2022 වසරේදී රටේ ආර්ථිකය දරුණු ලෙස කඩාවැටුණු අවස්ථාවටත් වඩා වැඩි වේගයකින් මේ වනවිට ශ්රී ලංකා රුපියල අවප්රමාණය වෙමින් පවතින බව සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී දිලිත් ජයවීර මහතා පවසයි. වත්මන් රජය සිය ආනයන හා අපනයන ප්රතිපත්තිය තමන්ගේම දර්ශනයකට අනුව නොව, පිටින් ලැබුණු උපදෙස් මත ක්රියාත්මක කිරීම මේ සඳහා ප්රධානතම හේතුව වී ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.ඊයේ (15) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්රීවරයා කියා සිටියේ ඩොලරයේ අගය මෙලෙස ඉහළ යා හැකි බව තමන් මීට පෙරද අනතුරු අඟවා තිබූ බවයි. රජයේ ආනයන අපනයන ප්රතිපත්තිය තර්කානුකූල පදනමක නොතිබූ බව විවේචනය කළ ඒ මහතා, වාහන ආනයනය කිරීමේදී ඩොලර් පිටරටට ගලා ගියද බදු අය කරගනු ලැබුවේ රුපියල්වලින් පමණක් බවත්, මේ හේතුවෙන් රුපියල් සොයාගැනීමට හැකි වුවද රට සතු ඩොලර් සංචිතය හිස් වී ගිය බවත් අවධාරණය කළේය.මේ වනවිට රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය ශීඝ්රයෙන් ඉහළ යෑම නිසා රට තුළ විශාල ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති අතර කර්මාන්තශාලා ද දැඩි බිඳවැටීමකට ලක්ව ඇති බව දිලිත් ජයවීර මහතා මෙහිදී ප්රකාශ කළේය. රටේ දරුණුතම ආර්ථික අර්බුදය පැවති සමයේදීවත් මෙවැනි වේගවත් රුපියල කඩාවැටීමක් සිදුනොවූ බව පෙන්වා දුන් මන්ත්රීවරයා, රජය වහාම සිය තීන්දු තීරණ වෙනස් කිරීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී ආර්ථිකය සංකෝචනය වීමේ සෘජු බලපෑම ජනතාවට එල්ල වන බවද කියා සිටියේය. එම තත්ත්වය හමුවේ රටේ සමස්ත සිවිල් පද්ධතීන් පවා බිඳවැටෙන අයුරින් ජනතාව ප්රතිචාර දැක්වීමට ඉඩ ඇති බවටද ඔහු අනතුරු ඇඟවීය.