ගෝලීය වසංගත බියක් ඇති කළ හැන්ටාවයිරස් සිද්ධිය

ගෝලීය වසංගත බියක් ඇති කළ හැන්ටාවයිරස් සිද්ධිය
නැවතත් කොවිඩ් වසංගතය වැනි බිහිසුණු වසංගතයක් ලොව පුරා පැතිරෙන්නට පටන් ගනීවිද යන බියජනක සැකයක් පසුගිය දිනවල ඇති වී තිබිණි. මේ පිළිබඳව ලොව ප්‍රධාන මාධ්‍ය තුළ මෙන්ම සමාජ මාධ්‍ය තුළ ද විශාල වශයෙන් කතාබහට ලක්වනු දැකගන්නට ලැබිණි.

මෙවැනි තත්වයක් ඇති වූයේ අත්ලාන්තික් සාගරයේ යාත්‍රා කරමින් තිබූ සුඛෝපභෝගී මගී නෞකාවක ඇති වූ හදිසි වයිරස ව්‍යාප්තියක් නිසා යි. මෙම වයිරසය හැඳින්වෙන්නේ හැන්ටාවයිරසය (Hantavirus) යනුවෙනි.මීයන්ගෙන් බෝ වන ඉතා භයානක වයිරසයක් ලෙස සැලකෙන හැන්ටාවයිරසය ආසාදනය වීම නිසා නෞකාවේ ගමන් කළ මගීහු 3 දෙනෙකු මේ වනවිට මරණයට පත්ව තිබේ.

ඉහත කී මගී නෞකාවේ නම හොන්ඩියස් (Hondius) ය. පසුගිය අප්‍රේල් 1 වැනි දින එය ගමන් ආරම්භ කර තිබුණේ ආර්ජන්ටිනාවේ ඌස්වයියා වරායෙනි. එහි අපේක්ෂිත ගමනාන්තය වූයේ කේප් වර්ඩ් නැමැති වරායකි. කේප් වර්ඩ් වයඹ දිග අප්‍රිකාව ආසන්නයේ අත්ලාන්තික් සාගරයේ පිහිටා ඇති දූපතක වරායක් බව සඳහන් වේ.

නෞකාව ගමන් අරඹා දින පහකට පසු, අප්‍රේල් 6 වැනි දින එහි සිටි අවුරුදු 70 ක් වයසැති ඕලන්ද ජාතික මගියෙකු හදිසියේ අසනීප විය. ඔහු තද උණකින්, හිසරදයකින් සහ බඩේ අමාරුවකින් පෙළෙන්නට වූයේය. ඔහුට මූලික ප්‍රතිකාර ලබා දුන්නත් කෙමෙන් ඔහුගේ තත්වය නරක අතට හැරුණු අතර අප්‍රේල් 11 වැනි දින වනවිට ඔහුට හුස්ම ගැනීම පවා අසීරු වූයේය. අවසානයේ ඔහු නෞකාව තුළම අවසන් හුස්ම හෙළුවේය.ඔහුට හැන්ටාවයිරසය ආසාදනය වී ඇති බවක් ඒ වනවිට නොදැන සිටි නිසා කිසිදු වෛද්‍ය පරීක්ෂණයක් කර තිබුණේ ද නැත.

හොන්ඩියස් නැවේ චාරිකාව සති කිහිපයක් ගතවන චාරිකාවක් වූ අතර නෞකාවේ මගීහු සහ කාර්ය මණ්ඩලයේ 147 දෙනෙක් ගමන් කරමින් සිටියෝය.

නෞකාව ගමන් අරඹා දින පහකට පසු, අප්‍රේල් 6 වැනි දින එහි සිටි අවුරුදු 70 ක් වයසැති ඕලන්ද ජාතික මගියෙකු හදිසියේ අසනීප විය. ඔහු තද උණකින්, හිසරදයකින් සහ බඩේ අමාරුවකින් පෙළෙන්නට වූයේය. ඔහුට මූලික ප්‍රතිකාර ලබා දුන්නත් කෙමෙන් ඔහුගේ තත්වය නරක අතට හැරුණු අතර අප්‍රේල් 11 වැනි දින වනවිට ඔහුට හුස්ම ගැනීම පවා අසීරු වූයේය. අවසානයේ ඔහු නෞකාව තුළම අවසන් හුස්ම හෙළුවේය.

