එන්නතක් ගැනීම උල තැබීමක් සේ හැඟෙන මොකක්ද මේ Trypanophobia?

පසුගිය දිනෙක ගාල්ල සංඝමිත්තා බාලිකාවේ පැවති කොවිඩ් එන්නත් කරන වැඩසටහනේ දී එන්නත ලබාගත් බවට කාඩ්පතේ සටහනක් ද ඇතුලත් කරගත් පසුව එන්නත ලබා නොගෙන පලායාමට උත්සාහ කළ සිව් දෙනකු අත්අඩංගුවට පත් වූ පුවත ඔබ ද අසන්නට ඇති .කොවිඩ් වෛරසය මෙතරම් වින්නැහියක් කරන යුගයක කෙසේ හෝ එන්නත ලබා ගන්නට පොරබදන මිනිසුන් අතරේ එය සූක්ෂමව මගහැර පලා යන්නට උත්සාහ දැරීම සාමාන්‍යයෙන් සිදු විය හැක්කක් නොවේ .හය හතර නොතේරෙන කුඩා දරුවකු හැරුණු විට කූඹියකු කනවා තරමටවත් වේදනාවක් නොදැනෙන එන්නතකට වැඩිහිටියෙකු අතිශයින් බියට පත්වනවා නම් එය මනෝ භීතිකාවක් නැතිනම් ෆෝබියාමය තත්ත්වයක් ලෙස නිගමනය කළ හැක. ගාල්ලේ සිද්ධියේ පසුබිම කුමක් වුවත් ලෝක ජනගහනයෙන් යම් කොටසක් Trypanophobia නැතිනම්එන්නත් ඉඳිකටු භීතිකාවෙන්(Needle phobia) පෙළෙන බව අනාවරණය වී තිබේ. එබැවින් අපි ඒ පිළිබඳව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතාගෙන් විමසීමු.”බය කියන දේ සියළුම සතුන්ට පොදු දෙයක්.තමට හානිකර අනතුරුදායක තත්වයන් හමුවේ මිනිසුන් වගේම සතුනුන් පසුබාන්නේ මේ බය කියන මනෝමය සාධකය හින්දයි.ඒ අනුව බය කියන දෙය මූලික වශයෙන් අපගේ ආරක්ෂාවට සොබා දහමින් හිමි වුණු ආරක්ෂණ උපයෝගීතාවයක් කියන්න පුළුවන්.නමුත් ඔය අතරේ සමහරු කිසිම යථාර්ථවාදී පදනමක් නැතුව යම් යම් දේවල් පිළිබඳව මනෝ මූලික බයක් ඇති කර ගන්නවා.මේවා පුහු බිය,ඒ කියන්නේ මනෝ භීතිකා(Phobia) විදිහට හඳුන්වන්න පුළුවන් එන්නත් භීතිකාව(Trypanophobia)නමින් එහෙම නැත්නම් එන්නත් ඉඳිකටු බිය(Needle phobia) නමින් හැඳින්වෙන ෆෝබියාමය තත්ත්වය ඒ මනෝ භීතිකා සිය දහස් ගණනින් එකක්.ඒ මනෝ භීතිකාව හේතුවෙන් ද කෙනෙකු එන්නතක් ලබා ගැනීම තරයේම ප්‍රතික්ෂේප කළ හැකියි”.විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා වැඩිදුරටත් කී අන්දමට පහසුවෙන් කෙනෙකුට දරා ගත හැකි කුඩා රිදුමක් පමණක් වන එන්නතක් විදීම උල තියනවා තරමේ බියක් බවට පත්කර ගැනීම හුදෙක් මනෝ මූලික සාධක මත පදනම් වන්නකි. ඊට මුහුණ දෙන්නට නොහැකිව දැඩි කම්පනයකින් බියකින් පසුවීම සාමාන්‍ය තත්වයක් නොවන බව අමුතුවෙන් පැවසිය යුතු නොවේ .
එවැනි භීතිකාවකින් පෙළෙන අයකු නුදුරු දිනයක විදින්නට වන එන්නත පිළිබඳව තැවුලින් නිදි නැතිව අසහනයෙන් කල්ගත කළ හැකියි. ඒ දිනය හා අවස්ථාව ළංවන විට ඒ බිය නොසන්සුන්තාව තවත් වැඩි විය හැකියි.ඒ නිසාම ක්ලාන්තය කරකැවිල්ල රුධිර පීඩනය ඉහළ යාම පමණක් නොව හෘදයාබාධයක් වැළඳීම දක්වා වූ දරුණු තත්වයක් කරා වුවද එම භීතිකාව වර්ධනය විය හැකියි .මෙවැනි තත්ත්වයකින් පෙළෙන අයකුට එන්නතක් විද ගන්නට සිදු වූ විටදී බියෙන් කෑ ගසමින් එය ප්‍රතික්ෂේප කළ හැකියි.පිරිසක් හමුවේ එසේ හැසිරීම ලජ්ජාවට කරුණක් වුවද මේ ෆෝබියා තත්වයෙන් පෙළීමේ දී ඒ ලජ්ජාව පවා යටපත්ව බිය පමණක් ඉස්මතු වෙයි.එවිට එම පුද්ගලයා මහත් විපත්තිකර අවස්ථාවක් එළඹි විට මෙන් නොසන්සුන්කාරී හැසිරීම් පළ කළ හැකිය.එවිට එම පුද්ගලයන් සමච්චලයට ලක් නොකර එම මානසික තත්ත්වය අවබෝධ කරගන්නට සෙසු පිරිස් කාරුණික විය යුතුය.එවැනි බියකින් පෙළෙන අයකු බලහත්කාරයෙන් අල්ලා මෙල්ල කර එන්නත ලබා දෙන්නට උත්සාහ කිරීම කෙසේවත් නොකළ යුත්තකි .එවැනි බියකින් පසුවන අයෙකුගේ බිය අඩු කරන්නට නම් ආදරයෙන්,කරුණාවෙන් එම තත්ත්වය වටහා දෙනවා හැරෙන්නට පවතින බිය තව තවත් වැඩිවන ආකාරයට කටයුතු කිරීම නොකළ යුතුය.බලහත්කාරයෙන් එන්නත ලබා දෙන්නට ගොස් එම පුද්ගලයාගේ බිය තව තවත් වැඩි කරවීම එය දීර්ඝ කාලීනව පවතින වාතාවරණයක් ඇති කරවයි එමෙන්ම එවන් අවස්ථා වලට එක් වීමේ දී ඒ තැනැත්තාගේ ප්‍රියතම අයකු ද ඊට එක් කර ගත හැක.එමෙන්ම ඉදිරිය පිළිබඳ ප්‍රීතිමත් බලාපොරොත්තු ඒ පුද්ගලයා තුළ රෝපණය කිරීම ද වැදගත්ය.ඒ අනුව ඒ පුද්ගලයාගේ බිය ජනක හැඟීම් ආවේග තරමක් පාලනය කළ හැකිය.එමෙන්ම කලා කරුවන් ක්‍රීඩකයන් ඇතුළු ජනකාන්ත පුද්ගලයන් සතුටු මුහුණින් යුතුව එම එන්නත් විද ගැනීම දැක්වෙන දර්ශන මාධ්‍ය මඟින් ඉදිරිපත් කිරීම ද ඇතැමුන් තුළ පවත්නා මෙම මනෝ භීතිකාවන් අවම කිරීමට හේතු වනු ඇත.
කුමක් හේතුවෙන් හෝ එවැනි බියකින් පීඩා විඳින අයකු දිගින් දිගටම එම හේතුව මගහරිමින් ඉන් පලා යන්නට උත්සාහ දරනවා නම් එය ද යහපත් නොවේ.පළමුව තමන්ට ඇත්තේ මනෝ භීතිකාවක් බව ඒ පුද්ගලයා අවබෝධ කරගත යුතුය.මනැස සන්සුන් කෙරෙන සංගීතයකට කන් දීම වැනි සරල අභ්‍යාසයක් සමඟින් ද මෙය කළ හැක.එහෙත් මෙය එක් වරම කළ හැක්කක් නොවේ.සාමාන්‍ය තත්වයට මනැස සකසා ගත යුත්තේ ක්‍රමානුකූලවය. එම තත්ත්වයට එක්වරම මුහුණ දෙන්නට නොහැකි නම් පියවරෙන් පියවර ඊට මුහුණ දෙන්නට මනස සූදානම් කරගත යුතු වේ .ඔබ එන්නත් කටුවට බිය නොවුවද වෙනත් හේතුවක් සම්බන්ධ බියකින් පෙලෙන්නෙක් විය හැකියි .ලොව පවතින ඕනෑම දෙයකට කවුරුන් හෝ දැඩි බියක් දැක්විය හැකියි. එම බිය කිසිසේත්ම සාධාරණ නොවන බියක්ද වන්නට පුළුවන .තමන් පීඩාවිඳින බිය කුමක් වුවත් එය අසාමාන්‍ය නැතිනම් පුහු බියක් බව වැටහෙනවා නම් ඉන් මිදෙන්නට සිත හුරු කර ගැනීම කල් නොයවාම කළ යුතු දෙයකි .ඉන් මිදෙන්නට තම තමන්ට තනිව නොහැකිනම් මනෝ වෛද්‍යවරයකු හමු වී උපදෙස් ලබා ගැනීම අත්‍යාවශ්‍ය බව ද අවධාරණය කළ යුතු වේ .

උත්පලා සුභාෂිණී ජයසේකර

එතෙර - මෙතෙර