බතලේගල කඳු මුදුනේ ඉදි කරන චෛත්‍යය වහා නතර කළ යුතුයි-ජනපති ලේකම් කාර්යාලය

හාත්පස ස්වාභාවික පරිසර පද්ධතියට බරපතල හානි සිදු කරමින් කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක බතලේගල කඳු මුදුනේ මේ වන විට බතලේගල මව්පිය වෙහෙර නමින් ඉදිකරමින් පවතින චෛත්‍යය ඉදි කිරීම වහා නතර කරවන මෙන් ජනාධිපති ලේකම් කාර්යාලය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු වගකිව යුතු ආයතන වලට දැනුම් දී තිබේ. “පොල්වත්තේ පොඩි හාමුදුරුවෝ ” යන නමකින් පෙනී සිටින හිමි නමක විසින් මව්පියන් සිහිවීම පිණිස යැයි පවසමින් පසුගිය මස 24 වන දින “ඓතිහාසික බතලේගල බෞද්ධාලෝක මව්පිය ගුණ සමරු මහවෙහෙර” යන නමින් මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබේ.මේ වන විට සමාජය හමුවේ බෞද්ධ පරමාදර්ශ හුවා දක්වමින් සිදු කෙරෙන මෙවන් පරිසර සංහාර මුල් කොට අති විශාල ධනෝපායන මාර්ග පාදා ගැනීම් සිදු වන අතර බුදු දහම පිළිබඳ නිවැරදි දැනීමක් නොමැති බහුතර ජනතාවට මේවායේ බාහිර ස්වරූපය දක්වා අයථා අයුරින් මුදල් ඉපැයීම මේ වන විට විලාසිතාවක් වී ඇති බව සමාජ සංවිධාන පෙන්වා දී තිබේ.එනිසාම මෙම ක්‍රියාවට සමාජ මාධ්‍ය තුළින් දැඩි විවේචනයක් මේ වන විට එල්ලවී තිබේ .පරිසර සංවිධාන පවසන්නේ ජෛව විවිධත්වය අතින් ඉහළ අගයක් ගන්නා මෙවැනි කඳු මුදුන්වල කෘත්‍රිම ඉදි කිරීම් මුල් කොට ගත් මෙම නව රැල්ල හරහා දැවැන්ත පාරිසරික හානියක් සිදුවන බවකි.මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා පවසන්නේ පරිසරය විනාශ කරමින් මෙම චෛත්‍යය ඉදිකිරීමට මූලික වන සියලු දෙනාට එරෙහිව නඩු පවරන බවකි.

කාලීන පුවත්