ඉන්දියාවේ කාන්තාවන් නිරුවත් කර පාරවල්වල ඇවිද්දවීම සුළභ තත්ත්වයක් වෙලා ලු!

අප අසල්වැසි ඉන්දියාව යනු කාන්තාවන්ට ලිංගික වශයෙන් බොහෝ හිරිහැර, අතවර, අපරාධ සිදුවන රටකි. ඒ අතින් ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක් ලෙස ද ඉන්දියාව ප්‍රසිද්ධියක් උසුළයි. එරට කාන්තාවන් නිතරම වාගේ මුහුණ දෙන හිංසනයක් ගැන පසුගිය දිනවල ද විශාල අවධානයක් යොමු වී තිබෙනු දැකිය හැකි විය. එනම් කාන්තාවන් නිරුවත් කර පාරවල්වල ඇවිද්දවීමයි. මේ ගැන පසුගිය දිනවල කතාබහක් ඇතිව තිබුණේ කර්ණාටක ප්‍රාන්තයෙන් මෙවැනි අලුත් සිද්ධියක් වාර්තා වීමත් සමග ය.

මෙම අවාසනාවන්ත සිද්ධිය සිදු වී තිබුණේ එම ප්‍රාන්තයේ හොසා වන්තමුරි නැමැති ගම්මානයක යි. ඊට මුහුණ දී තිබුණේ වයස අවුරුදු 42 ක කාන්තාවකි. සිද්ධිය වූ දිනයේ දහවල් එකට පමණ ඇය සිය නිවසේ සිටිය දී දහ පහලොස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එහි කඩා වැදී තිබිණි. ඉන්පසු ඔවුන් මෙම කාන්තාව නිවසින් එළියට ඇදගෙන ගොස් නිරුවත් කර පාරවල් දිගේ රැගෙන ගොස් තිබූ බව සඳහන් වේ. පසුව හන්දියක කණුවක ගැට ගසා ඇයට පහර දී තිබූ බව ද මාධ්‍ය සඳහන් කර ඇත.

ඇයට මේ ආකාරයෙන් දඬුවම් කර තිබුණේ ඇයගේ 24 හැවිරිදි පුත්‍රයා විසින් කරන ලද ක්‍රියාවක් නිසා ය. ඔහු ඉහත කී කණ්ඩායමට අයත් කෙනෙකුගේ දියණියක සමග රහසින් පලාගොස් තිබිණි. එම දියණිය ඒ වනවිට වෙනත් කෙනෙකුට විවාහ කර දීමට සිටි කෙනෙකි. කාන්තාව නිරුවත් කර පහර දුන් පිරිසට අවශ්‍යව තිබී ඇත්තේ පෙම්වතුන් සිටින තැනක් ගැන දැන ගැනීමට ය.

මෙම සිද්ධියෙන් පසු ප්‍රකාශයක් කරමින් කාන්තාවගේ සැමියා පවසා තිබුණේ තම පුත්‍රයා මෙවැනි සම්බන්ධයක් පැවැත් වූ බවක් තමා හෝ තම බිරිඳ හෝ නොදැන සිටි බවයි.

කාන්තාව මුහුණ දුන් සිද්ධිය ගැන සැලවීමෙන් පසු පොලිසිය පැමිණ ඇය බේරාගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබිණි. ඇය දැඩි මානසික කම්පනයෙන් පසුවන බව වාර්තා වේ.


මෙම සිද්ධියත් සමග කාන්තාවන් නිරුවත් කර ප්‍රසිද්ධියේ ඇවිද්දවීමේ මෙම අමානුෂික ක්‍රියා පිලිවෙත ගැන නැවතත් විශාල සංවාදයක් ඇතිව තිබෙනු දැකිය හැකි වේ. මෙවැනි ක්‍රියා ඉතා සුළභ තත්ත්වයට පත්වෙමින් තිබීම එරට කාන්තා සංවිධාන ඇතුළු බොහෝ පාර්ශ්ව තුළ විශාල කණස්සල්ලක් ඇති කර තිබේ.

මෙයට සති  කිහිපයකට පෙර ද මෙවැනි සිද්ධියක් රාජස්ථාන් ප්‍රාන්තයෙන්  වාර්තා විය. එහි දී නිරුවතින් ඇවිද්දවා තිබුණේ ගැබිනි කාන්තාවකි. ඇය වයස අවුරුදු 20 ක තරුණියක වූවාය. එම තරුණියට මෙම දඬුවම දී තිබුණේ ඇගේම සැමියා සහ සැමියාගේ පවුලේ අය යි. ඊට හේතු වී  තිබුණේ තරුණිය සැමියා අතහැර වෙනත් පිරිමියකු සමග යාම යි.  ටික කලකට පෙර ගුජරාත් ප්‍රාන්තයෙන් ද මීට සමාන සිද්ධියක් ගැන වාර්තා විය. බිරියන් අතහැර වෙනත් කාන්තාවන් සමග යන සැමියන් කොතෙකුත් සිටියත් ඔවුන්ට මෙවැනි දඬුවම් දෙන්නට කෙනෙකු නැත.

