කතරගම පාද යාත්‍රාවේ යෙදෙන සුනඛ බැතිමතා: සුබ්‍රමනියම්


යාපනයේ ඓතිහාසික නල්ලූර් කන්දසාමි කෝවිලෙන් හෝ මුලතිව්, පේදුරුතුඩුවෙන් ඇරඹී, නැගෙනහිර වෙරළ තීරය ඔස්සේ කිලෝමීටර් 800කට අධික දුරක් අති දුෂ්කර වනාන්තර මාවතක් ඔස්සේ මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ තරණය කරමින් රුහුණු කතරගම මහා දේවාලය වෙත ළඟා වන කතරගම ‘පාද යාත්‍රාව’ ශ්‍රී ලංකාවේ දීර්ඝතම, පැරණිතම සහ දුෂ්කරම වාර්ෂික පා ගමන ලෙස සැලකේ. ශතවර්ෂ ගණනාවක් මුළුල්ලේ හින්දු බැතිමතුන් විශාල පිරිසක් බෞද්ධ, කිතුණු හා ඉස්ලාම් සුළුතරයක් ද සමඟ එකම භක්තියකින් එක් කරන මෙම ආගමික චාරිකාවේ මූලික අරමුණ වන්නේ ජුනි-ජූලි මාසවල පැවැත්වෙන කතරගම ඇසළ පෙරහර මංගල්‍යයට පෙර කතරගම දෙවියන් හෙවත් මුරුගන් දෙවියන් වැඳපුදා ගෙන දේවාශීර්වාද ලබා ගැනීම ය.

ජනප්‍රවාදයට අනුව මුරුගන් දෙවියන් සම්බන්ධ උග්‍ර බැතිමතුන් වූ, ඉන්දියාවේ පොන්නම්බල වනය නම් දිව්‍යමය වනාන්තරයේ වැඩ විසූ බව පැවසෙන ගෝමාට්ටි සිද්ධර්, අරුණගිරිනාදර් වැනි සිද්ධවරුන් පවා මෙම පූජනීය ගමනෙහි යෙදී තිබේ. එම ගෝමාට්ටි සිද්ධර්, අරුණගිරිනාදර් යන සිද්ධවරුන් හා සම්බන්ධ ස්ථාන පවා මෙම මඟ දෙපස ඇති බව හින්දූන්ගේ විශ්වාසයයි. එමෙන්ම ඒවායේ දිව්‍යමය ශක්තියක් ඇතැයි හින්දූන් තුළ පවතින අතිමහත් භක්තිය ඔවුන්ගේ මෙම පාද යාත්‍රාවට ජීව ගුණය සපයයි. පසුගිය එල්.ටී.ටී.ඊ. යුද සමයේදී මෙම පැරණි වනපෙත් මං බොහොමයක් තහනම් වුවද බැතිමතුන් වනාන්තර මාර්ග සහ කඹ පාලම් ඔස්සේ තම භක්තිය අත් නොහැර ගමන දිගටම කරගෙන ගොස් ඇත. එහිදී සමාජයේ ඉහළම තැන්වල වැජඹෙන හින්දු බැතිමතුන් පවා තම ලෞකික යස ඉසුරු සියල්ල අතහැර දමා, සරල චාම් පැවැත්මක් මත පිහිටා මුරුගන් හෙවත් කතරගම දෙවියන් වෙනුවෙන් මෙලෙස කැප වනු දක්නට ලැබේ.

මෙම පාද යාත්‍රාවේ ප්‍රධාන මාර්ග දෙකක් පවතී. ඉන් දීර්ඝතම මාර්ගය යාපනය, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව, පොතුවිල් සහ අරුගම්බේ හරහා අම්පාරේ පානම ඔකඳ දේවාලයට එක්වන උතුරු-නැගෙනහිර මාර්ගයයි. මෙම පාද යාත්‍රාවේ ප්‍රධානතම සන්ධිස්ථානය වන ඔකඳ සිට කතරගම දක්වා දිවෙන කිලෝමීටර් 110ක පමණ වන මාර්ගය එහි ජනප්‍රියම හා දුෂ්කරම කොටසයි. කුමන හා යාල ජාතික වනෝද්‍යාන හරහා වැටී ඇති මෙම මාර්ගයේදී බැතිමතුන්ට කුඩා කැබිලිත්ත, කුඹුක්කන් ඔය, ළිංතුන, කටුපිළ ආර දළදා මාලිගාව දන්සල, වාරාහන, මැණික් ගඟ පරණ තොටුපළ වැනි ස්ථාන පසුකර යාමට සිදු වේ. අලි, කොටි, වලසුන් සහ කිඹුලන් ගහන ඝන වනාන්තර මැදින්, ගං ඉවුරුවල එළිමහනේ රාත්‍රිය ගත කරමින්, දන්සල්වලින් ලැබෙන ආහාරයෙන් සෑහීමකට පත්ව දින 4-6ක් පුරා මෙම ගමන සිදු කෙරේ. 2025 වසරේදී පමණක් ඔකඳ දේවාල භූමියට 5000කට අධික බැතිමතුන් පිරිසක් එක්රැස් වූ බව වාර්තා වේ.

