ඉදිරියේ එන ආහාර බෝග හිඟයෙන් ජනතාව මරු කටට ඇද නොදැමීමට නම්;

ඉදිරියේ එන ආහාර බෝග හිඟයෙන් ජනතාව මරු කටට ඇද නොදැමීමට නම්;
ඉදිරි සතියේ ආරම්භ වීමට නියමිත නිරිතදිග මෝසම් වැසි තත්ත්වයත් සමඟ වගා බිම් විනාශ වීම සහ ප්‍රවාහන දුෂ්කරතා ඇති වීම නොවැලැක්විය හැකි කරුණකි. මීට සමගාමීව නුදුරේ දීම ඉන්ධන මිල යළි ඉහළ යාම හේතුවෙන් සැපයුම් දාමයේ පිරිවැය ද ඉහළ යනු ඇත. එහි සෘජු බලපෑම ලෙස වෙළඳපොළේ පවතින එළවළු සහ පලතුරු වැනි වාණිජ බෝග මිල සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි මට්ටමකට පත්වීම වැළැක්විය නොහැක. මෙම ආහාර අර්බුදයට සාර්ථකව මුහුණ දීම සඳහා වෙළඳපොළ මත යැපීම අවම කරමින්, ප්‍රාදේශීය මට්ටමින් සපයා ගත හැකි වාණිජ නොවන ආහාර බෝග (Non-commercial food crops) ප්‍රවර්ධනය කිරීම අත්‍යවශ්‍ය වේ. මේ සඳහා ප්‍රධාන වශයෙන් ගෙවතු වගාව සහ අමතක වූ ආහාර බෝග කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

මුහුදු පැළෑටි ආහාර
මුහුදු පැළෑටි ආහාර

බත් සඳහා වන විකල්පය ලෙස ජන සම්මතව ඇත්තේ කොස්, දෙල්, අල සහ බතල වශයෙනි. එහෙත් අද වන විට මෙම ‘අල බතල’ යන්න මඤ්ඤොක්කා සහ බතල යන අල දෙවර්ගයට සීමා වී තිබේ. නමුත් අපේ අතීත ගැමියා ආහාර වශයෙන් ගත් අල වර්ග නාමාවලිය ඊට වඩා බෙහෙවින් පුළුල් ය. අතු අල, අඩදම් අල, ආටිචෝක්‌, ඇඟිලි අල, ඉන් අල, ඉබුල්, උඩල, උයල, ඕවිටි අල, කටු අල, කටු කුකුළල, කඳල, කම්බු කොඩොල්, කන්ඩල, කහ අල, කහට, කහට අඟල, කාබේරි අල, කිරි අල, කිරි කොඩොල්, කිරි සම්බල, කිරි හබරල, කිරි හිඟුරල, කිරි වැල්, කිරිබරු අල, කීඩාරන්, කුකුළල, කොකිස්‌ අල, කොළ හබරල, කොළකන අල, කොහිල, ගහල, ගොටු අල, ගොම අල, ගොරොක්‌ අල, ගෝනාල, ජාවා අල, තිරිංගල, තුන් මස්‌ රෝස, තුන්මස්‌ සුදු, දන්දින අල, දෙහි අල, දෙමස්‌ අල, දේශල, නිට්‌ටාල, නිල් කීඩාරන් අල, පණු අල, පිට්‌ටු අල, පාත්තරා අල, බිනර, බුත්සරණ, බුද්දිල, බෝල බුත්සරණ, යකු අල, රටල, රතු අල, රතු කොඩොල්, රත්න අල, රැවුළල, රැල්බුරුල්ලා, රාජා අල, ලේන දන්තිල, වැල් අල, සව්කෙන්දා, සීරුවල්ලි, සුදු අල, සුදු බුත්සරණ, සෙවෙල් අල, සීනි අල, සීනි කෙහෙල් අල, හබරල, හිරිතල, හිඟුරල, හුලංකීරිය, හොඬල සහ හැරමස්‌ අල යනු ඉන් කිහිපයක් පමණි. එමෙන්ම අතීත ගැමියා තම ආහාර පිණිස යොදා ගත් ඵල-වැල බොහොමයක් ද නූතන ජන විඥානයෙන් දුරස් ව ගොසිනි. එමෙන්ම අතීත සමාජයේ ගැමියා හේනට, කුඹුරට යන විට ඒ ආශ්‍රිතව ස්වාභාවිකව වැවී ඇති (Natural collection) ශාක වර්ග බොහොමයක් ද නෙළා ගෙදරට ගෙනවුත් ආහාර වේලට එක් කරගත් බව ප්‍රකට කරුණකි.

ටියුලිප් මල්
ටියුලිප් මල්

මෙම පලා වර්ග අතර තිබූ වෙල් පලා හෙවත් ගැට පලා නැතහොත් වෙල් අල කොළ (Ipomoea aquatica) අතීත ගැමියා නිතර භාවිතයට ගත් කුඹුරු ආශ්‍රිත ශාකයකි. මැල්ලුමක්, සම්බෝලයක්, කන්කුන් මෙන් තෙල් දැමීමක් සේම කිරට පිසූ ව්‍යංජනයක් ලෙස සකස් කළ හැකි වෙල් පලා, නෙළූ සැනින් ආහාරයට නොගෙන දින දෙක තුනක් පවනේ වියළා ගැනීමට ද අතීත ගැමියෝ ක්‍රියා කළහ. එලෙස තව් මැරීම (Withering) නම් වන ක්‍රියාවලියෙන් පසුව ආහාරයට ගැනීමට හේතුව, ඒවා නෙළූ සැනින් ආහාරයට ගැනීමෙන් උගුර කැසීම ආදී ආසාත්මිකතා ලක්ෂණ ඇති විය හැකි බව සිය පාරම්පරික ඥානයෙන් අතීත ගැමියෝ දැන සිටීම ය. අද වන විට බොහෝ දෙනකු නොදන්නා අප ජන සමාජයේ තිබූ පාරම්පරික ගැමි ආහාර සම්බන්ධ තවත් නිදසුන් බොහොමයක් ඉදිරිපත් කළ හැකිය.

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේදී ප්‍රාදේශීයකරණය (Localization) හෙවත් ඒ ඒ ප්‍රදේශයට ආවේණික බෝග එම ප්‍රදේශය තුළම පරිභෝජනය කිරීමේ වැඩපිළිවෙළක් රජය මගින් ක්‍රියාත්මක කළ යුතු ය. ඉන්ධන මත පදනම් වන දිගු දුර ප්‍රවාහනය මත යැපීම වෙනුවට ග්‍රාමීය මට්ටමින් සති පොළ ක්‍රමය ශක්තිමත් කිරීම හරහා ප්‍රාදේශීය ගොවියාගේ අතිරික්ත නිෂ්පාදන සෘජුවම ගම්වැසියන් අතර බෙදාහැරීමේ ක්‍රමවේද සැකසිය හැකි ය. මීට අමතරව, කොස් සහ දෙල් ආදී බෝග වර්ගවල අතිරික්ත අස්වනු වියළා කල්තබා ගැනීමේ සාම්ප්‍රදායික හා නවීන ක්‍රම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම අර්බුදකාරී කාලසීමාවන් සඳහා කදිම විසඳුමකි.

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේදී ප්‍රාදේශීයකරණය (Localization) හෙවත් ඒ ඒ ප්‍රදේශයට ආවේණික බෝග එම ප්‍රදේශය තුළම පරිභෝජනය කිරීමේ වැඩපිළිවෙළක් රජය මගින් ක්‍රියාත්මක කළ යුතු ය. ඉන්ධන මත පදනම් වන දිගු දුර ප්‍රවාහනය මත යැපීම වෙනුවට ග්‍රාමීය මට්ටමින් සති පොළ ක්‍රමය ශක්තිමත් කිරීම හරහා ප්‍රාදේශීය ගොවියාගේ අතිරික්ත නිෂ්පාදන සෘජුවම ගම්වැසියන් අතර බෙදාහැරීමේ ක්‍රමවේද සැකසිය හැකි ය. මීට අමතරව, කොස් සහ දෙල් ආදී බෝග වර්ගවල අතිරික්ත අස්වනු වියළා කල්තබා ගැනීමේ සාම්ප්‍රදායික හා නවීන ක්‍රම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම අර්බුදකාරී කාලසීමාවන් සඳහා කදිම විසඳුමකි. මේ සඳහා රජයේ සහ මාධ්‍යවල මැදිහත්වීම අත්‍යවශ්‍ය වන අතර, කෘෂිකර්ම නිලධාරීන් හරහා ගෘහස්ථ මට්ටමින් වගා කළ හැකි බෝග සඳහා අවශ්‍ය උපදෙස් සහ බීජ කට්ටල ලබාදීම මෙන්ම, වෙළඳපොළේ මිල අධික කැරට් සහ ලීක්ස්වලට වඩා දේශීය අල සහ පලා වර්ගවල ඇති පෝෂණීය ගුණය පිළිබඳව ජනතාවගේ මනෝභාවය වෙනස් කිරීමේ ජාතික මට්ටමේ ප්‍රචාරණයක් දියත් කළ යුතුය. එමෙන්ම අප සමාජයේ එළවළු පරිභෝජනය අතිශය නාස්තිකාර මට්ටමක පවතින බව ද අකමැත්තෙන් වුව ද පිළිගත යුතු සත්‍යයකි. ඒ අනුව අපට ලැබෙන ආහාර බෝගවලින් මිනිස් ආහාරයට සුදුසු විශාල කොටසක් කුණු ගොඩට යැවීම ද වහා වළකාගත යුතු තත්ත්වයකි.

වෙල් පලා

ආහාර හිඟයක් හෝ දුෂ්කර කාලසීමාවක් උදා වූ විට, මිනිසා තම පැවැත්ම සඳහා සාමාන්‍යයෙන් පරිභෝජනය නොකරන නව ආහාර ප්‍රභවයන් වෙත යොමු වීම ලෝක ඉතිහාසය පුරාම දක්නට ලැබෙන ලක්ෂණයකි. මෙයට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ සාගත, යුද්ධ හෝ ස්වභාවික විපත් වැනි තත්ත්වයන්ය. එවැනි අවස්ථාවලදී ආහාර ව්‍යුහය පුළුල් වූ ආකාරය පිළිබඳ නිදසුන් බොහොමයකි. සාම්ප්‍රදායික ධාන්‍ය වර්ග හිඟ වූ විට මිනිසා ශාකවල විවිධ කොටස් හෙවත් ශාකමය ආහාර (Plants as survival food) ගැනීමට හුරු විය. සාමාන්‍යයෙන් වගා නොකරන, වනාන්තරවල ඇති අල වර්ග ආහාරයට ගැනීම ද බහුලව සිදු වූ අතර, දෙවන ලෝක යුද්ධ සමයේ යුරෝපයේ ඇතැම් රටවල මිනිසුන් ‘ටියුලිප්’ (Tulip) මල් බල්බ පවා ආහාරයට ගත් බව පැවසෙයි. දැඩි සාගත කාලවලදී ගස්වල ඇතුළු පොතු (Inner bark) කුඩු කර පිටි සාදා ගැනීම හෝ විෂ සහිත යැයි සැලකෙන ශාක විශේෂ නිසි ලෙස පිරිසැකසුම් කර ආහාරයට ගැනීම සිදු විය. වනාන්තරවල සේම ගෘහාශ්‍රිතව වැවෙන මඩු ගස්වල ගෙඩි කඩා පිටි කොට පිට්ටු ආදී විවිධ ආහාර තැනීම ද සාම්ප්‍රදායික ධාන්‍ය වර්ග හිඟ වූ විට අතීත ගැමියා යොදා ගත් විකල්පයක් බව කියනු ලැබේ. මෙම මඩු පිටිවල ඇතැයි පැවසෙන ඖෂධීය ගුණය මුල් කොට අද ඒවා කිලෝවක් රුපියල් දහස දක්වා මිලකට අලෙවි වන බවට ද තොරතුරු තිබේ.

මඩු පිට්ටු
මඩු පිට්ටු

සාමාන්‍යයෙන් වල් පැලෑටි ලෙස සලකා ඉවත් කරන, ශරීරයට අහිතකර නොවන ශාක ප්‍රධාන ආහාර වේලට එක් කර ගැනීම ද පාරම්පරිකව සිදු වී තිබේ. සත්ව මාංස (Animal protein in scarcity) සම්බන්ධ තත්ත්වය ද මෙසේමය. ගව, එළු, කුකුළු ආදී ප්‍රධාන පෙළේ මස් වර්ග හිඟ වූ විට මිනිසා වෙනත් ප්‍රභවයන් සොයා යාම ලොව සෑම සමාජයකින්ම දක්නට ලැබී තිබේ. එහිදී බෝග විනාශ කරන පළඟැටියන් වැනි කෘමීන් සාගත කාලවලදී ප්‍රධාන ප්‍රෝටීන් ප්‍රභවයක් ලෙස භාවිතා කර ඇත. නමුත් පසුව මෙම කෘමීන් ආහාරයට ගැනීම (Entomophagy) ලොව බොහෝ රටවල ආහාර සංස්කෘතීන් තුළට අවශෝෂණය වී තිබේ. ඒ අනුව අද ලොව පුරා බිලියන දෙකක ජනතාවක් නිතිපතා කෘමීන් ආහාරයට ගන්නා බව සංඛ්‍යාලේඛන මඟින් තහවුරු වී තිබේ. මෙය ප්‍රතිශතයක් වශයෙන් ලෝක ජනගහනයෙන් 24.1% කි. එමෙන්ම මීයන්, ගෙම්බන් සහ හිකනලුන් වැනි සතුන් ආහාරයට ගැනීම ඇතැම් සංස්කෘතීන් තුළ අතිශය දුෂ්කර කාලවලදී ආරම්භ වී පසුව සාමාන්‍ය තත්ත්වයට පත් වී ඇති අතර, මසුන් ඇතුළු සාගර හා ජලජ ජීවීන් හිඟ වූ විට බෙල්ලන්, කකුළුවන් සහ සාමාන්‍යයෙන් ප්‍රයෝජනයට නොගන්නා මුහුදු පැලෑටි වර්ග (Seaweed) ආහාරයට ගැනීම ඇරඹී ඇත. අද මේ ඇතැම් ආහාර අධික මිලෙන් යුක්ත වේ.

විවිධ දුෂ්කරතා හමුවේ මෙලෙස ආහාර ව්‍යුහය පුළුල් වීම ඔස්සේ මිනිසා ලොව පුරා විසිරී සිටින විවිධ සම්පත් හඳුනා ගත් අතර, අද අප ප්‍රණීත ආහාර ලෙස සලකන ඇතැම් බිම්මල් වර්ග සහ බෙල්ලන් වැනි දෑ, අතීතයේදී හුදෙක් පැවැත්ම සඳහා පමණක් භාවිතා කළ දෑ විය හැකිය.

ආර්ථික විද්‍යාත්මකව බලන කල, මෙවැනි අරපිරිමැසුම්දායක ප්‍රවේශයන් මගින් උද්ධමනය හමුවේ ඇතිවන ආහාර අනාරක්ෂිතභාවය පාලනය කිරීමටත්, ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීමටත් විශාල පිටුවහලක් ලැබේ. මෙහිදී පාරිභෝගික අවශ්‍යතාව සහ වගා කරන අරමුණ අනුව බෝග වර්ගීකරණයන් දෙකක් හඳුනාගත හැකිය. ඉන් පළමුවැන්න යැපුම් බෝග (Subsistence crops) වේ. මේවා ප්‍රධාන වශයෙන් තමාගේ සහ තම පවුලේ ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කුඹුරු හෝ හේන් වැනි සාපේක්ෂව විශාල බිම් කොටස්වල වගා කරනු ලබන වී, කුරක්කන් සහ අල වර්ග වැනි බෝගයන්ය. දෙවැන්න ගෙවතු වගා බෝග (Home garden crops) වන අතර, ඒවා නිවස අවට ඇති සීමිත ඉඩ ප්‍රමාණයක, එදිනෙදා අවශ්‍යතා සඳහා වගා කරනු ලබන මිරිස්, වම්බටු, බණ්ඩක්කා සහ පලා වර්ග වැනි මිශ්‍ර බෝගයන් වේ. ඊට අමතරව වාණිජ නොවන සේම වගා නොකරන, ආහාර සඳහා සුදුසු ශාක විශේෂ පරිභෝජනය ද ප්‍රවර්ධනය කළ යුතු වේ. මෙම ක්‍රමවේද ශක්තිමත් කිරීම හරහා වෙළඳපොළ මිල උච්චාවචනයන් හමුවේ සැලෙන්නේ නැති, ශක්තිමත් දේශීය ආහාර පද්ධතියක් ගොඩනැගීමට අපට හැකියාව පවතී.

