වත්මන් ආණ්ඩුව පවත්වාගෙන යාමට සුදුසු පිරිසක් නොමැති වීම හේතුවෙන්, විවිධ ව්‍යාපාරිකයන් මාර්ගයෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට ආණ්ඩුව සමඟ එක්වන ලෙස බලපෑම් එල්ල වෙමින් පවතින බව සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතා පවසයි.ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ, විපක්ෂයේ මන්ත්‍රීවරුන් බිලිබා ගනිමින් ‘ජාතික ආණ්ඩුවක්’ නිර්මාණය කර තම අවසාන කාලය බේරා ගැනීමට ආණ්ඩුව මේ වන විට දැඩි උත්සාහයක නිරත වන බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය:”ආණ්ඩුව සමඟ ගැටුම් ඇති කර නොගෙන ඔවුන් සමඟ එක්ව වැඩ කරන ලෙසට විවිධ පාර්ශවවලින් අප වෙත දිගින් දිගටම බලපෑම් සහ ඉල්ලීම් ලැබෙනවා. ආණ්ඩුවට දැන් මේ ගමන තනිවම යන්න බැරි බව ඔවුන් දන්නවා. ඒ නිසා තමයි ව්‍යාපාරිකයන් ලවා අපිට ඇමතුම් ලබා දෙන්නේ.”
ජාතික ජන බලවේගය තුළ පවතින අභ්‍යන්තර ගැටලු මේ වන විට උත්සන්න වී ඇති බවත්, එමඟින් ආණ්ඩුව දැඩි අස්ථාවරත්වයකට පත්ව ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම ජාතික ලැයිස්තුවෙන් පත්වූ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු මුල් කරගනිමින් ආණ්ඩුව දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව චරිත් අබේසිංහ මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.