වසරකට වරක් උතුරත් දකුණත් භක්තියේ නාමයෙන් යා කරන මෙම මහා පා ගමනට ඉතිහාසයේ මුල් වරට මෙවර විශේෂතම වන්දනාකරුවකු එක්ව සිටියි. නමුත් ඔහු මිනිසෙකු නොවේ; ‘සුබ්‍රමනියම්’ නම් වූ සිව්පා සුනඛයෙකි. මුලතිව් – මුල්ලියාවලෙයි ප්‍රදේශයේදී පාද යාත්‍රා කණ්ඩායමට කිසිදු ආරාධනයකින් තොරව එක්වූ මොහු, දින 33ක් පුරා කිලෝමීටර් සිය ගණනක් බැතිමතුන් සමඟ උරෙන් උර ගැටී ගමන් කර තිබේ. මෙම පාද යාත්‍රාවේ නායක ජයවේල් ස්වාමිතුමන් පවසන පරිදි, මෙය “මුරුගන් දෙවියන්ගේ හාස්කමක්” ලෙස සැලකූ බැතිමතුන් වහාම ඔහුගේ ගෙලෙහි පටු රෙදිකඩක් බැඳ, නළලත විභූති හා කුංකුම තිලක තබා කතරගම දෙවියන්ගේ පර්යාය නාමයක් වන ‘සුබ්‍රමනියම්’ යන නම තබා ඇත. සුබ්‍රමනියම් යනු සංස්කෘත බසින් ‘සුබ්‍රාහ්මණය’ යන්නෙන් උපන් වදනකි. සාමාන්‍යයෙන් මාංශ භක්ෂක සතෙකු වුවද, සුබ්‍රමනියම් දින 32ක් පුරාම පෙන්වූ පේ වීම විස්මයජනකය. බැතිමතුන් පිරිනමන බිස්කට්, කිරි, පාන් සහ කතරගම දේවාලයෙන් “ප්‍රසාදම්” ලෙස ලැබෙන නිර්මාංශ බත් හා කැඳ පමණක් ආහාරයට ගත් ඔහු මස්, මාළු කෙරෙහි කිසිදු ලොල්බවක් නොදැක්වූ බව ද කියැවේ. ගමන අතරතුර, ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී සුළු අසනීප තත්ත්වයකට පත් වූ අවස්ථාවේදී බැතිමතුන් පශු වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඔහුව රැකබලා ගත්හ. උදෑසන බැතිමතුන්ට පෙර අවදි වන ඔහු, දහවල් රස්නයේදී කැලෑ සෙවණක නතර වෙමින් කණ්ඩායමට විවේක ගන්නා ලෙස සංඥා කරන්නාක් මෙන් හැසිරීම නිසා “ආත්මීග වලිකාට්ටි” (ආධ්‍යාත්මික මඟ පෙන්වන්නා) ලෙස පිරිස අතරේ ප්‍රකට විය. එනිසාම සුබ්‍රමනියම්ගේ පුවත සමාජ මාධ්‍ය කැළඹීමට සමත් වූ අතර, #සුබ්‍රමනියම් සහ #පාදයාත්‍රා යන හැෂ්ටැග් ඔස්සේ ඔහුගේ ඡායාරූප දසදහස් ගණනින් හුවමාරු වී තිබේ. මේ අතර, කතරගම මාර්ගය දෙපස දිනපතා දහස් ගණනින් ජනතාව රැස්වන්නේ මේ අපූර්වතම වන්දනාකරුවා දැකබලා ගැනීමටය. කුඩා දරුවෝ සුබ්‍රමනියම්ට විභූති තිලක තැබූ අතර වැඩිහිටියෝ “හරෝ හරා” නාද කරමින් ආශිර්වාද කළහ. මේ වන විට ගෝලීය වශයෙන් ප්‍රසිද්ධියට පත්ව ඇති පූජ්‍ය පඤ්ඤාකර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුතු ‘එහිපස්සිකෝ’ සාම පාගමනට එක් වූ ‘අලෝකා’ සුනඛයාගෙන් පසු දේශීය සුනඛයෙකු මෙතරම් ජනතා අවධානයක් දිනාගත් පළමු අවස්ථාව මෙයයි. එමෙන්ම ඔකඳ සිට කතරගම දක්වා වන මහ වනපියසේ දිවියන් වැනි බිහිසුණු සතුන් බහුල වුවද, බැතිමතුන්ගේ කරුණාව හා රැකවරණය නිසා සුබ්‍රමනියම්ට නිසි ආරක්ෂාවක් සැලසී තිබේ.

සත්ත්ව හැසිරීම් විද්‍යාඥයන්ට අනුව විශාල පිරිසක් එකම ශක්තියකින් ගමන් කරන විට සතුන්ට “සාමූහික ආරක්ෂාව සහ සෙනෙහස” දැනීම සම්බන්ධ සුවිශේෂ විඥාන ශක්තියක් තිබේ. එමෙන්ම සමාජ විද්‍යාත්මකව බලන කල, දශක ගණනාවක යුද්ධයෙන් තැලුණු උතුරු-නැගෙනහිර හා දකුණ යා කරන මෙම ගමනේදී, ජාති-ආගම් භේදයකින් තොරව සියල්ලන්ම එක් සත්වයෙකු කේන්ද්‍ර කර ගනිමින් සමෝධානය කිරීම සුවිශේෂී වේ. “ඔබ ස්වභාවධර්මයට ගරු කරන්නේ නම්, එය ආපසු ඔබට හානියක් නොකරයි” යන විශ්වාසයෙන් යන බැතිමතුන්ට සුබ්‍රමනියම් සර්ව ලෝක සත්ත්ව කරුණාවේ සජීවී සංකේතයක් වී තිබේ.

“වත්මන් සමාජය එක පැත්තකින් දැවෙන කොට අනික් පැත්තෙන් නිවෙන බවට මේ සිද්ධිය හොඳ උදාහරණයක්. සාමාන්‍යයෙන් ගම්බද සුනඛයන් අන්තිම පහත් සේ සැලකෙන සමාජ සංස්කෘතික පසුතලයක, එවැනි සතකුට ‘සුබ්‍රමනියම්’ කියන කතරගම දෙවියන්ගේ පර්යාය නාමයක් ආරෝපණය කිරීම විශේෂ දෙයක්. සුබ්‍රමනියම් කියන නමේ තේරුම ‘උතුම් බ්‍රාහ්මණයා’ කියන එකයි. ඒකෙන් කියවෙන්නේ පුද්ගලයා කවරෙක් වුණත් ඔහුගේ ක්‍රියාවලිය අනුව උසස් හෝ පහත් තත්ත්වයට පත් වන බවයි. බෞද්ධ සාහිත්‍යයේ පන්සිය පනස් ජාතක පොතේ එන කුක්කුර ජාතකයට අනුව බෝධිසත්වයනුත් අමු සොහොනක ජීවත් වන සුනඛයෙක්. ඒත් ඒ සුනඛයාගේ ඥානාන්විත ක්‍රියා කලාපය නිසා බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජුගෙන් පවා ඒ බෝසත් සුනඛයා පිදුම් ලබනවා. මෙතෙක් උපදේශන සාහිත්‍යට පමණක් සීමා වී තිබුණු එවැනි සංසිද්ධීන් ප්‍රායෝගික යථාර්ථයක් වීම මානව සමාජයේ සැබෑ දියුණුව විදහා පාන කැඩපතක්.” සුබ්‍රමනියම් සුනඛයා සම්බන්ධ ඒ විශ්ලේෂණය අප හමුවේ ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අංශයේ හිටපු මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරයන් විසිනි.

ඒ. ජී. රේණුකා දමයන්ති

සතුන්ටත් හිමි අපේ ලෝකය