මගීන් නෞකාවෙන් ඉවතට ගෙන යද්දී

ඔහුට හැන්ටාවයිරසය ආසාදනය වී ඇති බවක් ඒ වනවිට නොදැන සිටි නිසා කිසිදු වෛද්‍ය පරීක්ෂණයක් කර තිබුණේ ද නැත.

නෞකාවේ සිටි තවත් මගීන්ගෙන් රෝග ලක්ෂණ පළවෙන්නට පටන් ගත්තේය. මුලින්ම හැන්ටාවයිරසය හඳුනාගෙන තිබුණේ නෞකාව තුළ මිය ගිය දෙවැනි රෝගියා (ජර්මන් ජාතික කාන්තාවක) සම්බන්ධයෙන් කළ පරීක්ෂාවකිනි.

වයිරසය හඳුනාගැනීමට පෙර , නෞකාව අතරමග වරායන්වල නැවැත්වූ අවස්ථාවල ඇතැම් මගීන් එයින් බැසගොස් තිබිණි. පසුව මෙවැනි මගීන් අතරින් ද හැන්ටාවයිරස ආසාදිත වූ කිහිප දෙනෙකු හඳුනාගනු ලැබිණි. ඇමරිකානුවකු, ප්‍රංශ ජාතිකයකු, ස්පාඤ්ඤ ජාතිකයකු සහ ස්විස් ජාතිකයකු ඒ අතර විය. මේ අය නිසා මෙම රටවලත් වයිරසය පැතිරෙනු ඇත් ද යන බියක් බොහෝ අය තුළ ඇති වූ බවක් පෙනිණි. කෙසේ නමුත් මොවුන්ගෙන් වයිරසය වෙනත් අයට බෝ වීමේ ඉඩ අවම කිරීමට එම රටවල සෞඛ්‍ය අංශ පියවර ගත්තෝය.

මේ සටහන ලියන අවස්ථාව වනවිට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 11 කි. නෞකාවේ වෛද්‍යවරයා ද ඒ අතර සිටියි.

හොන්ඩියස් නැවේ සිටි සියලු දෙනා ඔවුන්ගේ රටවලින් එවන ලද විශේෂ ගුවන් යානා මගින් මේ වනවිට අදාල රටවලට ඉතා ආරක්ෂිතව රැගෙන ගොස් ඇති අතර ඔවුන් මේ වෙද්දී නිරෝධායනයට ලක්කර ඇත. රටවල් 20 කට අයත් මගීන් හොන්ඩියස් නැවේ සිට ඇති බව වාර්තා වේ. එම රටවල් 20 මෙසේය:

ඇමරිකාව
කැනඩාව
ආර්ජන්ටිනාව
බෙල්ජියම
ඩෙන්මාර්කය
ප්‍රංශය
ජර්මනිය
ග්‍රීසිය
අයර්ලන්තය
නෙදර්ලන්තය
පෘතුගාලය
ස්පාඤ්ඤය
ස්වීඩනය
ස්විට්සර්ලන්තය
එක්සත් රාජධානිය
ඕස්ට්‍රේලියාව
නවසීලන්තය
සේන්ට් කිට්ස් සහ නේවිස්

හැන්ටාවයිරසයේ ප්‍රභේද කිහිපයක් ඇති අතර හොන්ඩියස් නෞකාවේ පැතිරුණු ප්‍රභේදය හැඳින්වෙන්නේ ඇන්ඩීස් ප්‍රභේදය යනුවෙනි. එය ඉතා ඉහළ මරණ අනුපාතයක් ඇති වයිරස ප්‍රභේදයකි. මෙහි මරණ අනුපාතය 35%-50% අතර වන බව සඳහන් වේ. එයින් අදහස් වන්නේ මෙම වයිරස ප්‍රභේදය ආසාදනය වන සිය දෙනෙකුගෙන් දළ වශයෙන් 35-50 අතර සංඛ්‍යාවක් මිය යා හැකි බවයි. කොවිඩ් වයිරසයේ උපරිම මරණ අනුපාතය වූයේ 10%-15% ක් පමණ ය. හැන්ටාවයිරසය ගැන ලොකු බියක් ඇති වීමට ඉහත කී ඉහළ මරණ අනුපාතය ද එක් හේතුවක් විය.

හැන්ටාවයිරස සාමාන්‍යයෙන් මිනිසුන්ට බෝ වන්නේ මීයන්ගෙනි. විශේෂයෙන්ම එය බෝ වෙන්නේ Oligoryzomys longicaudatus නම් වර්ගයේ මීයන්ගෙන් බව සඳහන් වේ. නමුත් එම වයිරසයේ ඉහත කී ඇන්ඩීස් ප්‍රභේදය මිනිසුන්ගෙන් තවත් මිනිසුන්ට බෝ වීමට හැකි ප්‍රභේදයකි. හොන්ඩියස් නැවේ සිද්ධිය බොහෝ දෙනා බියට පත් කරන්නට මෙය ද ප්‍රධාන හේතුවක් විය.

හැන්ටාවයිරසය ආසාදනය වූ විට මතුවන රෝග ලක්ෂණ වනුයේ තද උණ, අධික වෙහෙස, මස්පිඬු වේදනාව, බඩේ කැක්කුම, වමනය, පාචනය, හුස්ම ගැනීමේ අපහසුතාව ආදිය යි.

මෙම ඇන්ඩීස් ප්‍රභේදය නිසා නැවතත් ගෝලීය සෞඛ්‍ය තර්ජනයක් මතු වේවිද යන බිය සහ සැකය පැතිරෙන්නට පටන් ගැනීමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි ආයතන මේ සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට පියවර ගත්තේය.

හොන්ඩියස් නැවේ සිද්ධිය නිසා කොවිඩ් වසංගතය වැනි ගෝලීය සෞඛ්‍ය තර්ජනයක් මතුවීමට ඇති ඉඩ ඉතා අවම බව ඔවුහු ප්‍රකාශ කළෝය. හැන්ටාවයිරසය කොවිඩ් වයිරසය හෝ ඉන්ෆ්ලුවන්සා වයිරස මෙන් ලෙහෙසියෙන් බෝ වෙන එකක් නොවන බව සඳහන් වේ. එය කෙනෙකුට බෝ වෙන්නේ ආසාදිතයකු සමග තරමක් දීර්ඝ කාලයක් සමීපව සිටියහොත් පමණක් බව වෛද්‍ය මතය යි.

හොන්ඩියස් නැවේ සිටි මගීන් ඔවුන්ගේ රටවලට රැගෙන ගියේ ඉතා ආරක්ෂිතව විශේෂ ගුවන් යානා මගිනි. පසුව ඔවුන් හුදෙකලා කර තබන ලද අතර මේ නිසා වයිරසය පුලුල් සමාජයට පැතිරීමට ඇති ඉඩ අවම බව විශේෂඥයෝ පෙන්වා දෙති. කෙසේ නමුත් තත්වය වෙනස් වීමට ඇති ඉඩ සහ තව ආසාදිතයින් හමුවීමට ඇති ඉඩ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් තෙද්‍රොස් ගෙබ්‍රෙයේසස් යම් අනතුරු ඇඟවීමක් ද කර තිබේ.

හොන්ඩියස් නැවේ සිටි මගීන් ඔවුන්ගේ රටවලට රැගෙන ගියේ ඉතා ආරක්ෂිතව විශේෂ ගුවන් යානා මගිනි. පසුව ඔවුන් හුදෙකලා කර තබන ලද අතර මේ නිසා වයිරසය පුලුල් සමාජයට පැතිරීමට ඇති ඉඩ අවම බව විශේෂඥයෝ පෙන්වා දෙති. කෙසේ නමුත් තත්වය වෙනස් වීමට ඇති ඉඩ සහ තව ආසාදිතයින් හමුවීමට ඇති ඉඩ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් තෙද්‍රොස් ගෙබ්‍රෙයේසස් යම් අනතුරු ඇඟවීමක් ද කර තිබේ.

නිහාල් පීරිස්.

එතෙර - මෙතෙර