
කිසියම් රටක සමාජ, ආර්ථික හෝ දේශපාලනික බිඳ වැටීමට සාපේක්ෂව බොරුව ඉහළ නැංවෙන බව පොදු පිළිගැනීමකි. මේ තත්ත්වය අදට හෝ අප රටට ගැළපීමක් මෙහිදී සිදු කිරීම අපගේ අරමුණ නොවේ. කෙසේ වෙතත්, මිනිසාගේ සමාජ ජීවිතය ආරම්භ වූ දා සිටම විවිධ හේතු සාධක මත සත්‍යය සඟවා ගැනීම, කරුණු වෙනස් කර පැවසීම, තමන්ට වාසිදායක ආකාරයට යම් සිදුවීමක් විස්තර කිරීම වැනි හැසිරීම් මිනිස් සබඳතා තුළ දක්නට ලැබේ. ඇතැම් විට එය දඬුවමකින් බේරීම සඳහාය. තවත් විටෙක තමන්ගේ ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීම සඳහාය. සමහර අවස්ථාවලදී අන් අයකුගේ සිත නොරිදවීම සඳහා පවා මිනිසා සම්පූර්ණ සත්‍යය නොපවසයි.
එහෙත් සෑම බොරුවක්ම එකම ආකාරයේ බොරුවක් නොවේ.
යම් පුද්ගලයකු අවස්ථාවකට අනුව වරින් වර බොරු කීමත්, බොරු කීම ඔහුගේ හෝ ඇයගේ ජීවිතයේ දිගුකාලීන හා පාලනය කිරීමට අපහසු හැසිරීම් රටාවක් බවට පත්වීමත් අතර සැලකිය යුතු වෙනසක් තිබේ. මනෝ වෛද්‍ය විද්‍යාව තුළ ව්‍යාධිමය බොරු කීම (Pathological Lying), ව්‍යාජ මනෝරාජික බොරු කීම (Pseudologia Fantastica) හෝ මනඃකල්පිත කතා (Mythomania) යන පදවලින් විස්තර කර ඇති සංසිද්ධිය මේ දෙවන ආකාරයට අදාළ වේ. එහෙත් එය දැනටත් ඇමරිකානු මනෝ වෛද්‍ය සංගමයේ හෝ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක වන DSM-5-TR හෝ ICD-11 තුළ ස්වාධීන රෝග විනිශ්චයක් ලෙස පිළිගෙන නොමැත.
සාමාන්‍ය බොරුවකදී පුද්ගලයා තමන් පවසන දෙය සත්‍ය නොවන බව දනී. බොහෝ විට එයට යම් අරමුණක් තිබේ. මුදල් ලබා ගැනීම, දඬුවමකින් ගැලවීම, වගකීමක් මඟහැරීම, තමන්ගේ වැරැද්ද වසා ගැනීම හෝ සමාජයේ තමන් පිළිබඳ හොඳ ප්‍රතිරූපයක් ගොඩනඟා ගැනීම එවැනි අරමුණු විය හැකිය.
එහෙත් ව්‍යාධිමය බොරු කීමේදී තත්ත්වය වඩාත් සංකීර්ණය. එවැනි පුද්ගලයකු දිගින් දිගටම, අතිශයෝක්තියෙන් හා විස්තරාත්මකව ප්‍රබන්ධ නිර්මාණය කළ හැකිය. ඒවා ඇතැම් විට සම්පූර්ණයෙන්ම මනඃකල්පිත නොවී, සැබෑ සිදුවීම් කිහිපයක් මත ගොඩනැඟුණු කතා විය හැකිය. පර්යේෂණවලදී එවැනි බොරු කීම ස්වයං වැදගත්කම ඉහළ දැක්වීම, අවධානය ලබා ගැනීම හෝ විශේෂ තත්ත්වයක් තමන්ට ආරෝපණය කර ගැනීම වැනි රටා සමඟ සම්බන්ධ වී ඇති බව පෙන්වා දී තිබේ.