පවුල් ප්‍රශ්න නිසා මෙන්ම වෙනත් කාරණා නිසා ද ඉන්දියාවේ කාන්තාවෝ මෙවැනි අමානුෂික සැලකීම්වලට ගොදුරු වෙති. ජාතිවාදී, වර්ගවාදී පලි ගැනීම් ද ඒ අතර වේ. මාස කිහිපයකට පෙර මනිපූර් ප්‍රාන්තයෙන් මෙවැනි සිදුවීමක් ගැන වාර්තා විය. මෙම ප්‍රාන්තය කාලයක් තිස්සේම ජන කණ්ඩායම් දෙකක් අතර ගැටුමකට මැදිව තිබෙන්නකි. එම ගැටුම ඇතිව තිබෙන්නේ කුකි සහ මේතෙයි යන ආදිවාසි ජන කණ්ඩායම් දෙක අතර යි. පසුගිය ජුලි මාසයේ මෙම ගැටුම් උත්සන්න වූ අවස්ථාවක මේතෙයි ජන කණ්ඩායමට අයත් පිරිමින් පිරිසක් කුකි ගෝත්‍රයට අයත් කාන්තාවන් දෙදෙනකු නිරුවත් කර පාරවල ඇවිද්දවා තිබූ අතර ඊට අදාළ විඩියෝවක් ද එකල සමාජ මාධ්‍ය තුළ සංසරණය විය. මෙම සිදුවීම ලොව පුරා බොහෝ පාර්ශ්වවල  අවධානයට පාත්‍ර වූයේය.  ඊට එඓහිව විශාල ජාත්‍යන්තර විරෝධයක් ද පැන නැගිණි. අගමැති නරේන්‍ද්‍ර මෝදිට එරෙහිව පවා දැඩි විවේචන එල්ල විය. ඒ මනිපූර් ප්‍රාන්තයේ ගැටුම් විසඳීමට ඔහුගේ රජය ප්‍රමාණවත් පියවර නොගැනීම සම්බන්ධයෙනි.

උසස් යයි සම්මත කුලවලට අයත් අය පහත් යයි සැලකෙන කුලවල කාන්තාවන් මේ ආකාරයෙන් නිරුවත් කර ලැජ්ජාවට පත් කිරීම් ද බොහෝ අවස්ථාවල වාර්තා වෙයි. මෙයට ටික කලකට පෙර උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් මෙවැනි සිදුවීමක්  ගැන අසන්නට ලැබිණි. එහි දී මෙම දඬුවමට මුහුණ දී තිබුණේ දාලිත් නැමැති කුලයේ කාන්තාවන් පස් දෙනෙකි. උසස් යයි සැලකෙන කුලයකට අයත් පවුලක තරුණියක දාලිත් තරුණයකු සමග පලා යාම මෙයට හේතු වී තිබිණි.

වාර්තා නොවන මෙවැනි සිදුවීම් ද බොහොමයක් ඇති බව කාන්තා සංවිධාන සහ නීතිඥයන් වැනි පාර්ශ්ව පෙන්වා දෙයි. මෙවැනි සිදුවීම් ගැන පැමිණිලි කරන කාන්තාවන්ට සහ ඔවුන්ගේ පවුල්වල අයට පොලිසිවලදී සහ අධිකරණයේ දී මුහුණ දෙන්නට වන තත්ත්වය නිසා බොහෝ දෙනෙකු ඒවා ගැන පැමිණිලි නොකරන බව සඳහන් ය. ඉහත කී ආයතනවල දී කාන්තාවන්ගෙන් ප්‍රශ්න කෙරෙන්නේ ඉතා අසංවේදී ආකාරයෙන් බවට චෝදනා එල්ල වෙයි. එහිදී සිදු වන්නේ ඔවුන් තවදුරටත් ලැජ්ජාවට සහ අපහසුතාවට පත් වීමකි.

කාන්තාවන් ප්‍රසිද්ධියේ නිරුවත් කර ලැජ්ජාවට පත් කිරීමේ සිද්ධි සුළභ වෙමින් තිබිය දී මෙම තත්ත්වය වැලැක්වීම සඳහා ගත යුතු පියවර ගැන ද නිතර කතාබහට ලක් වෙයි. බොහෝ විද්වතුන් පෙන්වා දෙන්නේ මේ සඳහා සමාජය තුළ ආකල්පමය වෙනසක් සිදුවීම අත්‍යවශ්‍ය බවයි. කාන්තාවන් සහ ඔවුන්ගේ සිරුරු පිලිබඳ ගෞරවනීය ආකල්ප ඇති කිරීම මෙහි දී අතිශයින් වැදගත් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ඇතැම් නීතිවේදීන් සහ සමාජ ක්‍රියාකාරිකයන් පෙන්වා දෙන තවත් කාරණාවක් වන්නේ කාන්තාවන්ට මෙවැනි අපරාධ කරන අයට  ලබා දෙන දඬුවම් ප්‍රමාණවත් නොවන බවයි. ඉන්දියානු නීතිය අනුව මේ වනවිට මෙවැනි වැරදි සම්බන්ධයෙන් ලැබෙන්නේ වසර 3 ක පමණ සිර දඬුවමකි. මෙය කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් මෙම දඬුවම් මෙයට වඩා දැඩි කළ යුතු බවත් ඉහත කී පාර්ශ්වවල අදහස යි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර