බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත.
බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර සැපයුම යථා තත්වයට පත් කිරීමටය. මෙවැනි සැත්කමක් නැතිනම් ස්ටෙන්ට් දැමීමක් සාර්ථකව සිදු කර ගැනීම හොඳ ප්‍රතිකාරයක ආරම්භයයි. එය අවසානය නොවේ. බයිපාස් සැත්කමකින් හෝ ස්ටෙන්ට් දැමීමකට පසුව එහි සාර්ථක ප්‍රතිඵල දීර්ඝ කාලයක් තිස්සේ පවත්වා ගැනීමට නම් නිවැරදි ලෙස ඖෂධ ලබා ගැනීම සහ ජීවන රටාවේ යහපත් වෙනස්කම් සිදුකර ගැනීම අත්‍යවශ්‍ය වේ.

යහපත් ජීවන රටාවකට හුරුවීම යනුවෙන් අදහස් කරන්නේ දුම්පානයෙන් සහමුලින්ම අත්මිදීම, දිනපතා ව්‍යායාමයක නිරත වීම, ලුණු, තෙල් සහ සීනි වැනි අහිතකර සංඝටක බහුල ආහාර අවම කර සමබල ආහාරවලට හුරු වීම, ශරීරයේ බර අඩු කරගෙන තමන්ගේ උසට සරිලන බරක් පවත්වා ගැනීම, දිනකට අඩුම තරමින් පැය 6 -7 ක නින්දක් ලබා ගැනීම සහ මානසික ආතතිය අවම මට්ටමක තබා ගැනීම වැනි දෑය. මෙවැනි යහපත් හුරු පුරුදු තුලින් දියවැඩියාව, අධික රුධිර පීඩනය, රුධිරයේ කොලෙස්ටරෝල් සාන්ද්‍රණය වැඩි වීම වැනි රෝග තත්වයන්ද පාලනය කර ගත හැකිය.

නිවැරදි ලෙස ඖෂධ ලබා ගැනීම යනුවෙන් අදහස් කරන්නේ වෛද්‍යවරයා විසින් ලබා දෙන ඖෂධ එම මාත්‍රාවටම නියම කරන ලද වාර ගණනම නිතිපතා නිසිලෙස භාවිතා කිරීමයි. ඊට අමතරව නියමිත දිනට වෛද්‍යවරයා හමුවීමට යාම හෝ තමන්ගේ සායනයට සහභාගී වීමද කළ යුතුය. තවද මෙසේ වෛද්‍යවරයා හමුවීමට යාමේදී ඔහු විසින් නියම කරන ලද පරීක්ෂණ වාර්තා රැගෙන යාමද වැදගත් වේ. මෙසේ ලබා ගන්නා වාර්තා මගින් තමන්ගේ රෝග තත්වයන් හොඳින් පාලනය වී ඇත්දැයි දැනගත හැකි අතර ඔබගේ රෝග තත්වය නිසා යම් සංකූලතා ද ඇති වී ඇතිද යන්න සහ ලබා ගන්නා ඖෂධ සහ ඒවායේ මාත්‍රා වෙනස් කිරීමටත්, අනෙකුත් උපදෙස් ලබා දීම සඳහාත් වෛද්‍යවරයාට මෙම පරීක්ෂණ වාර්තා වැදගත් වේ.
යහපත් ජීවන රටාවකට හුරුවීම යනුවෙන් අදහස් කරන්නේ දුම්පානයෙන් සහමුලින්ම අත්මිදීම, දිනපතා ව්‍යායාමයක නිරත වීම, ලුණු, තෙල් සහ සීනි වැනි අහිතකර සංඝටක බහුල ආහාර අවම කර සමබල ආහාරවලට හුරු වීම, ශරීරයේ බර අඩු කරගෙන තමන්ගේ උසට සරිලන බරක් පවත්වා ගැනීම, දිනකට අඩුම තරමින් පැය 6 -7 ක නින්දක් ලබා ගැනීම සහ මානසික ආතතිය අවම මට්ටමක තබා ගැනීම වැනි දෑය. මෙවැනි යහපත් හුරු පුරුදු තුලින් දියවැඩියාව, අධික රුධිර පීඩනය, රුධිරයේ කොලෙස්ටරෝල් සාන්ද්‍රණය වැඩි වීම වැනි රෝග තත්වයන්ද පාලනය කර ගත හැකිය.

ඉහතින් සඳහන් කළ සියලු උපදෙස් සමාන්තරව පිළිපදින්නේ නම් බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසුව අවුරුදු 10ක් නොව ඊට වඩා බොහෝ කාලයක් ඔබට නිරෝගීව ජීවත් විය හැකිය. එමෙන්ම ඉහත කරුණු පිළිපදින්නේ නැතිව නිසි ප්‍රතිකාර සහ වෛද්‍ය උපදෙස් නොලබා, යහපත් ජීවන රටාවකට හුරු නොවී සිටින අයට නැවතත් හෘදයාබාධයක් ඇතිවීමට බොහො සෙයින් ඉඩ ඇත. එපමණක් නොව එමගින් අවුරුදු 10 ටත් වඩා අඩු කාලයක දී, ජීවිතය අහිමි වීම පවා සිදුවිය හැකිය.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

සටහන – යමුනා සරෝජනී ගුණවර්ධන

දොස් දුරු කරවන දොස්තර උපදෙස්