පොලිස් පරීක්ෂකවරයා මළ සිරුර ද තිබුණේ ඔහු නිදා ගෙන සිටි ඇඳ මත නොව අදාල කාමරයේ ටයිල් කැට ඇතුරු පොළොව මත බව ද කියා සිටියේය.එම කරුණු සැලකිල්ලට ගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා මරණයට හේතුව නොපමාව අධිකරණයට දන්වන ලෙස අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කළේය.අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු වරයා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා මිය ගොස් සිටි අනුරාධපුර ධර්මපාල මාවතේ පිහිටි දුම්රිය සංචාරක නිවාසය ආශ්‍රිත ස්ථානීය පරීක්ෂණයකින් පසුව සහ අනුරාධපුර ශික්ෂණ රෝහලට මළ සිරුර පරීක්ෂා කර බැලීමෙන් පසුව මෙම සිද්ධියේ මරණ පරීක්ෂණයේ සාක්ෂි ලබන මැයි මස 14 වන දින විවෘත අධිකරණය හමුවේ කැඳවීමට පියවර ගන්නා ලෙසට ද අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. ජයවීර මහතාට නියෝග කරනු ලැබීය.

කාලීන පුවත්