2026දී පළ වූ ක්‍රමානුකූල සමාලෝචනයකදී මනෝරාජික බොරු කීම පිළිබඳ ප්‍රකාශිත සිද්ධි 55ක් ඇතුළත් අධ්‍යයන 34ක් විමර්ශනය කර තිබූ අතර, ස්වයං වැදගත්කම ඉහළ දැක්වීම, අවධානය ලබා ගැනීම සහ රෝගී භූමිකාවක් ලබා ගැනීම වැනි අරමුණු නිතර හඳුනාගෙන තිබිණි. එමෙන්ම ඇමරිකානු මනෝ වෛද්‍ය සංගමයේ Cluster B යටතට අයත් පෞරුෂ ආබාධ, අවපීඩන ආබාධ සහ කම්පන ආශ්‍රිත ආබාධ (Trauma-related disorders) වැනි වෙනත් මානසික තත්ත්ව සමඟ සම්බන්ධතා ද වාර්තා වී ඇත. මෙයින් අදහස් වන්නේ බොරු කීමම එම ආබාධවලට සමාන බව නොව, ව්‍යාධිමය බොරු කීම වෙනත් මානසික තත්ත්ව සමඟ එකට පෙනී සිටිය හැකි බවයි. නමුත් එය DSM-5-TR හෝ ICD-11 හි නිල රෝග විනිශ්චයක් නොවේ.

ඒ වෙනුවට මන්දක්ෂිප්තතාව (Hypomania) යනු ද්විඅග්‍ර රෝගය (Bipolar Disorder) ඇතුළු භාවමය ආබාධ (Mood Disorders) සම්බන්ධයෙන් භාවිත වන සායනික අර්ථ දැක්වීමකි. ඇමරිකානු මනෝ වෛද්‍ය සංගමයේ DSM නිර්ණායක අනුව, මන්දක්ෂිප්තතා ඉස්මතු වීමක් (Hypomanic Episode) යනු පුද්ගලයාගේ සාමාන්‍ය තත්ත්වයට වඩා පැහැදිලිව වෙනස් වූ, ඉහළ වූ, පුළුල් වූ හෝ කෝපකාරී මනෝභාවයක් අවම වශයෙන් දින හතරක් පවතින තත්ත්වයකි. එයට අධික ආත්ම විශ්වාසය, නිදාගැනීමේ අවශ්‍යතාව අඩුවීම, සාමාන්‍යයට වඩා වැඩිපුර කතා කිරීම, සිතුවිලි වේගයෙන් ගලා යාම, අවධානය පහසුවෙන් වෙනතකට යාම, ඉලක්කගත ක්‍රියාකාරකම් වැඩිවීම සහ අවදානම් සහිත ප්‍රියජනක ක්‍රියාකාරකම්වල අධික ලෙස නිරත වීම වැනි ලක්ෂණ ඇතුළත් විය හැකිය.
ඒ නිසා සාමාන්‍යයෙන් බොරු කියන පුද්ගලයාට “මන්දක්ෂිප්තතා පෞරුෂයක්” (Hypomanic Personality) ඇතැයි යන සරල නිගමනයකට පැමිණීම නිවැරදි නොවේ.
මන්දක්ෂිප්තතාව සමඟ අධික කතාබහ, වේගවත් සිතුවිලි, අධික ආත්ම විශ්වාසය සහ තම හැකියාවන් පිළිබඳ අතිශයෝක්තිය වැනි හැසිරීම් ඇතිවිය හැකිය. එවැනි තත්ත්වයකදී පුද්ගලයකු පවසන ඇතැම් කරුණු යථාර්ථයට වඩා විශාල කර දැක්විය හැකිය. නමුත් එය සැලසුම් සහගත බොරුවක්ද, අතිශයෝක්තියක්ද, නැතහොත් මන්දක්ෂිප්තතා ඉස්මතු වීමක ප්‍රකාශනයක්ද යන්න තීරණය කළ හැක්කේ සමස්ත සායනික තත්ත්වය විමසා බැලීමෙන් පමණි.