:මඩු පිට්ටු සැකසීම
:මඩු පිට්ටු සැකසීම

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය (කලින් ශ්‍රී ලංකා සාගිනි නිවීමේ ව්‍යාපාරික මණ්ඩලය), කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින ව්‍යවස්ථාපිත ආයතනයකි. දෙවන ලෝක යුද සමයේ රට පුරා පැතිර ගිය දැඩි ආහාර අහේනිය පිටුදකිනු පිණිස ‘සාගිනි නිවීමේ මණ්ඩලය’ (Hunger Relief Board) නමින් පිහිටුවන ලද මෙය, ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය ලෙසින් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (UN FAO) අනුග්‍රහය ඇතිව 1973 අංක 15 දරන පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කරන ලද්දකි. ජාතික ආහාර ස්වයංපෝෂිතභාවය ළඟා කර ගැනීමේ ප්‍රධාන අරමුණ ඇතිව, ගොවි ප්‍රජාවගේ සහ වරප්‍රසාද නොලත් ජනතාවගේ ගෞරවය නැවත ඇති කිරීම සහ ඔවුන්ගේ ආර්ථික ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා වන වැඩසටහන් හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම මණ්ඩලයේ නව අරමුණ බව කියැවේ.

බොහෝ අංශයන් තුළ මෙන්ම ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ද පැහැදිලි අවදානමක් පෙන්නුම් කරන වර්තමානයේ, මේ වන විට නිසි ක්‍රියාකාරීත්වයක් නොපෙන්වන ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය ‘සාගිනි නිවීමේ මණ්ඩලය’ ලෙස යළි ස්ථාපිත කොට, ජනතාවගේ පෝෂණ මට්ටම පහළ නොදමා පවත්වා ගැනීමේ වගකීමට රජය දැන්වත් අප්‍රමාදව ක්‍රියා කළ යුතුය. ඒ මේ වන විට සමාජය හමුවේ මෙගා ටෙලි නාට්‍ය මෙන් ප්‍රදර්ශනය කෙරෙන “කයි-තන් ජවනිකා” වලින් ඒ සඳහා නිසි විසඳුමක් නොලැබෙන බැවිනි.

නමුත් සෙසු බොහෝ අංශයන් තුළ මෙන්ම ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ද පැහැදිලි අවදානමක් පෙන්නුම් කරන වර්තමානයේ, මේ වන විට නිසි ක්‍රියාකාරීත්වයක් නොපෙන්වන ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය ‘සාගිනි නිවීමේ මණ්ඩලය’ ලෙස යළි ස්ථාපිත කොට, ජනතාවගේ පෝෂණ මට්ටම පහළ නොදමා පවත්වා ගැනීමේ වගකීමට රජය දැන්වත් අප්‍රමාදව ක්‍රියා කළ යුතුය. ඒ මේ වන විට සමාජය හමුවේ මෙගා ටෙලි නාට්‍ය මෙන් ප්‍රදර්ශනය කෙරෙන “කයි-තන් ජවනිකා” වලින් ඒ සඳහා නිසි විසඳුමක් නොලැබෙන බැවිනි.

ඒ.ජී. රේණුකා දමයන්ති

එතෙර - මෙතෙර