යමෙකු නිරන්තරයෙන් තම ජීවිතය හෝ සමත්කම් පිළිබඳ අසත්‍ය කතා නිර්මාණය කරන්නේ නම්, ඒවා තමන්ගේ සබඳතා විනාශ කරන්නේ නම්, රැකියාවට හෝ අධ්‍යාපනයට හා සමාජ තත්ත්වයට හානි කරන්නේ නම්, සමාජ විශ්වාසය නැති කරන්නේ නම් සහ එම හැසිරීම පාලනය කර ගැනීමට ඔහුට හෝ ඇයට අපහසු නම්, එය වෘත්තීය මානසික සෞඛ්‍ය ඇගයීමක් අවශ්‍ය විය හැකි සංඥාවකි.
එමෙන්ම මෙය පෞරුෂ ආබාධ (Personality Pathology) විශේෂයෙන්ම සමාජ විරෝධී (Antisocial), ආත්මප්‍රේමී (Narcissistic), අතිශයෝක්තිකාරී හැසිරීම් සහිත (Histrionic) හෝ සීමාන්තික (Borderline) පෞරුෂ ලක්ෂණවල ප්‍රකාශනයක් ලෙස සිදුවිය හැකිය.
යම් රෝගී ස්වභාවයක් පෙන්වා අන්‍යයන්ගේ අවධානය ලබාගැනීමේ අරමුණින් දැනුවත්වම අසනීප බවක් මවාපාමින් බොරු කීම සිදුවේ නම්, ඊට අදාළ රෝග විනිශ්චය වන්නේ ඉච්ඡානුගත ආබාධ (Factitious Disorder) යන්නයි.

එමෙන්ම මුදල් ලබාගැනීම, වගකීම්වලින් මිදීම හෝ නීතිමය වාසි ලබාගැනීම වැනි පැහැදිලි බාහිර වාසියක් මත මෙසේ කරන්නේ නම්, එය මානසික ආබාධයකට වඩා වාසි තකා අසනීප බව මවාපෑමක් (Malingering) ලෙස හඳුන්වනු ලබයි.
කෙසේ වෙතත්, “බොරු කියනවා” යන්න පමණක් මානසික රෝගයක් හඳුනා ගැනීමට ප්‍රමාණවත් නොවේ. මනෝ වෛද්‍යවරයකු හෝ සුදුසුකම් ලත් මානසික සෞඛ්‍ය වෘත්තිකයකු පුද්ගලයාගේ සමස්ත හැසිරීම් රටාව, මනෝභාවය, පෞරුෂ ලක්ෂණ, ජීවිත අත්දැකීම්, සමාජ සබඳතා සහ වෙනත් මානසික රෝග ලක්ෂණ සලකා බැලිය යුතුය. DSM-5-TR ද එහි නිර්ණායක පුහුණු වෘත්තිකයන් විසින් සායනික විනිශ්චය සමඟ භාවිත කළ යුතු බව අවධාරණය කරයි.
එක් පුද්ගලයකු තමන් පිළිබඳ අඩු ආත්ම-වටිනාකමක් දැනෙන නිසා තම ජීවිතය අතිශයෝක්තියෙන් ඉදිරිපත් කළ හැකිය. තවත් අයකු අවධානය ලබා ගැනීම සඳහා බොරු කියන්නට පුළුවන. තවත් අයකුට දඬුවමෙන් හෝ වගකීමෙන් ගැලවීමට බොරු අවශ්‍ය විය හැකිය. තවත් පුද්ගලයකුගේ බොරු කීම පෞරුෂ ලක්ෂණ හෝ වෙනත් මානසික තත්ත්වයක් සමඟ සම්බන්ධ විය හැකිය.
එම නිසා බොරුවේ අන්තර්ගතයට වඩා එහි රටාව, අරමුණ, පාලනය කළ හැකිද යන්න සහ පුද්ගලයාගේ ජීවිතයට ඇති බලපෑම වඩාත් වැදගත් විය හැකිය. වෛද්‍යමය වශයෙන් එය කෙසේ අර්ථ දැක්වුවද, නිරන්තරයෙන් බොරු පවසන පුද්ගලයකු අවසානයේ සමාජ විශ්වාසය හා පිළිගැනීම අහිමි කර ගැනීමේ අවදානමකට ද මුහුණ දිය හැකිය.
විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්